මිනිස් සමාජයක උපත ගැන බුදු දහමේ විවරණය වන හැටි
කල්ප ආරම්භය
කල්ප ආරම්භයේදී මේ මහ පොළොවෙහි වැජඹුණු පිරිසිදු මිනිස් සමාජයක් ගැන ත්‍රිපිටකයෙහි දික් සඟියේ එන අග්ගCඳ්Cඳ සූත්‍රයේ සඳහන් වෙයි. බඹ ලොවින් පැමිණි ඒ පිරිසිඳු සත්ත්වයන් පිළිබඳවත් මේ දක්වා මිනිස් සමාජයක් ඇති වූ ආකාරයත් දැක්වෙන මෙම කල්පාරම්භ කථා පුවත විමසිල්ලෙන් බලමු.
ලෝකය හා සත්ත්වයාගේ ආරම්භය කෙසේ වීද යන ප්රශ්නය තේරුම් ගන්නට බොහෝ චින්තකයෝ උත්සාහ කර ඇත. බුදුරජාණන් වහන්සේ ද මේ ප්රශ්නය පිළිබඳව අදහස් දැක්වූ අතර වැඩි උනන්දුවක් දක්වා නැත. මෙය විමුක්තියට අදාළ ප්‍රශ්නයක් නොවන නිසා ය. වඩා උනන්දු වියයුත්තේ දුක පිළිබඳ ප්‍රශ්නයට බවයි උන්වහන්සේ දේශනා කර ඇත්තේ. කෙසේ වෙතත් ඉපැරැණි ලෝකෝත්පත්ති වංශ කතාව අනුව මේ මහ පොළොවේ මිනිස් සමාජයක් ඇති වූ ආකාරය ත්‍රිපිටකයේ දික් සඟියේ අග්ගCඳ්Cඳ සූත්‍රයේ දක්වා ඇති ආකාරය හරි පුදුමයි.
කල්පාරම්භයේ සියලු සක්වල එකම දිය කඳක්ව තිබුණි. මහ ඝන අඳුරකින් වැසී තිබුණි. හිරු සඳු දක්නට නොතිබිණි. රෑ දාවල් කියා දෙයක් තිබී නැහැ. පිරී තිබූ දිය කඳ සිඳී ගොස් ඒ මත්තෙහි කිරි යොදයක් මෙන් පොළොව මතුපිට වර්ණයෙන් සුවඳින් රසයෙන් යුත් තට්ටුවක් ඉතිරි වී තිබිණි. වෙඬරු ඇතිරු කලක් මෙන් විය. මෙසේ රස පොළොවක් පහළ වීය.
බඹලොවින් පැමිණි අති පිරිසිදු සත්ත්ව කොට්ටාසයක්
මේ කාලය වන විට බඹලොවින් පැමිණි අති පිරිසිදු සත්ත්ව කොට්ටාසයක් මහ පොළොව මතුපිට දැක ගන්නට පුළුවන් වුණා. ඔවුන් තුළ ස්ත්‍රී පුරුෂ භේදයක් තිබුණේ නැහැ. සිත් තුළ කාම රාග මොකුත් ම නොතිබුණු බවයි පෙන්වා දී ඇත්තේ. තරහ ඇතිවන ව්‍යාපාදය හෙවත් ද්වේශය ඔවුන් අතර දක්නට තිබී නැහැ. පව් සිතුවිලි මොකුත්ම නැහැ. සිත සඳරැස් වගේ නිර්මලයි. බබළන සුළුයි.
මෙම ආදි කල්පික බ්‍රහ්ම වර්ගයාට තිබුණේ හොඳ පැහැදිලි මනසක්. විදුලි පහන් වගේ තමන්ගේ ශරීර බබුළුවාගන්ට ඔවුන්ට පුළුවන්කම තිබුණා. දියමන්ති වගේ විනිවිද පෙනෙන ශරීර ඇති ඔවුන් නිතර අහසේ එහා මෙහා සැරිසරනවා. ස්ත්‍රී පුරුෂ සම්බන්ධයක් නැහැ. අඹු දරු පෝෂණයක් නැහැ. ඔවුන් ජීවත්වූයේ ප්‍රීතිය ආහාරය කොට ගෙනයි වෙනත් ආහාර පාන ගත්තේ නැහැ.
