http://www.lankaenews.com/Sinhala/news.php?id=15977
මේජර්ලා තක්කාලි කිරද්දී හමුදාපති මධු සාද පවත්වයි
(ලංකා ඊ නිව්ස් 2011 ජන.13, ප.ව.6.00 දෙවන සංස්කරණය ප.ව.6.45* යුද හමුදා මේජර් ධූරයක් යනු සෙබළුන් 900 කට පමණ අණ දෙන ධූරයකි. සිව් වන ඊළාම් යුද පිටියේ රෙජිමේන්තුව වලට මේජර්ලා අණ දුන් අවස්ථා ගණනාවක් අතීතයෙන් සොයා ගත හැක.
හමුදා නිලධරයෙකු වීමට උසස් පෙළ සමතෙකු ලෙස හමුදාවට ඇතුලත් විය යුතු අතර ලක්ෂ 5 ක බැඳුම්කරයක් ද ඉදිරිපත් කළ යුතුය. වසර දෙකක හමුදා නිලධාරී පුහුණුවකින් පසු ද්විභාෂා උගතෙකු සේ දෙවන ලූතිනන් ධූරයකට පත් වන හමුදා නිලධරයෙකු මේජර් තත්ත්වයට උසස්වීම් ලැබීමට තවත් විභාග ගණනාවකට පෙනී සිටිය යුතුය. දෙවන ලූතිනන් ධූරයෙන් ලූතිනන් ධූරයට ද ලූතිනන් ධූරයෙන් කපිතාන් ධූරයට ද කපිතාන් ධූරයෙන් පසු මේජර් ධූරයට ද ඔහු උසස් වීම් ලබයි. කපිතාන් ධූරයෙන් මේජර් ධූරයට පත්වීමට ලිඛිත විභාගයකට මුහුණ දිය යුතුය.
එවන් ධූරයකට අවශ්‍ය සමාජ ගරුත්වයද හමුදාව විසින් ලබා දෙන්නේ නිල රථයක් නිල නිවසක් ආදියද ලබා දෙමිනි. එවන් මේජර් ධූරයක නිලතල දරන්නෙකු වත්මන් ආරක්ෂක ලොක්කන් විසින් අද තක්කාලි කිරමින් එළවළු විකුණන තත්ත්වයට ඇද දමා ඇති අයුරු මෙම සේයාරුවෙන් දැක්වේ. කොළඹ මාලිගාවත්ත තට්ටු නිවාස අසල තක්කාලි කිරන මේජර්වරයාගේ මෙම සේයාරුව ඬේලි මිරර් පුවත් පත විසින් ප්‍රසිද්ධ කරන ලද්දකි.
කොළඹ මේජර්ලා එළවළු විකුණද්දී ඊයේ අනුරාධපුර තන්තිරිමලේ බෝයගම හමුදා කඳවුරේ සෙබළුන් 300 ක් පමණ ගංවතුරට කොටු වී සිටියෝ ය. ඔවුන් බේරා ගත්තේ යුද හමුදාව නොව නාවුක හමුදාව මැදිහත් වීමෙනි.
මෙසේ තිබියදී හමුදාපති ජගත් ජයසූරිය මහතා ඊයේ රාත්‍රී වර්ණවත් සාදයක් කොළඹ පැවැත්වීය. එ් හමුදාපති වාර්ෂිකව මාධ්‍යවේදීන් වෙත පවත්වන මධු සාදයයි. මාධ්‍ය ආයතන වල ආරක්ෂක වාර්තා සපයන්නෝ ඊයේ එම සාදයට පැමිණ හොඳට සප්පායම් වූවෝය. සිරගතව සිටින හිටපු හමුදාපති ජෙනරාල් ෆොන්සේකාගේ අන්තේවාසිකයෙකු ලෙස සිටිමින් එවකට වන්නි ආඥාපති ධූරය දැරූ වත්මන් හමුදාපතිවරයාට කැපිල්ල දැමූ එක් සුප්‍රසිද්ධ ආරක්ෂක වාර්තාකරුවකු ඊයේ හමුදාපති ජගත් ජයසූරිය මහතාගේ කරේ අත් දමාගෙන සිටිනු දුටු බොහෝ මාධ්‍යවේදීන් කීවේ ‘අවස්ථාවාදයේ තරම’ කියා ය. කෙසේ වෙතත් වෙනදා හමුදාපතිගේ මාධ්‍ය සාදයට සහභාගී වන තරම් මාධ්‍යවේදීහු ඊයේ සහභාගීව නොසිටියෝ ය. හමුදාපතිවරයා ඊයේ එක් මාධ්‍යවේදියෙකු සමග පවසා තිබුනේ තමන් හමුදාව යොදවා එළවළු විකිණීම අනෙකුත් දිස්ත්‍රික්ක වලට ද ව්‍යාප්ත කරන බවයි.