Under the tea tree හෙවත් තේ ගස යට

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Under the tea tree හෙවත් තේ ගස යට

    බොහෝම කාලයක් තිස්සේ එලකිරියේ ලියන්න ඕනේ කියලා හිතාගෙන හිටපු ලිවිල්ලක් මටත් වඩා බොහොම අගේට යාං හෑල්ලේ මාගේ කල්්‍යායාන මිත්‍ර සුරංගයා ලියලා තියෙනවා දැක්කා. ඉතින් මට ආයේ කොටන්න දෙයක් නෑ. ගෙඩි පිටින් අරගෙන මම පෝස්ට් කරනවා.
    තේ කියන්නේ මගේ රස්සාව.
    කියවලා ඉගෙනගන්න..
    ගොඩක් වටිනවා..
    කීයක් හරි හොයාගන්නත් පුළුවන් ආදායම් මාර්ගයක්...
    උදව්වක් ඕනී නම් කියන්න. පුළුවන් හැටියට උදව් කරන්නම්..

    ************************************************
    මගෙ ජීවිතේ මට මතක පරණම සිද්ධිය එක්තරා ගහක කොල අතරින් ඉර එළිය මගේ මූණට එබිකං කරන විදිහයි. මං හිටියෙ ඒ ගහ යට. මං හැදුනෙත් ඒ ගහ යට. මට උගන්නපු ගුරුවරුන්ගෙන් බාගයක්ම හිටියෙ ඒ ගහ යට. හැබැයි විකිපීඩියාව කියන්නේ Camellia sinensis, an evergreen shrub native to Asia කියලයි. විකිපීඩියාව වැරදියි. ඒක පඳුරක් නෙමෙයි ගහක්. මනුස්ස ජීවිත ලක්ෂ ගානක දුක් කඳුළු උරාගෙන හැදිලා තවත් ජීවිත ගණනාවක දිවග රසවත් කරන ඒක මහ පුදුමාකාර ගහක්. කියවන්න මිතුරනි, මට මතක්වුනු මගේ ජීවිතේ ගස ගැන.

    තේ වගාව කියපු ගමන් මතක්වෙන පින්තූරෙ නුවරඑළිය නේද? එක යායට තේ වැවුනු කඳුවල අලුත්ම අලුත් රතු, කහ, තැඹිලි පාටින් දිලිසෙන සාරි ඇඳගෙන බොහොම හොඳට හිනාවීගෙන, තමුන්ගෙ ඉඩමක දළු කඩන්නා වගේ අලුත්ම අලුත් වේවැල් කූඩ වලට දළු කඩන කාන්තාවො සමූහයක් නේද? ඒගොල්ලන්ගෙ මූණු පූජා උමාශංකර්ගෙ වගේ සුදුයි නේද? දත් මුතු ඇට වගේ නේද? ඇඟිලි ලා රෝස පාටයි නේද? ආ.. එහෙනම් ඒ පින්තූර එකක් උඩ මනසින් ක්ලික් කරලා සිත් යතුරු පුවරුවේ CTRL+A ඔබලා Shift+Del ගහන්න. ඔව් ඒ පින්තූර සේරම වැරදියි. ඇත්ත පින්තූරෙ තේ වගේ නෙවෙයි කසාය වගේ. තිත්තයි.



    උඩරට, පහතරට ආදී වසයෙන් ලංකාවෙ තේ වගා කරන ප්‍රදේශ දෙකයි. ඒ අතරින් උඩරට තියෙන්නෙ සුද්දො වවපු වවෝපු තේ ගස්. එතකොට පහතරට තියෙන්නෙ? එව්වා වවලා තියෙන්නෙ ඒ ඉඩම් අයිති සිංහල මිනිස්සු. ඔව් සිංහල අය තමයි. මං කියන්න යන්නෙ පහතරට තේ වගාව ගැන විතරයි. මං හරියටම දන්නෙ ඒ ගැනනෙ.

    53074464.jpg


    මේ තියෙන්නෙ සමරනායක මුදලාලිගෙ තේ වත්තක් (කන්දවිටේ වත්ත)

    පහතරට තේ වගාවත් කොටස් දෙකයි. එකක් තමයි අක්කර පනහ හැටේ මහ වතු. ඔය පින්තූරෙ තියෙන්නෙ එහෙම මහ වත්තක්. තරුණ කාලෙ ඔට්ටපාලු, කරුංක, කෝපි එකතු කරලා මහන්සියෙන් දියුණු වෙච්ච, අද කෝටිපතියෙක් විදිහට සැලකෙන සමරනායක මුදලාලිගෙ තේ වතුවලින් එකක් තමයි මේ. මේ වත්ත ඇරුනහම දෙසිය පනැහැ වත්ත , මයිත්තිරිගෙ වත්ත, හීම්මහත්තෙයෑ වත්ත, උපසේන මුදලාලිගෙ වත්ත ආදී වතු කීපයක්ම අපේ ගමේ තියෙනවා.

    අනික් ඒවා තමයි කුඩා තේ වතු. කුඩා කියන්නෙ තේ ගස් විස්සක් විසිපහක්, අක්කර කාලක්, බාගයක්, අක්කරෙයක්, අක්කර තුන හතරක් දක්වා තේ ඉඩම්. අපේ ගම් පලාතෙ ගොඩක්ම තියෙන්නෙ මේ කුඩා තේ වතු. අද අපේ ගමට ගොඩ බහින කෙනෙක්ට හිතෙන්නේ

    “තේ ගහ නොතිබ්බනං මේ මිනිස්සු කාල හමාරයි.“

    කියලයි.

    පහතරට තේ ගහේ ඉතිහාසය අවුරුදු සීයකට එහා පරණය. අපේ ගම් පලාතේ තියෙන “සිසිලියං පැට්ටේරිය“ අවුරුදු අසූවකට එහා පරණ බව එහි වෙබ් අඩවියේ කියා ඇත. ඒක ඇත්තක් බව හිතන්නට පුලුවන් වන්නේ අපේ ආතාගේ සහ ගුනොවරදන මාමාගේ “කයිවාරු“වලද ඔය පැට්ටේරිය ගැන විස්තර අඩංගු නිසාය. ඒ වුනාට අපේ ගම්වල කුඩා තේ වතු වැවිල්ල ආරම්භ වුනේ මගේ ‘මතක පතේ‘ (Memory card) පලවැනි මහා හැපුම (mega bite) ට ඩිංගක් එහා කාලෙකදීය. අපේ ආතා කියන හැටියට නං ‘පේමදාස මහත්තයෑ‘ ආණ්ඩුව කාලෙදීය. ගනං හදා බැලුවාම අසූව දශකයේ අග හරියේදීය.

    තේ ගහ වැවෙන්නේ කඳුවලය. ඒ වුනාට ඒක බොරුවක් විදිහට අතේ පැළකර පෙන්වූයේ අපේ ගමේ අයයි. අපේ ගමේ හද්දා තැනිතලාවලත් තේ වැවෙන්නේය. කුකුලේගඟ දෙපැත්තේ දිගටම තිබුණ තණකොළ පිට්ටනි අද තේ වගාවන්ය. ඉස්සර ඒ පිට්ටනිවල තිබුනේ තණකොළ, දං ගස්, වැරනියා, වෙරළු, බෝවිටියා, පිචොක් ආදිය වැවුන ලඳුය. අපේ ආතා කුඩා කාලයේ ඒ අවට ගෙවල් කීපයේ අය වැසිකිලි වශයෙන් පාවිච්චි කලේද, මලමිනී ගෙනැත් දැමීමට පාවිච්චි කලේද, ඒ මලමිනී වලින් පැලවූ හොල්මන් සහ අවතාර ආදිය සිය ජීවනෝපාය වන මිනිසුන් බය කිරීම ආදිය මගින් කට්ටඩින්ට බ්‍රෝකර් වැඩ සිදුකලේද මේ ලඳු කැලේය.