ඊර්ෂ්‍යාවේ උපත
මෙසේ දීර්ඝ කාලයක් ගත වී ගෙන යද්දී පෙර පිං බල ශක්තියේ හැටියට ඔවුන් තුළ උස්පහත්කම් බලපාන්නට වුණා. සමහරෙක් මහ පිනැති අතිමහත් වූ තේජසින් දීප්තියෙන් බැබළුණා. පිං අඩු අය පිං වැඩි අය දෙස බලුවේ නරක් වූ සිතින් යුතුවයි. අනුන්නේ සැප සම්පත් නොඉවසන ස්වභාවය හෙවත් ඊර්ෂ්‍යාව මෙලොවට පහළ වූයේ මෙතැනදී බවයි පෙනී යන්නේ. මෙම අධිමානය ඊර්ෂ්‍යා සහගත සිතුවිලි නිසා ඔවුන්ගේ ශරීර ප්‍රභාව බබලන ගතිය පිබිදුණු මුහුණු අහසින් ගමන් කරන්නට තරම් තිබුණු බල ශක්තිය ක්‍රමයෙන් පිරිහී විනාශ වී ගියා. තවත් දිගු කාලයක් ගත වීමේදී පොළොවේ පයින් ඇවිදින සත්ත්ව කොටසක් බවට ක්‍රමයෙන් පරිවර්තනය වුණා.
ඉර හඳ පහළ වීම
අග්ගCඳ්Cඳ සූත්‍රයේ දක්වා ඇති හැටියට ඉර හඳ පහළ වුණේ තවත් කල්ප කාලාන්තරයකට පසුවයි. පොළොවේ පඨවි රසය ආහාරය වශයෙන් භාවිත කරන්නට පටන් ගත් නමුත් තවත් කෙළෙස් වැඩෙන්නට වැඩෙන්නට පඨවි රසය ද අතුරුදන් වුණා. පොළවේ බිම් හතු වර්ග භද්‍රලතා නම් වැල් ජාතිය තමයි ආහාර වශයෙන් ගන්aට සිදුවුණේ. තවත් දීර්ඝ කාලයක් ගතවී ගෙන යද්දී නොසාන ලද බිමෙහි ඉබේ හැදුනු ස්වයංජාත හැල් සහලින් තමයි ජීවිත පවත්වා ගෙන ඇත්තේ. මෙසේ ආහාර පවා වෙනස් ආකාරයට සිදුවෙද්දී ශරීරවල වෙනස්කම් ඇතිවුණා. මළ මුත්‍ර හටගැනීම නිසා පිට කිරීමට දොරටු අවශ්‍ය වුණා. ගැහැනු - පිරිමි භේදයක් ආරම්භ වුණේ මේ අවස්ථාවේදී බවයි සඳහන් වෙන්නේ. මේ අනුව ස්ත්රීන්ට ස්ත්‍රී නිමිත්තත් පුරුෂයන්ට පුරුෂ නිමිත්තත් ඇති වුණු බවයි පෙනී යන්නේ.
ස්ත්‍රී පුරුෂ සම්බන්ධය
මෙසේ අවුරුදු ලක්ෂ ගණන් ගතවීමේදී සත්ත්වයාගේ ශරීර හැදී වැඩෙමින් පැවතුනා. ස්ත්‍රී සත්ත්වයා දුටු පුරුෂ සත්ත්වයාගේ සිතෙහි කාම රාගය උද්දීපනය වීමෙන් ස්ත්‍රී පුරුෂයන් ලෙස එක්වී කම් සුව විඳීමට පටන් ගත්තා. මෙම කම් සුව විඳීම අනෙක් අයගෙන් වසන් වී සිදුකර ගැනීමට අවශ්‍ය වුණ නිසා ගෙවල් සාදා ගැනීමට කවුරුත් කටයුතු යොදා ගත්තා. ගෙවල් දොරවල් බඩු භාණ්ඩ හදාගෙන මහ පොළවේ පදිංචි වීම ආරම්භ වීමත් සමඟ හිත කිළිටු ඊර්ෂ්‍යාව අනුන්ගේ සැප ඉවසන්ට නොහැකි වීම වැනි ගති ලක්ෂණ මේ මිනිස් සත්ත්වයන් තුළින් විද්‍යමාන වුණා. තමන් උසස් කොට තැකීමත් අනුන් පහත් කොට තැකීමත් නිසා අධික මානය, තෘෂ්ණාව, කාම රාගය වැනි කිළිටු සිතුවිලි උත්සන්න වීමට පටන් ගත්තා. තරඟකාරී ලෙස ජීවත් වීමේ අඩිතාලම වැටෙන්නට වුණේ මේ අවධියේ සිට බවයි සඳහන් වෙන්නේ.