    මෙතැන ‘මලමිනී ගෙනැත් දැමීම‘ කියන දේ අපේ ආතා උන්දැගෙ ඇඳ ගාව පාපිස්ස උඩ ඉඳගෙන ඉන්න මට හරි අපූරුවට පැහැදිලි කරන්නේ මෙහෙමයි.


    “ඉස්සර ඔය නාරගල්පිටියෙ පිට්ටනිය මැද්දෙං මිනිහෙක් යන්න බයයි ඇඳිරි වැටීගෙන එද්දි.“

    “අර මද්දුම්මහතතෙආතගෙ අයින කොටිය හිටියද ආතෙ එතෝටත්“


    “කෙහෙම්මලක් නෙමෙයි බං. හොල්මං පුරාම ඔය ටිකේ පඳුරප්පදුරග් ගානෙ.“

    “එයාකාර හොල්මං කොයින්ද ආතෙ.“

    “ඇයි බං ඔය හරියෙ සුවල්ප මිනී කන්දරාවද්ද දාල ඇත්තෙ.“

    “අර මඩුගෙයි පුංචිමහත්තෙයාතගෙ සෝන ඉතරයිනෙ තියෙන්නෙ ගල්ලවිටේ හරියෙ“

    “ඒ උඹ දන්න හරියනෙ. එයිට කලිං මිනී වලදැම්මෙ නෑ. නිකං ගිහං විසික්කොරල එනව එපිටහට.“

    “ඒ කොහොමද ආතෙ ඒ“

    “හා.. එහෙනං අහගනිංකො මං කියන්නං උඹට දැනගැනීමට“

    ආතා ඇඳේ ඉඳගෙන ජනේලෙං එලියට බුලත් කෙළ පාරක් ගහනවා. කහපාට ක්‍රෝටන් අතු රතු පාට වෙන්න.

    “පෘතුප්...පෘෘප් පුප් තුප්“

    “ඒ කාලෙ මං ඉපිදින්නත් කලිං හුඟාක්ම ඉස්සර රජ්ජුරුවංනෙ කාලෙ මිනිස්සු පුරාම බයයි හොල්මං ඔලට.“

    “රජ්ජුරුවොත් බයද ආතෙ?“

    “රජ්ජුරුවො බයවෙන්නෙ මොකෑ. රජ්ජුරුවො එනවෑ මිනී වලලන්න. කටවහං හිටහං කියනකං“

    “හා ආතෙ“

    “ඉතිං මිනිහෙක් මැරුනහං කවුරුවත් යන්නෑ ඒ ගෙදෙට්ට. හොල්මන එයි කියල පස්සෙං. ඉතිං මිනිය කොහෙට හරි ගිනිහිං දාන්නවත් කෙනෙක් නෑ උදව්වට. එතකොට ගෙදර පිරිමියා කරන්නෙ උණ ගහක් කපං එනව ගඟ අද්දරිං. එයිට පස්සෙ ඒකෙ මැද හරියට මිනිය තියල වැල් ඔලිං ගැටගහනව. කවුරුවත් උදවුවට එන්නැති හංදා තනියෙංම උණ ලීයෙ එක කොනක් කරේ තියාගෙන අනික් කොන බිම දිගේ ඇදි ඇදී යනව ඔය ලන්දෙ පුලුවං තරං දුරට. ඔය මිනිස්සු නිතරෝම යන්නැති හරියට. ගිහිං ඒක දා තියල පුලුවං හයියෙං දුවනව ගෙදෙට්ට. සමහරු ඊට පස්සෙ ගේත් අත්තැරල යනව. ඉතිං ඔය මිනිය දිරලා ඇටරැකිල්ල ඉතරක් ඉතුරුවෙනව. ඔය ලීයක් කපාගන්න, *** බර හැදිල එහෙම බැරිවෙලාවත් ඒ පැත්තෙ යන එකෙක් ඒක දැක්කොත් ඉතිං ගෙදෙට්ට එන්නෙම පිස්සිය හැදිල, නැත්තං නාහෙං කටිං ලේ දාගෙනම තමා“

    ඔය විදිහට හොල්මං තිප්පලක් වෙලා තිබුන නාරගල්පිටියෙ කොටසක ‘සබර ගහ‘ සිය පරම්පරාව බෝ කරගෙන තිබුනේ තේ ගහ එන්නට කලියෙන්ය. රබර් ගහ හිටවා එයිං කිරි කපන්නට අවුරුදු දහයක්වත් ඉන්න ඕනෑ නිසා අපේ ගම්මු ‘සබර ගහ‘ ඒ තරං ගනං ගත්තේ නැත. ඒ වුනාට තේ ගහ අවුරුදු තුනෙං විතර ඵලදාව දෙන හන්දා තේ ගහ අපේ ගමට වැද්දගන්න කවුරුත් අකමැති උනේ නෑ.



    උප්පත්ති කම්මැලිකම හිංදා අපේ ගමේ අය මුලිම්ම තේ ගහ හිටෙව්වෙ ඒ තරං මහන්සි වෙන්න උවමනා නැති තැනිතලාවේ. ඒ කියන්නේ ඔය කියන කුකුලේගග දෙපැත්තෙ තියෙන ලන්දෙ. කවුරුවත් ගානකට නොගෙන අතෑරල තිබුන ඒ ලඳු කැලේ සුද්ද කරලා එකා දෙන්නා තේ පැල හිටවද්දි “අපිත් මේ වැඩේ කොරන්න ඕනෑ. උන්ට ඉතරක් දියුණුවෙන්න දෙන්න හොඳ නෑ“ කියලා හිතපු ගමේ අනික් අයත් තේ වැවිල්ල පටං ගත්තා. දංගස්, පිචොක් ගස්, වැරනියා ගස්, වෙරලු ගස් පෙරලාගෙන, තණකොළ යට කරගෙන තේ ගහ නැගීගෙන එද්දි ඒවාට බයේ හාවො, මුකටි, ඉත්තෑවො, වලි කුකුල්ලු, නයි, ගැරඬි, හාල් ගැරඬි, කහ ගැරඬි, ඇහැටගුල්ලෝ, වෙනිං ලඳු හොයාගෙන ගියා. තලගොයි ඉතරක් ඉතුරු උනා. තේ ඉඩං එකට යා වෙලා ඒ අතර වැටවල් බැඳුනා. සමහර වැටවල් එහෙට මෙහෙට ඇවිද්දා, එහෙම නොසන්ඩාලකමට ඇවිද්ද වැටවල් හින්දා අහිංසක මිනිස්සු නඩු හබ පටලවාගත්තා. (තවමත් ඒ නඩුවල දෙවෙනි පරම්පරාව මාස දෙක තුනකට සැරයක් ‘රත්තපුරා‘ යනවා නඩුවට.)

    4495950451_f2694dffb5.jpg


    කැකිල්ල පඳුර

    තැනිතලාවෙ ඉඩ මදිවෙනකොට කඳුගැට වලටත් තේ වගාව බෝ වුනා. කඳුවල එක සීරුවට පොලව බදාගෙන වැවෙන කැකිල්ල ගාලක් පායන කාලෙට එක ගිනිකූරෙන් වනසන්න පුලුවං. අමු කැකිල්ලට යටින් තියෙන වේලිච්ච කැකිල්ල වලට ගිනි තිව්වම අමු කොල එක්කම ගිනි ගන්නවා. පොලව බදාගෙන ඉන්න කැකිල්ල මුල් ටික ගලවන එක ටිකක් අමාරු වුනත් ඒවත් සුද්ද කරලා ගල්වැටි බැඳලා, කානු කපලා තේ ගහක් ඉන්දවාගත්තම අවුරුදු පහලොවක් විතර යනකම් ආදායම ඉස්තිරයි.