කෙලෙස් සිතුවිලි නිසා පිරිහීම වැඩිවෙයි
වඩ වඩාත් රස බොජුන් සොයන්නට වීම නිසා අනුන්ගේ දේ පවා ගැනීමට පෙළඹුනා. තෘෂ්ණාව, කාම රාගය වඩාත් උත්සන්න වීම නිසා මිනිසා සෑම අංශයකින් ම පහළට වැටුණා. දිගින් දිගටම ආහාරය ලෙස හැල් වී කුඹුරුවල වැවීමට අවශ්‍ය වුණා. ඒ කාලයේ කුඹුරු මායිම් දමා වෙන්කර ගෙන තිබුණේ නැහැ. අවශ්‍ය වෙලාවට හැල් වී කඩාගෙන ආහාර පිස ගැනීමට ඔවුන් පුරුදුව සිටියා. මේ අතර මෙම මිනිස් සමාජය විවිධ මතභේදයන්ට තුඩු දෙන තණ්හාධික සිදුවීම්වලට භාජන වුණා. පුර්ව භවයන්හි කුසලාකුසල කර්මවලට අනුව සමහර තණ්හාධික මිනිසුන් වේල් දෙක තුනකට සෑහෙන හැල් වී එකවර ගෙනැවිත් රැස්කර තබා ගැනීමට පටන් ගැනීමත් සමඟ සියල්ලෝ ම මෙයට පෙළඹුණා. වැඩි දෙනෙක් වැඩි වැඩියෙන් රැස් කිරීමට පුරුදු වීම නිසා කෙළෙස් සිතුවිලි නිසා හැල් කෙත්වල සංවයංජාත භාවය නැති වී ගොස් කැඩූ හැල් වී කරල් වෙනුවට නැවත හට ගැනීමක් නැති වුණා. මෙතැන් සිට හැල් කුඹුරුවල පිරිහීම පටන් ගත්තා. හැල් වී ලබා ගැනීමට මහන්සි වී කුඹුරු ගොවිතැන් කිරීමට සිදුවුණා.
පොදු හැඟීම් නැති වී පෞද්ගලිකත්වය ඉස්මතු වෙයි
මේ අයුරින් එදා ආදි කල්පිත මිනිස් සමාජයේ පැවැති මහානුභාව සම්පන්න ගති නැති වී ගිය හැටි සූත්‍ර දේශනාවේ පැහැදිලි කර තිබෙනවා. පොදු හැඟීම් නැති වී ගොස් පුද්ගලිකත්වය සිතට නැඟුණු සාමාන්‍ය මිනිසා බවට පත්වන තුරු මේ වෙනස්වීම් දැන් අපට වටහා ගන්න පුළුවනි. මේවා මෙසේ වෙනස් වන්නට වර්ෂ කල්ප ලක්ෂ ගණනින් ගත වූ බව සිතා ගත යුතුයි.
තවදුරටත් කල්ගත වීමේදී හැල් කුඹුරු එකිනෙකා වෙන් කරගෙන මායිම් දමා ගොවිතැන් කිරීමට පටන් ගත්තේ කලින් සඳහන් කළ පස්පව් දස අකුසල් සිත්වල බලපෑමෙහි ප්‍රතිඵලයක් වශයෙනුයි. මෙහිදී මුලින්ම පටන් ගත්තේ හොරකම බව පෙනී යයි. හැල් කුඹුරු හිමියෙක් අනෙකාගේ කුඹුරේ සරු ලෙස වැවී තිබුණු හැල් කරල් රහසිගතව සඟවා ගෙන තම ගෙදර වෙත ගෙන යැම හොරකමේ ආරම්භය ලෙස සැලකිය හැකි බවයි පෙන්වා දී ඇත්තේ. මේ දුටු අනෙකකු විසින් කුඹුරු හිමියාට ඒ බව කියා අවුලක් ඇති කිරීම මුලින්ම ඇති වූ කේලාම් කීම ලෙස සලකන්ට පුළුවන්. මේ විදියට පරුෂ වචන, තරහ වැනි සිතුවිලි දිගින් දිගටම උත්සන්න වෙමින් පැවතීම නිසා පස්පව්, දස අකුසල් ක්‍රියා වැරදි ක්‍රියා පෙන්වා දෙන්ට සිදුවුණු හැටිත් ඒවා අද දක්වා තව තවත් වැඩිවෙමින් පවතින හැටිත් දැක ගත හැකිය.