    තැනිතලාවත්, කන්දත් දෙකම යටත් කරගත්තත් තේ ගහට ඉඩ මදියි. තව තවත් අහුමුලු, ඉඩ ඇති තැං හොයාගෙන තේ ගහ ඉදිරියට ඇදුනා. කුඹුරුවල මැද්දෑවෙ පාවරක් හදාගන්න ඉතුරු කරපු පිල්ලෑවල්, ගෙවතු, මිදුල්, රිසිවේසන් ආදියත් ඊළඟට තේ ගහට යටවුනා. පාවරක් හදාගන්න පිල්ලෑවෙ ඉඩක් නැති තැන ගොවියෝ ගොයම් පාගන්න පාවර හදාගත්තේ වතුර අඩු ලියද්දක ඉපනැල්ලට උඩිං ඉටිකොල දාලයි.



    මේ වෙනකොට තත්වෙ හොඳටම දරුණුයි. තේ ගස් දෙකක් අතර ඉඩ අඩි දෙකහමාරට බැහැලා, කාණු, ගල්වැටි ආදී පස සංරක්ෂණ ක්‍රම සියල්ලම අතහැරිලා. සීලිං සීට් එකක් තියන ඉඩක් කොතනක හරි ඉතුරු වුනොත් එතන තේ ගහක් හිටවන තැනට වැඩේ ඔඩුදුවලා. පාරවල් අද්දර තියෙන අඩි දෙකහමාරෙ තුනේ ඉඩටත් තේ පේලියක් රිංගවලා. කුඹුරු ඉඩං කන්න දෙකෙන් තුනෙං ගොඩ ඉඩම් බවට පත් කරලා තේ හිටවනවා.


    තේ වැවීම කලාවක් නම් චූටි මැනීකෙගේ අම්මා එහි පිකාසෝය. උපන්දා පටං වගාවට හිතැති උන්දෑ තේ ගහටත්, රබර් ගහටත් ඇරුණු ජිවිතයක් ගත කරන්නේය. දළු ඩිංගක් අහුලගෙන රබර් ගහක් දෙකක් හූරගත්තම අපිට ජීවත්වෙන්ට හොඳටම ඇති යන ආදර්ශ පාඨය අනුව ජීවත්වන ඇය ගෙදර වත්තේ බෑවුම අඩු කොටසේ රබර් හිටුවා බෑවුම වැඩි කොටසේ තේ හිටෙවුවාය. කාණු, ගල්වැටි ආදී යල්පැනගිය වගා මූලාවයව ‘ලකියාට‘ දැමූ ඇය කොන්දොස්තර කෙනෙක් බසයට මගින් පටවන්නාක් මෙන් ඉඩම පුරා තේ ගස් ‘අහුරා' දැමුවාය. විශාල ලොරියක් යාමට තරම් ඉඩ තිබූ නිවසට යන පාර තෙසක් රියට අමාරුවෙන් රිංගා යාමට හැකි තරම් පුනීල කරක් මෙන් සිහින් කලේද, පාපන්දු පිටියක් තරම් වූ මිදුල කැරම් බෝඩ් එකක් මෙන් සිහින් කලේද, ඇගේ මනා වගා පරිචයයි. ඒ ඉඩමේ තේ ගස්වල දලු කැඩීමට කඳු නැගීමේ සහ පුවක් ගස් නැගීමේ හපන්කම ඇති අය උවමනාය. ඉහල පේලියේ ගහේ දලු කඩන්නාට එකම පිහිට පහල පේලියේ තේ ගහේ මුලට පය තබාගැනීම පමණකි. නැත්තං දලු කඩන්නාව ඉඩම පහල පාරෙන් සොයාගැනීමට පුළුවන. මේ නිසා දළු කඩන මිනිසුන් නැති තැන නේපාලයේ ෂරපා ජාතිකයින් කීප දෙනෙක් ගෙන්නා ගැනීමට මා යෝජනා කළද ‘එවරස්ට් කන්ද නැගපු ටෙන්සින් නෝර්ගායි‘ වුවද කඹ රෝල් දෙකක් සහ කෙටේරියක් නැතිව ඒ ඉඩමට පා නොතබනු නිසැකය.[FONT=&quot] දැන් අපේ ගම්වල තේ ගහ වැවෙන්නේ නැත්තේ ලිබ්බොක්කේ පමණි.[/FONT]

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තේ ගහ පැලවෙන්න ක්‍රම දෙකයි. එකක් ඇට මගින් පැලවීම. අනික රිකිලි මගින් පැල කිරීම. මෙයින් ඇට තේ ගස් තියෙන්නේ බොහොම අඩුවෙන්. ඒකට හේතුව තමයි ඇට තේ ගහ අස්වැන්න අඩුවෙන් ලබාදීම. හැබැයි ඒකට එතරම් සාත්තුවක් ඕනි නෑ. පෝර දාන්නෙ අවුරුද්දකට ඉතර සැරෙයක්. හැබැයි ගහ වටේ පොලව හාරලා පෝර දාන්න ඕනි. ඒ තරමට යටින් තමයි මුල් තියෙන්නෙ. ඇට තේ ගහේ කොල වටේට තියෙන දැති ටිකක් ඝණකමයි. ඇට තේ ගස් තියෙන වතු බොහොම අල්ප නිසා අපි ඒ ගැන කතාව අහක විසික්කරමු.
    රිකිලි තේ එහෙම නෙවෙයි. දළු වැඩියි. ඵලදාව එළ. මාස තුනෙන් තුනට පෝර දැම්මම කඩාගන්න බැරි තරම් දලු. ඒහින්දා අපේ මිනිස්සු නිකම්ම රිකිලි තේ වලට හැරුනා.


    පලා පැහැය හැම තැනකම රැඳී තියෙන පොලොවේ....
    ඉවත දමන දඬුව උවද දළුලා යළි පැලවේ....


    ඒ වුනාට තේ ගහේ දඬු කෑල්ලක් නිකම් පැළකරන්න බෑ. ඒකට ගන්න නියම අත්තක් තියෙනවා. ආං ඒ අත්ත හෙවිල්ලයි මේ.


    සාමාන්‍යයෙං එක ඉඩමක සම්පූර්ණයෙන්ම තියෙන්නෙ එකම වර්ගෙ තේ ගස්. ඒ කියන්නෙ එකම ක්ලෝනය. නැත්තං නිවුන් සහෝදර සහෝදරියො. ඒ හංදා තේ ගස් ජාති කලවං වීමක් වෙන්නෙ නෑ. ඒත් ඉතිං තමුංට තේ පැල ටිකක් හදාගන්න ඕනිනං තමුංට අවශ්‍ය වර්ගයේ තේ ගස් ඇති තරං තමුන්ට තියෙන්න ඕනි. ඒ වගේම ඒවා කපන්නත් ඕන. මේ කියන්නෙ ගහ මුලින්ම පාහින එක නෙමෙයි. හුඟක්ම උස ගිහිං දළු කඩාගන්න බැරි තරමට උස ගිහින් තියෙන ගහක් කප්පාදු කිරීමයි. මෙහෙම කප්පාදු කරයින් පස්සෙ ඇදෙන දළු මෝරලා අතු බවට පත්වෙලා ඒ අතු අඩි දෙකක් විතර උසට ඇදිලා ඒ අත්තෙ දණ්ඩෙ පහල කොටස දුඹුරුපාට වෙනකොට තමයි තේ රිකිලි ගන්න ඒ අත්ත කපන නියම වයස. තේ ගහක් කප්පාදු කරන්නේ අවුරුදු තුන හතරකට වතාවයි. ඒ කියන්නෙ තමුංගෙම ගහකිං රිකිලි අරගෙන තේ පැල වවා ගැනීම ඔලිම්පික් යනවා වගේ වැඩක්. ඒ හංදා මේකට නියම විසඳුමක් තියෙනවා. ඒ තමයි අපිට තේ රිකිලි ඕනැ කාලෙදි ඒ කාලෙට තේ කප්පාදු කරල තියෙන කෙනෙක්ගෙන් රිකිලි ඉල්ලා ගැනීම.


    ඒකට ඉතිං නිතර ගමේ ගොඩේ ඇවිදින කෙනෙක් නං වැඩේ ලේසියි. නැත්තං කඩේ ගාවට හැන්දෑවට එක්කහු වෙන කාණ්ඩෙගෙන් අහන්න වෙනවා.


    “පොඩිමහත්තයියෙ, කාගෙවක් කප්පාදු කපාපු කෑල්ලක් එහෙම තිවුන්නැද්ද?“


    “මට නං මතක නෑ මල්ලියෙ. අර මද්දෑ කෑල්ලනං කපල තිවුනා. ඒවනං දැං මට්ටං කපල දලුත් කඩනව. මොකෝ තවානක්කත් දාන්නද?“




    “ඔව්මේ පාලු ඩිංගක් හිටොවන්න“


    එතකොට තව කවුරුහරි කෙනෙක් කියනව හරියටම ඔත්තුවක්.


    “මං දැක්ක දිහාවක තියෙනව ෂෝක්කෙකට ඇදිච්චි කප්පාදු කෑල්ලක්. තවං දාන්න නොම්බරේකයි අම්ප“


    “ඒ කොහෙ“


    “හුඟක් ඉපිටහ යන්න ඕනි හැබැයි“


    “කමහ්නෑ. කියහංකො බලන්න“


    “දෙයිද්දන්නෑ“


    “උඹෙප්පැහිච්චකං තියල කියහංකො තැන“


    “කර්නාවතී ස්කෝලෙ හාමිනේගෙ බෑන දන්නවද? අර කඩේ දාං ඉන්නෙ?“


    “ඉතිං“


    “ආං මිනිහගෙ කෑල්ලෙ තියෙනව ඕන හැටියෙ අතු කපාගන්නවනං. දුන්නොත්“




    ඔන්න ඔය විදිහට හොයල තමයි අතු හොයාගන්න වෙන්නෙ. මේ අතු සල්ලිවලට දෙන දෙයක් නෙවෙයි උනත් ඒවා ගන්න නං මූලික සුදුසුකං තියෙන්න ඕනි. ඒ කියන්නෙ අතුහිමියා එක්ක වලියක් තිවුනෙ නැති, මගුලට මරනෙට උදව්වට ආපු, කෙලෙහිගුණ දන්න, කට සවුත්තු නැති, කටවහ නැති, ආදී ගුණාංග. මේවා ඇදක් පලුද්දක් තිවුනොත් අතු ඉල්ලන්න ගිහිං අහගන්න වෙන්නෙ මේං මේ වගේ කතා.




    පල්ලැහැ සුදාට දෙන්න පොරොංදු උනානෙ“


    “මං මේ ටික කැපුවෙම මට පැල ඩිංගක් හදාගන්න. අර කුඹුරයිනෙ පාත්තිත් හැදුව“


    “කලිං ඉල්ලුවනං දෙන්න තිබ්බ. එක්නෙක්ට දෙන්නං කිව්ව ඊයෙ හවස“


    ඔය විදිහෙං බොරු කියල නොදී ඉඳල අන්තිමට මට්ටං කපද්දි අතුටික කපල ගස්යටට දානව දිරන්න.


    හැබැයි ඉතිං බැරිවෙලාවත් අර සුදුසුකම් සම්පූර්ණ කරල තිබුනොත්


    “හා දෙන්නං. මං අතු කපනදාට කියන්නංකො පණිවිඩේ“


    කියලා උත්තරේ ලැබෙනවා. ආං එතකොට ගෙදර ඇවිත් පටංගන්න ඕනි හිටවන්න තැනක් ලැහැත්ති කිරිල්ල. තේ රිකිලි හිටවන්න එක්කොත් පාත්තියක් තියෙන්න ඕනෑ. නැත්තං පැකට් තියෙන්න ඕනෑ. පාත්තියෙ හිටෝල පැල හැදුනහම එව්ව “බිම්පැල“. පැකැට්ටෙකේ හිටෝල පැලවුනහම එව්ව “බකට් පැල“. ඉස්සරම කාලෙ නං රිකිලි කපල කෙලින්ම වලවල්වලත් හිටෙව්වා. දැන් හිටවන්නෙ පාත්තිවල හරි, පැකට්වල හරි විතරයි.

    පැකැට් කියන්නේ උණ බම්බුවක් විතර මහත කලු ඉටි කවර වලින් අඟල් පහක් විතර උසට පස් පුරවලා හදාගන්න එකක්. ඔය දැං සමහරු එලෝලු වවන්නෙත් ඒ වගෙ පනිට්ටු සයිස් කවර වලනෙ. ඒවාට පුරවන්නේ කලු පස. “රතු ලැටරයිට්“ පස, “ලෝම පස“ ආදී නොයෙක් පස් වර්ග ගැන කියතත් අපේ ගමේ නං තියෙන්නේ මැටි පස් සහ කලු පස් විතරයි. ‘මැටි පස‘ කියන්නේ කහ පාට එකට. ඒක ගන්නේ ගෙවල්වල වරිච්චි බඳින්න විතරයි. පොලවෙ තියෙන සාරවත්ම පස තමයි ‘කලු පස‘. එනිසා කලු පසේ තමයි ඕනි දෙයක් හරියන්නේ. ආං ඒ නිසයි කලු පසම පැකැට් වලට පුරවන්නේ.


    එහෙම නැත්තං අනික් ක්‍රමය තමයි පාත්ති හැදීම. පාත්ති හදන්නෙත් කලු පස් තියෙන තැනක තමයි. ඒක ඉතින් සාමාන්‍ය පාත්තියක් වගේම තමයි. අඩි දෙකක් විතර පළලට, ගවු ගානක් උනත් දිගට පාත්ති හදාගන්න පුලුවන්. එතකොට රිකිල්ල හිටවන්නේ පාත්තියේ. පාත්ති දෙකක් අතර එහාට මෙහාට යන්න අඩියක් හමාරක් විතර ඉඩ තියන්න ඕනි. බොහෝ වෙලාවට කුඹුරු අද්දර, ගෙවල්වල මිදුල් වටේ, ආදී දිගටි බිම් තීරුවල පාත්ති හදන නිසා පාත්ති අතර ඉඩ තැබීමක් වෙන්නෙත් නෑ. සමහරු ගෙදර මිදුලෙ කොනකිං පටංගන්න පාත්තිය ගේ වටේ පිලිකන්න දක්වාම යනවා.


    හරියටම තේ අතු කපන දවසට පණිවිඩේ ලැබෙනවා. එදාට ගිහිං ඒ කැපෙන අතු ටික අරගෙන එන්න ඕනෑ. ඒ කියන්නෙ කැපෙන කැපෙන අත්ත එක්කහු කරගෙන තමුන්ට ඇති පදං එක්කහු වෙච්චි ගමං අරං එන්න ඕනෑ. ගොඩක් වෙලා අවුවෙ තියෙන්න අරින්න නරකයි. ඔය අතු පිටිං එහෙම්මම හිටවන්න බෑ. ඒ කියන්නෙ ඉවත දමන දඬුව එහෙම්මම පැලවෙන්නේ නෑ. ඒක ආයිමත් කපන්න ඕනි. ගිණිකූරු එකහමාරක් විතර දිගට දණ්ඩයි කොළ බාගෙකුයි ඉතුරු වෙන්න. අත්තකිං ඒ වගේ කෑලි පහක් හයක් කැපියැහැකි. මේ වැඩේට ලොකු වතුර බේසමක්, රිකිලි කපන පිහියක්, ඉටි කොලයක්, බුලත්විට වට්ටියක්, පුටුවක්, නිතරම ‘කහඩ්ඩිංගක්‘ උණුකර දෙන්න කෙනෙක් ආදිය ඕනෑ කරනවා.