මේ වන විට පුද්ගලික අයිතිය දේපළ ආරක්ෂා කර දීම හා තාඩන පීඩන බලපෑම්වලින් ආරක්ෂා කර ගැනීම කාටත් අවශ්‍ය වී තිබුණා. වැරදිකරුවන්ට දඬුවම් දීමටත්, යුකිතිය පසිඳලීමටත් ක්‍රම සොයන්ට අවශ්‍ය වුණා. රජෙක් තෝරා ගැනීම සිදුවන්නේ මේ අවශ්‍යතා සලකා ගෙනයි. මහජන සම්මතයෙන් මේ සඳහා සුදුසු අයෙකු පත්කර ගන්ට කවුරුත් කැමැත්තක් දැක්වූ බව පෙනී ගියා.
මහා සම්මත සංකල්පය
මහා සම්මතයෙන් තෝරාගත් පළමු පුද්ගලයා වූයේ මෙම කල්පයෙහි සතරවැනිව බුදුබව ලැබූ ගෞතම බෝධිසත්වයන් වහන්සේ බවයි සඳහන් වන්නේ. එදා මේ සමාජයේ මිනිසුන් අතර සිටි ශක්ති සම්පන්න, ස්ථානෝචිත ප්‍රඥාවකින් යුත්, දර්ශනීය රූප ශෝභාවකින් හෙබි තරුණයා මේ සඳහා තෝරා ගැනුනේ මහා සම්මතයෙන් මනු නමින් හඳුන්වනු ලැබූ එම ශ්‍රේෂ්ඨ පුරුෂයා මහජන සම්මතයෙන් එදා රජකමට පත්කර ගත්තා. බෞද්ධ ඉතිහාසයෙහි මහා සම්මත මනු රජු කියන්නේ එතුමාටයි. මොහුගෙන් ආරම්භ වූ මනුරාජ පරම්පරාව වර්ෂ කෝටි ගණනක් මේ මහ පොළොවේ පරම්පරා ගණනාවක් වෙනස් වෙමින් පැවතගෙන ආ බව පෙනේ. මේ වන විට බෝධිසත්ව චරිතය බුදු වන ආත්ම භාවය ළංවන විට ශක්‍ය රාජ වංශය බවට පත්වු හැටිත් කිඹුල්වත් නුවර සිංහභනු රජතුමාගේ පුත් ශුද්ධෝධන රජතුමාට දාව සිද්ධාර්ථ ගෞතම බෝසතුන් පහළ වූ හැටිත් බෞද්ධ ඉතිහාසය අනුව පෙනී යයි.
මිනිසා පරිහානියට පත් වූ හැටි
මිනිසුන් අතර සොරකම පැතිරීයත්ම සත්ත්ව හිංසාවත් සිදුවුණා. ප්‍රාණඝාතය, දුරාචාරය, සුරාපානය, සූදුව ආදී අකුසල් ධර්ම වඩාත් උත්සන්න වුණා. මිනිසුන්ගේ ආයුෂ ද රූප සම්පත්තිය ද සෙසු කායික, මානසික ක්‍රියාවන් පරිහානිය කරා ඇදී ගියා. මේ වන විට මිනිසාගේ ආහාරය වුයේ ධාන්‍ය ජාති, එළවළු, පලතුරු ආදියත් හරකාගේ පස්ගෝ රසයත් බවට පත්වී තිබුණා. මේ නිසා රෝගාබාධා බොහෝ දුරට අඩුවුණා. මීට හේතුවන්ට ඇත්තේ නිර්මාංශ ආහාර හා පස්ගෝර වන්ට පුළුවනි. ඒ කාලයේ මිනිසුන්ට තිබුණු ප්‍රධාන ලෙඩ රෝග තුන නම් තෘෂ්ණාව, කුසගින්න, මහලුවීම බවයි පෙනී ගියේ. සතුන් මරාගෙන කන්නට පුරුදු වුණාට පස්සේ විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වුණා.