    IMG_20160912_215418.jpg


    රිකිලි කපන පිහිය


    ගෙදර ඉස්තෝප්පුව තමයි මේ වැඩේට කදිම. තේ අතු ටික පැත්තකින් තියාගෙන, පුටුවෙන් ඉඳගෙන බුලත්විටක් කන ගමන් තේ රිකිලි කපන එක තමයි සිරිත. තේ අත්තේ පහලම තියෙන දණ්ඩ දුඹුරු පාට කොටසත්, ඉහලම තියෙන හුඟක්ම ළපටි කොටසත් අතහැරියම ඉතුරු ටික තමයි පැල කිරීමට හොඳ. තේ කොලය කඳට හයිවෙන තැනට මිලිමීටර් දෙක තුනක් උඩිං තියෙන කඳ කොටස කපලා අයින් කරනවා. කොලේට යටින් ගිනිකූරු එකහමාරක විතර දිගක් දණ්ඩෙන් ඉතුරුවෙද්දි අනෙක් ටික කපලා අයින් කරනවා. ඊළඟට කොලෙනුත් අග බාගෙ කපල දානවා. ඒ ඉතුරු වෙන කොඩිය වගේ එක තමයි හිටවන්නේ. හිටවනකං ඒ කොඩිය වතුර බේසමට වෙලා ඉන්නවා. ඔය විදිහට රැයක් දවාලක් නැතුව කහට බොමින්, විට කමින්, ඒ අතරෙ පොඩ්ඩක් එහෙට මෙහෙට වීමෙං පිහියෙං කැපිච්ච ඇඟිලි රෙදි පටියෙන් ඔතාගෙන අර අතු සේරම කපල ඉවර කරන්න ඕනි. එහෙම කපාගත්තු කෑලි ටික පහුවදාම වතුර බේසමෙන් ගොඩ අරගෙන වතුර බහින්න ඉටිකොලේට දාලා තියලා උදෙන්ම හිටවගන්න ඕනි.පස් පුරෝපු පැකට්වල නං එයින් නටු දෙකක් හිටවන්න පුලුවං. පාත්තියෙ නම් මේ පින්තූරෙ තියෙන විදිහට එක යාවට හිටවනවා.

    tea-seedlings.jpg


    ඒත් එක්කම මේවට හෙවන තියෙන්නත් ඕනෑ. පාත්තියට නං හරියටම හරියන්නේ ‘කැකිල්ල‘. අපේ ගම්වල ඉවුරු කඩාගෙන යන්න නොදී අල්ලං ඉන්නෙ කැකිල්ල ගස් තමයි. කැකිල්ල ටිකක් ඕනැම ඉවුරකින් කඩා ගන්න පුලුවන්. ඒකට ඕනැ වෙන්නේ කැකිල්ල කූරු ඇඟිලිවල ඇනුනහම මල නොපනින ගුණය විතරයි. පාත්තිය වැහෙන්න එක යාවට කැකිල්ල හිටෙව්වහම වතුර දැමීමෙදි පොලව හෑරෙනවත් අඩුයි. පැකට්වලට කැකිල්ල හිටවන්න බැරි හින්දා පන්දලමක් බැඳලා පුවක් අතු, පොල්ලතු වලින් හෙවනක් හදන්න ඕනි. හැමදාම හවසට මල් බාල්දියෙං වතුර දාන්න ඕනි. දැං නම් මේ පන්දලම වහන්නේ ඒකටම හදපු වැස්මකිං.



    ඔය විදිහට ටික කලක් යනකොට හිටවපු රිකිලිවල කඳත් කොලෙත් අතරින් හෙමිහිට කොළ ලියලන්න ගන්නවා. ඒ විදිහට කොල දෙක තුනක් හැදෙනකොට එව්වා ‘තේ පැල‘ බවට පත්වෙනවා. එතකොට වැස්ම අයින්කරලා අව්ව වැටෙන්න තියන්න ඕනැ. කොල පහක් විතර වෙනකොට පොලවෙ හිටවන්න නියම ප්‍රමාණය. මේවයින් පැකට් පැල නං වැඩි මිලටත්, පාත්තිවල තියෙන බිම් පැල නම් අඩු මිලටත් විකිණෙනවා.

    IMG_20160902_180748.jpg

    පැකට් පැල තවානක්

    පැකට් පැල ප්‍රවාහනය අමාරුයි. පැල දාහක් හමාරක් ගෙනියන්න වෙනම ලොරියක් ඕනි. ප්‍රවාහනය අන්තිම අමාරුයි. හිටවන්න ගියහමත් පොලිතින් කවරෙ ගලෝල හිටවන්න ඕනි. ගානත් වැඩියි. හැබැයි, මුල් කැඩෙන්නෙ නැති හින්දා පැලයක් හිටෙව්වොත් පැලවෙනවාම තමයි.



    බිම් පැල හෙවත් තවන් පැල එහෙම නෙවෙයි. එව්වා මුල් නොකැඩෙන්න ගලවන්න ඕනි. නිකං තම්පලා ගලෝනව වගේ ගැලෙව්වොත් ඉවරයි. හැබැයි ඉතිං ගෙනියන්න ලේසියි. ලොරියක ගෙනියන බකට් පැල ප්‍රමා‍ණය තීවිල්ලෙහෙක ගෙනියන්න පුළුවනි. පැකට් පැල වගේ එක එක ගිනිහිං වලක් ගානෙ හිටවන්න ඕනි නෑ. පැල මිටියක් අරගෙන එක පේලියක්ම හිටවන්න පුලුවන්. පැකැට් පැල එකක ගානට බිම් පැල තුනක් විතර ගන්න ඕනි. එකම පාඩුව තමයි පැල මැරීයාමේ ලෙඩේ. ඒකට හොඳම වැඩේ තමයි ‘කාශ්ඨක‘ වෙච්චි පැල හිටවන එක. පෝර නොදා හදන බිම් පැල තමයි ඔය ‘කාස්ටක‘ වෙච්චි පැල කියන්නේ. ඒවට හරි හමං පෝර ඩිංගක් වතුර කඳුලක් නැති හංදා ‘තියෙන හැටියට පන රැකගන්න‘ පුරුදු වෙලයි තියෙන්නේ. ඉතිං ඒ වගේ පැලයක් ලේසියට මරාගන්න අමාරුයි.

    IMG_20160902_180724.jpg

    මේ වගේ ලොකු පැල හොඳයි ලොකු තේ ගස් අතර මැරීගිය ගස් වෙනුවට අලුතින් හිටවන්න

    ඔය වග එච්චර විස්සාස නැති අපේ ගම්වල අය ගන්නෙම පෝර දාලා හදන පොලේ තියෙන ‘සැපට හැදෙන‘ පැල. එව්වා ගොම ගොඩවල්වල තියලා ගත්තම හොඳ කොල පාටට තියෙනවා. ඒ වුනාට ගෙනැත් හිටෙව්වම මැරෙනවා. ඔය කොයි විදියෙන් හරි ගන්න පැල හිටවන්න කියන්නේ අඩි හතරෙන් හතරට ඉඩ තියලා. අඩියක් විතර වලක් හාරලා..................... කියලයි ‘තේ මහත්තයා‘ තේ වගාකරුවන්ට උපදෙස් දෙන්නේ. තේ වවන්න ඉඩම සකස් කිරීමෙදිත් ගල්වැටි, කාණු යෙදීම. මුඩු හෝ වෙනත් වගා කරපු ඉඩමක නම් ‘ගෝතමාලා‘ කියල අපේ ගමේ අය හඳුන්වන උග්ගස් කොලේ වගේ කොලයක් තියෙන ගස් ජාතිය අවුරුදු දෙකකවත් වවලා පොලව බුරුල් කරගැනීම, ආදී නොයෙක් වතාවත් තිබුණත් දැං අපේ ගම්වල තේ ගස් අතර දුර අඩි දෙකහමාරයි. කාණු, ගල්වැටි, ආදිය අතුරුදහං. පෙති යකඩෙං දෙපාරක් ඇනල පොලවෙ මී ගුලක් තරමට වලක් හාරගෙන ඒකට තේ පැලයක් රිංගවීම විතරයි දැං අපේ ගම්වල තේ වගාවේ එකම තියරිය. ඒ හංදා




    “ඉතුරු නම් අඩි දෙකක්

    හිටවපන් තේ ගහක්“


    තේ පැල තවන් දැමීමත් හොඳ රස්සාවක්. තේ පැල තවානෙන් හොඳට හම්බුකරන කෙනෙක්ගෙ තේ පැල තවානක් තමයි මේ.

    IMG_20160902_180157.jpg

    මේව ඔක්කොම පැකට් පැල

    පර්චස් දහයක් විර ඉඩමක් මේ වගේ තවානක් දමාගෙන හොඳ ආදායමක් ගන්න පුලුවන්. ඒ වුනාට ගමේ අයට, අඳුරන අයට එහෙම දුන්නොත් සල්ලි ගන්න අමාරුයි. සමහරු ඇවිත්


    “තේ පැල පනහක් දියං. දලු පඩි ගත්තං සල්ලි දෙන්නං“


    කියලා ඉල්ලං යන පැල එකකට වත් සල්ලි හම්බුවෙන්නෙ නෑ. ආං ඒ වගේ අයට “බෑ“ නොකියා ණයට නොදී ඉන්න නං මේන් මේ වගේ බෝඩ් කෑල්ලක් එල්ලන්න වෙනවා.

    IMG_20160902_180058.jpg



    ඉතිං ඔය විදිහට පොලවෙ හිටවන තේ පැලේ අව්වට මැරෙන්න නොදී, වැස්සට හෝදගෙන යන්න නොදී, කලාමැදිරින්ට කපන්න නොදී, ඉත්තෑවුන්ට හාවුන්ට විනාස කරන්න නොදී, ඌරන්ට පාගන්න නොදී රැකගත්තොත් අවුරුදු දෙකහමාරක් තුනක් යද්දි ආදායමක් ගන්න පුලුවං. හැබැයි ඉතිං ඒකට කාලයක් බලා ඉන්න වෙනවා.
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිලෝන් ටී.... බම්ප්

    පෙරා කොහෙද කොටා (kota nihal) එතන....
    අනේ මන්ද...
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැං තේ පැලේ පැලවෙලා ටිකෙන් ටික උස්වෙන කාලෙ. තේ ගහට උදව්වට කෙනෙක් ඉන්න ඕනි. හරිනං මේ වෙනකොටත් එයා මෙතන ඉන්න ඕනෑ. ඒ තමයි ලාඩප්ප ගහ. දන්නෑ නේද? එහෙනම් "නංචි"? ආ ඒක දෙමළ නමක්නෙ? එහෙනං "ග්ලිරිසීඩිය", "වැටමාර"? ඔය කොයි නමින් කිව්වත් ඒ ලාඩප්ප ගහ තමයි. ඔය ලාඩප්ප ගහ හිටවන්නෙ තේ ගහට හෙවනක් වෙන්නලු. ඒ වුනාට එක ලාඩප්ප ගහක ඉඳං අනික් ගහට අඩි පහලොවක් විස්සක් දුර හිංදා ඒ හැටි හෙවනක් ගන්න අමාරුයි. ඒක හරියට වැස්සෙං බේරෙන්න ඔලුවට උඩිං අත ඇල්ලුව වගේ වැඩක්. හැබැයි ලාඩප්ප ගහෙන් වෙනිං ප්‍රයෝජන තියෙනවා. දලු කඩන්න යද්දි ගෙනියන කැම ජාති කවරෙක දාලා එල්ලල තියන්න පුළුවං ලාඩප්ප ගහේ කරුවක. නැත්තං පොඩි ලමයින්ගෙනුයි බල්ලංගෙනුයි එවා බේරගන්න අමාරුයි. හැබැයි ඒවෙනුවට ලේන්නුයි, කුරුල්ලොයි ඒවාට වහ වැටෙනවා. පිහියක් එහෙම ගහේ උලගහල තියාගන්න පුලුවන්. ඒ වගේම වලියක් වෙලාවට බොහොම ලේසියෙන් පොල්ලක් කඩාගන්න පුලුවං ගහක්. කලින් කලට ගහ උස යනකොට කපලා දාන ලාඩප්පා අතු දරට ගන්න පුලුවං. එහෙම කපල තේ ගහයට දාපු ලාඩප්ප පොලු සමහර වෙලාවට කකුලෙ පැටලිලා හොස්ස කට තැලෙන්න "දෙරි ගහන්නත්" පුලුවං.


    තේ පැලේ තේ ගහ බවට පත් කරගන්න තව බොහොම ආවතේව කරන්න තියෙනවා. නමුත් එව්වා එකින් එක කියන්න මට මතකත් නෑ. අනික එව්වා ඒ තරං ලියන එක තේ වවන්නෙක්ට මිසක වෙනිං කෙනෙක්ට වැදගත් වෙන්නෙත් නෑ. ඒ හංදා අපි තරුණ වසයෙ තේ ගහ වෙත යොමුවෙමු.


    අවුරුදු තුනෙං පස්සෙ තේ ගහේ දළු කඩන්න පුලුවං. දළු කඩන්න පටංගත්ත ගමං හැකි ඉක්මනට තේ ගස් ටික එකට යා කරගන්න ඕනි. ඒ කියන්නේ තේ ගස් අතර හිඩැසක් නැතිවෙන්න, තේ ගහ යට පොලවට ඉර එලිය නොවැටෙන්න තියෙන්න ඕනි. එයිං ඇතිවෙන ලොකුම ප්‍රයෝජනය වල්පැල හැදෙන එක පාලනය වීම. ඉර එලිය වැටුනෙ නැතුවහම වල්පැල වර්ධනය බාල වෙනවනෙ. ඒත් මාස හය හතකට සැරයක් තේ ගස් යට “උදුලුගාන්න“ ඕනි. තේ ගහ යට උදැල්ලෙන් වැඩ කරන්න අමාරුයි. අනෙක් ගස්වල වදිනවා. ගහ මුල සුද්ද කරද්දි තේ ගහේ මුල් කැපෙනවා. ඒ හිංදා ‘සොරඬිය‘ කියලා ආවුදයක් තමයි වතුවල පාවිච්චි කරන්නෙ. මම නං දන්න හොඳම ක්‍රමය තමයි වල් පැල අතිං ගැලවීම. ඒ වුනාට සේවක කුලිය වැඩි නිසා අපේ අය හුඟක් දෙනා කරන්නෙ ‘බෙහෙත් ගැහිල්ල‘. තේ අක්කරේක විතර එක දවසින් බෙහෙත් ගහල ඉවර කරන්න පුලුවං. නමුත් තේ අක්කරයක් අතින් සුද්ද කරන්න ගියොත් දවස් පහකටත් වඩා යනවා. ඒ හංදා බෙහෙත් ගැහිල්ල ලාබයි. බෙහෙත් ගහන්නෙ ටැංකියෙන්. ටැංකි හැමෝටම නෑ. කුඩා තේ වතු සමිතිවල තියෙනව ටැංකි. සමිතියෙ අයට කුලියට දෙන්න. තව ගමේ පෝසත් අය ගාවත් තියෙනවා. එව්වා දෙන්නෙ තෝරාගත්ත කීප දෙනෙකුට විතරයි. ජාතුංගම බාප්පලෑ ටැංකිය දෙන්නෙ හේමිචන්දර මාමටයි, අපේ ගෙදරටයි විතරයි. වෙනිං කෙනෙක් ගිහිං ඇහුවොත්




    “නිපල්ලෙක කැල්ල. කෑල්ලක් දාන්න වෙනව අලුතෙං“


    “අර මද්ද ගිනිහිං බිම ඇතෑරල පැත්තක් තැල්ල. පොම්පෙ හිරවෙලා තියෙන්නෙ“


    “ලෙදර්රෙක උනුවෙලා. බෙහෙත් වදින්නෑ. නැහ්නං නොදී ඉන්නෑ. ඕන්නැං ගිනිහිං බලන්නකො. අපරාදෙ බෙහෙට්ටික අහක ඉතිං“


    වගේ මොකක් හරි කියල නොදී යවනව. එහෙම නැත්තං ටැංකිය ගෙයි හංගල තියල


    “ඔන්න ඊයෙ පියදාසයිය ඉල්ලං ගියා. ෂෙක් අම්ප ඊයෙ ආවනං ගිනියන්න තිබ්බ ඉල්ලුවහං නොදී බෑනෙ