පර සම්පත් නොඉවසන ඊර්ෂ්‍යාවේ ආරම්භය
ආදි කල්පික මේ මිනිසුන්ගේ සිත් තුළ පර සම්පත් නොඉවසන සිතුවිල්ල හෙවත් ඊර්ෂ්‍යාව සියලු විනාශකාරී ක්‍රියාවලට මූලික හේතුවක් වුණා. පිරිසිදු සිත් තිබුණු මිනිසුන් අපිරිසිදු බවට පත් කොට ප්‍රදීප මෙන් බැබලුන අය අඟුරු වගේ අවලස්සන අය බවට පත්කරන්නට මෙම සිතුවිල්ලට පුළුවන් වුණා. මුළු ලෝක ධාතුවම ගනි අවුළුවා විනාශ කිරීමට තරම් මහා බලයක් ඇති ඊර්ෂ්‍යාව නමැති ගිනි පුපුර නිවා දැමීමට නම් මිනිස් සිත දහම් සිසිලෙන් සැනසිය යුතුය.
එදා බුදුරදුන් වැඩ සිටි යුගයේ දෙව්දතුන්ගේ කල්ප ගණන් කාලයක් පැවත ආ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය වැනි නපුරු සිතුවිලි පිළිබඳව කියෑවෙන ජාතක කථාව කවුරුත් අස් ඇතුවාට සැක නැත. ලක්ෂයක් වටිනා රංතලිය කිසිත් නොවටිනා ලෝහ බඳුනක් ලෙස දක්වා පවුව තමන්ට එම වටිනා රං තලිය වංචනිකව ලබා ගැනීමට යැම පිළිබඳ කථාවේදී ඇතිකර ගත් වෛරය බුදුරදුන් මැරවීමට උපක්‍රම යෙදවීමට තරම් උත්සන්න වී ගිය හැටි අප අසා ඇත.
ඊර්ෂ්‍යාවේ විපාක
අපේ පුංචි ශ්‍රී ලංකාව එදා පරදේසීන් අතට පත් කරන්නට මුල් වූයේ අපේම සිංහල නිලමෙලා බව වත්මන් යුගයේ කවුරුත් දන්නා කරුණක්. එදා - මෙදා බල තණ්හාවෙන් හදවත කුපිත කරගත් හැටිද, තාටත් දැක ගත හැකි විය. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ඉහවහා ගිය පිරිස් මේ රටට කළ විනාශයන් සත් පුරුෂ ජනතාවට වැටහී යනු ඇත. දීර්ඝ කාලයක් ස්වාධීනව පැවති රට පරදේශීන්ට පාවා දුන්නේ පාපකාරී සිතුවිලි ඇත්තන් බව පැහැදිලිය. ගොවිතැනක්, වෙළෙ¹මක් කර ගෙන දියුණු වීමට උත්සාහ කරන කෙනෙකුට ළඟපාත අයගෙන් බාධා පැමිණෙන හැටි ඔබටත් පැහැදිලිව පෙනෙනවා ඇති. ස්වාමියාගේ ව්‍යාපාරය හොඳින් දියුණු කළොත් තමාටත් හොඳින් ජීවත් වීමට හැකි වනවා නොවේ දැයි සිතන සේවකයන් අද අඩු වී ඇති බව පෙනේ. මවුපියෝ - දරුවෝ, ගුරුවරු - ශිෂ්‍යයෝ, සහෝදර - දහෝදරියෝ ඔවනොවුන්ට ඊර්ෂ්‍යාවෙන් ක්‍රියා කරන අවස්ථා ඇති අතර පැවිදි අය අතර ද මෙම ඊර්ෂ්‍යා සහගත පව්කාර සිතුවිල්ල ක්‍රියාත්මක වෙයි.
ඊර්ෂ්‍යා කළා කියා අනෙකාගේ සැප සම්පත් නැති කළ නොහැකියි. ලැබෙන එකම ප්‍රතිඵලය බලා සිටියදීම හැම දෙයින්ම පිරිහී යැමය.
මෙතැනදී සිහිවන එකම සහනදායී පිළිවෙත වන්නේ බුදුදහමින් දැක්වෙන සතර බඹ විහරණ කෙරෙහි සිත නිරතුරුව යොදමින් නොසෙල්වන - නොකැළඹෙන පෞරුෂයක් තුළ තම ජීවිතය හැඩ ගස්වා ගැනීම වෙයි.