    කියල වෙනිං කවුරුහරි ගෙනිච්ච විදිහට නොදී අරිනව. ඒ වගේම තමයි බෙහෙත් ගැහුවට පස්සෙ ටැංකිය හොඳට හෝදල, වේලල, පොම්පෙ ලෙදර් කෑල්ලට ඔයිල් ටිකක් එහෙම දාලා ගිහිං දෙන්න ඕනි. නැත්තං


    “ආයිනං කිසියම්ම කිසි දවසක ඕකලට දෙන්නෑ ටැංකිය.“


    කියලා ටැංකිය අයිතිකාරය වෙනිං මිනිස්සු එක්ක කියනවා. ඒ වගෙම තමා ආයි ඉල්ලුවට ටැංකිය හම්බුවෙන්නෙත් නෑ. ඒ අතරෙ සමහර ටැංකිහිමියො ටැංකිය දෙන්නෑ. එයාට කිව්වහම එයාම ඇවිල්ල ටැංකියෙං බෙහෙට්ටික ගහල දෙනවා. හැබැයි එයාගෙ දවසෙ කුලිය දෙන්න ඕනි. ඒක මේසන් බාස් කෙනෙක්ගෙ කුලිය තරම්ම ලොකු ගානක්.

    Knapsack-Stainless-Steel-Sp.jpg

    ටැංකියක්


    බෙහෙත් ගැහිල්ලෙං පස්සෙ එක වතාවක් හොඳට දලුත් ඇදෙනවා. මැරිච්ච තණකොළ ගස්වල සාරෙත් උරාගෙන. හැබැයි මේ හිංදා තේ ගහේ දළුවල අතරින් පතර වෙනස් විදිහෙ කොල හැදෙනවා. සාමාන්‍ය තේ දල්ලක කොලේට වඩා දිග, එයිං කාලක් විතර පළල කොල තියෙන දල්ලක් ගහක හැදිල තිවුනොත් ඉස්තිරේටම කියන්න පුලුවං


    “මේ කෑල්ලට සර්පාස් ගහල තියෙන්නෙ“


    කියලා.

    බෙහෙත් ගැහිල්ල වගේ නෙමෙයි දලු කැඩිල්ල. ඒක සතියක් ගානෙ කෙරෙන්න ඕනි වැඩක් නෙ. තේ කොල විකුණන දැන්වීම් වල ඕන හැටියෙ තියෙනවා දලු කඩන විදිහ. හරියට කොල දෙකයි අරිම්බුවයි තියෙන්න තේ ගහෙන් උඩට මලක් වගේ මතුවෙලා “ඉඳා කඩාගනිං“ කියල ඉන්න තේ දල්ල මාලු ලැල්ලෙ විකුනන්න තියෙන දැල්ලංගෙ පාට රෝසම රෝස ඇඟිලි වලින් අල්ලල යන්තං අංශක තුනක් නමපු ගමං පුඩ් සිටියෙ තියෙන බෝංචි කරලක් කැඩෙනව වගේ “ටික්“ ගාල කැඩෙනව. දල්ලෙ අග තිවුන පිනි බිංදු කීපයක් හඳේ ගුරුත්වාකර්ශණයට අහුවුනා වගේ හිමීට පාවෙලා යනව. ආං එහෙමයි දලු කඩන්නෙ. හැබැයි ඒ මහ පොලොවෙ නෙමෙයි හඳේ.

    දලු කඩන්න ඉගෙනගන්නවනං ඊට කලිං ඉවසීම ප්‍රගුණ කරන්න ඕනි. නැත්තං දලු කඩනවාට වඩා තේ ගස් උගුල්ලා දැමීම සිද්දවෙන්න පුලුවන්. තේ ගහේ දලු හැදෙන්නෙ වැවේ මානෙල් පිපෙනව වගේ කොලවලට වඩා උසින් නෙමෙයි. ගහේ කොලවල මට්ටමෙන්මයි. ඒ නිසා කොල නොකඩා දලු විතරක් තෝරලා කඩන්න ඕනැ. ඒකයි තවමත් දලු කඩන්න යන්ත්‍රයක් හරියාකාරව හදන්න බැරි. ටික දවසක් යනකං දල්ලෙන් දල්ල තෝරලා කඩන්න ගියහම දවසටම දලු කිලෝ දහයක්වත් කඩන්න බෑ. බලන්නකො මේ පින්තූරෙ. එතකොට තේරෙයි දලු කැඩිල්ල මොලේ කොලොප්පං වෙන වැඩක් කියලා.

    image.jpg



    මේ රතු පාටිං ලකුණු කරල තියෙන ඒවා තවම ඇදිල මදි. ඒවා කඩන්න හොඳ නෑ. නිල් පාට එක කඩන්න ඕනි. ඒක නියම ගානට ඇදිලා. හැබැයි ඒක කඩන්නෙ ගහේ මට්ටමට. එතකොට තමයි ඊළඟට දලු ඇදෙද්දි එක මට්ටමට ඇදෙන්නෙ. එතකොට කහපාට ඒවා? හොඳින් බැලුවොත් පෙනෙයි ඒවයෙ අරිම්බුව නෑ. ඒ කියන්නෙ මෙතනිං එහාට කොලයක් ඇදෙන්නෙ නෑ. එ් නිසා මේවා කඩලා අයින් කරන්නම ඕනි. හැබැයි මේවා මෝරලා නං කඩලා අහක දානව මිසක් දලු කවරෙට දාගන්නෙ නෑ. සාමාන්‍යෙයං දලු කඩන්නෙක් තප්පරේට දලු දෙකක්වත් කඩනවා. එතකොට මෙතන තියෙන වැදගත්ම කාරනාව තමයි මේවා කඩනවද? කඩන්නෙ කොතනින්ද? කඩල කවරෙට දානවද? අහක දානවද? කියන කාරණා හිතල තීරණය කරන්න තියෙන්නෙ තත්පරෙන් තුනෙං පංගුවක විතර කාලයයි. ආං ඒ හන්දා දළු කඩන කෙනාටත් වේගවත් මොළයක් තියෙන බව තේරුම් ගන්න ඕනි. ඒ වගේම තමයි තේ ගහේ අස්වැන්න තීරණය කරන තීරණාත්මක සාධකයක් වෙන්නෙත් දළු කඩන කෙනාගෙ “හොඳකම“.



    තේ අක්කරයක් හමාරක් විතර තියෙන පවුලක නම් “මහ ජෝඩුවට“ පුළුවං ඉඩමෙ දළු ටික කඩාගෙන, නඩත්තු කරගන්න. නමුත් අක්කර දෙක තුනට වඩා තියෙනකොට “දළු කඩන අය“ හොයාගන්න වෙනවා. ඉස්සර නං අපේ ගමේ ඕන තරං දළු කඩන අය හිටියා. ඒ දවස්වල එතරං තේ ඉඩං තිවුනෙත් නෑ. නමුත් පස්සෙං පහු හැමතැනම තේ වැවිල්ල පටං ගනිද්දි දළු කඩන අය මදිවුනා. ඒ හංදා කලිං “කියල තියන්න“ වුනා.
    දළු කඩන අය අතරිං අපේ “දැතිහුලහ“ නැන්දයි, එයාගෙ මනුස්සයයි ඒ අවට ප්‍රසිද්ධයි. ඒ දෙන්නව හොයාගෙන හැන්දෑවට ඉඩං අයිතිකාරයො එනව. අපේ ගේ ගාව කන්ද උඩට ඇවිත් කෑගහනව. අපේ ගෙවල් මණ්ඩියෙ එක සන්නිවේදන ක්‍රමයක් තමයි කෑගැහිල්ල.

    ඒ වගේම තමයි අවුරුදු දෙකෙං තේ ගස් කරවටක් උස් වෙනවා.
    දලු කඩන අයගෙ ප්‍රධාන හතුරා තමයි කූඩැල්ලා. වැස්සක් ඇතොත් නිමක් නැති පෑව්වොත් පොඩ්ඩක් අඩු වෙන කූඩැල්ලො නිසා තේ ඉඩමකට ඇතුල්වෙන කෙනෙක් ආපහු ඒකෙං පිටවෙන්නෙ පිහි ඇනුමකට ලක්වෙච්ච කෙනෙක් වගේ ලේ පෙරාගෙන. සමහරු ලුණු වතුර, නිල් සබං ආදිය ඇඟේ ගාගෙන යන්නෙ ඒවා කූඩැල්ලට විසයි කියන හින්දයි. ඒ වුනත් කූඩැල්ලංගෙ බේරිලා තේ ඉඩමකට ගිහිං ආපු කෙනෙක් මම තාමත් දැකලා නෑ. කකුල දිගේ නැගගෙන යන කූඩැල්ලා ඔබේ ඇඟේ ඔබට හිතාගන්න පුලුවං ඕනිම අස්සක රිංගලා කන්න පුලුවං. එක වැහි දවසක මගේ කටේ උඩුතල්ලෙත් කූඩැල්ලෙක් හිටියා. ඕනිම කූඩැල්ලෙක් අතිං අරං දාන්න අපේ ගමේ මිනිස්සුන්ට පුලුවං. කූඩැල්ලා අපිට හිරිකිත සතෙක් නෙමෙයි. ඒ වුනත් චාරිත්‍රයක් වසයෙං නිල් සබං කැල්ලක් හරි සල්ලයිට් කෑල්ලක් හරි දලු කඩන අයගෙ කවරෙ තියෙනවමයි.


    දලු කඩන්න යද්දි ඇඳං යන ඇඳුමෙන් දළු කඩන්න බෑ. ඇඳුං සවුත්තු වෙනවා. ඒ නිසා ඒකට වෙනමම “හඩු ඇඳුමක්“ දළු කඩන අය ගාව තියෙනවා. බොහෝවිට මේවා ගෙදරට ඇඳලත් අහක විසි කරන “පාංකඩ“ වර්ගයේ, වැරහැලි වෙලා ඉරිලා ගිය කුණු තට්ටු කීපයකින් වැහිච්ච සුගන්ධවත් ගොමස්කඩ විශේෂයක්. තව ඉටිරෙදි කීපයකුත් කොහු ලණුවකුත් ගෙනියන්නේ වතුරෙන් බේරෙන්න. එයින් එකක් ඉන වටේට ඇඳගන්නවා. තේ ගස්වල තියෙන පින්නෙන් තෙතබරි වීමෙන් වලකින්න. තව එකක් වැස්ස වෙලාවට ඔලුවෙ හිටං වැහෙන්න කුල්ලක් වගේ හදලා දාගන්නවා. මේ කොයිකත් ඇඟට තියල ගැටගහගන්නෙ කොහු ලණුවෙන්.



    “උඩරට කඳුකර සිරියා පරදන“ ලඳුන් හොඳ ලස්සන වේවැල් කූඩයකට දලු කැඩුවට ඇත්තටම දලු කඩන්නේ කවරෙකට. පෝර දාපු කවරයක් හෝදලා අරගෙන ඒක ඔලුවෙ දාගන්න රෙදි පටියක් හරි ලනුවක් හරි දාගත්තම දළු කඩන්න කවරයක් හදාගන්න පුලුවන්.
    දළු කඩන අයගෙ ප්‍රධාන බයිට් එක තමයි බුලත්විට. ගෙවල්වලට ගේන කිරිපිටි පැකැට් එකකින් හදාගන්න “විට මල්ල“ දුංකල ඉරුවක්, බුලත් කොළ අටක් දහයක්, හතරට පලාපු පුවක් ගෙඩ්ඩක් දෙකක්, හුණු පැකැට් බාගයක් ආදියෙං පුරවපු වතුර නොවදින්න හොඳින් නවපු වටිනා දෙයක්. දළු කඩන අයගෙ කටේ බුලත් විටක් නැත්තෙ ඒ අයගේ ප්‍රධාන පානය වන “කහට“ බොන වෙලාවටත්, ප්‍රධාන ආහාරය වන “සොටි“ හරි “පාං“ හරි කන වෙලාවටත් විතරයි.

    big-old-tinned-copper-tea-kettle-vintage-Revere-Laurel-Leaf-Farm-item-no-w42449t.jpg


    මෙන්න මෙහෙම පෝච්චියක් පුරවලා තේ කහට ගෙනිච්චොත් යංතං දෙන්නෙක්ට ඇති.


    කවරයක් පිරෙන්න දලු කැඩුවයින් පස්සෙ ඒ ටික ගෙනත් ඉඩමෙ තියෙන පැලේ බිම ඉටිකොලයක් උඩට හලනවා. එහෙම හලන හැම සැරයකම අල්ලට හලාගන්න සීනි ටිකක් එක්ක කහට පොල් කට්ටක් හිස් කරලා බුලත්විටක් කටේ ඔබාගත්තම ඊළඟ “දළු මඩියට“ බලය, ජවය, ශක්තිය ලැබෙනවා. උදේ හතට විතර පටන්ගන්න මේ රස්සාව හවස තුන විතර වෙද්දි අවසන් වෙනවා. ඒ හංදා දළු කඩන අය දවල්ට කන්නේ ගෙදර ගිහිං.


    දළු කඩන අයට ගෙවන්නෙ දවස් කුලිය. නැත්නම් කඩන දළු කිලෝ ගානට. දවස් කුලියට නං දැන් දවසට රුපියල් පන්සීයක් විතර ලැබෙනවා. එතකොට දළු කඩන කෙනාට ටාගට් නෑ. ඒ නිසා කඩන දළු ප්‍රමාණය කිලෝ දහ අටක් විස්සක් විතර වෙනවා. හැබැයි වැඩේ පිලිවෙලට කෙරෙනවා. කිලෝ ගානට කඩන කෙනාගෙ අරමුණ කඩන දළු කිලෝ ගාන වැඩිකර ගැනීමයි. ඒ හිංදා එක පොකුරට අහුවෙන තරමක් දළු බුරුතු පිටිං කඩලා තේ ගහ හූරලා ඉදලක් වගේ කරන්නත්, ආයි සති දෙකකටවත් දල්ලක් ඇහැට නොදකින්න වැඩ සිද්ද කරන්නත් ඒ අය රුසියෝ.



    මේ කොහොම වැඩ කලත් දළු කඩන කෙනෙක්ට දවසට ලැබෙන උපරිම වැටුප රුපියල් හත්සීයට අඩුයි. බහුතරයක් දෙනාට තවම ලැබෙන්නෙ රුපියල් පන්සීයකට අඩු ගානක්. ඒ එක්කම බෝනස් හැටියට මෝරපු දළු වලට පැලිලා කළු වෙලා ගොරෝසු වුන ඇඟිලිත්, බුලත් කහටට කළු වෙලා වලවල් හෑරුණු දතුත්, දළු කවරෙ එල්ලගෙන ඉඳලා හැදුනු කොන්දෙ අමාරුවත් හැමෝටම අඩු නැතුව ලැබෙනවා.







     
    Last edited:
    • Like
    Reactions: NRTG and mbltch

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    issara loku ammalage gedara niwaduwata giyahama oya kethale ussan yanne mama, e sundara kaale aaye enne na :D:D:D
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මේ මචං උම දාලා තියෙන්නෙ පුදුම වටින දෙයක්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සෑහෙන්න වැදගත් මචං. මට තේරෙන වයසේ ඉදලා ගෙදර එලියට බැහැපු ගමන් තේ ගස් පේනවා. තාමත් එහෙමයි. අපේ පැත්තෙ නම් තේ ගස් අස්සේ හාවෝ, වලිකුකුලෝ තාම ඉන්නවා :cool: හැබැයි තාම තේ ගැන ඔය කියලා තියන මොකුත් මම දන්නෙ නෑ.
    REP+21