අගසව් ධාතූන් වැඩ වසන බුද්ධංගල පුදබිම

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    අගසව් ධාතූන් වැඩ වසන බුද්ධංගල පුදබිම

    DSC_0861.JPG

    අම්පාර සංචාරකයෙකුට නම් පාරාදීසයක්. ඉඟිනියාගල, ගල්ඔය ආදී ස්වභාවික සුන්දර මංපෙත් මෙන්ම පෞරාණික ලාංකීය ශ්‍රී විභූතිය විදහාපාන බොහෝ පුරාවිද්‍යාත්මක ස්ථාන අම්පාරේ බහුලයි. ඉතින් අද සොබාරූ චාරිකාව නැගෙනහිර පළාතේ මේ අතිශය අපූරු අම්පාර නගරයටයි. අතීතයේ අම්බර පසුව අඹාර වී දැන් අම්පාර ලෙස වැහැරෙන මෙය නැගෙනහිර පළාතේ අගනගරය ලෙස අවිවාදිතයි.
    අම්පාර නගරයෙන් කිලෝමීටර් හයක් තරම් මෑතින් පිහිටි පුරාවිද්‍යාත්මකවත් ආගමිකවත් අතිශය වැදගත් වූත් එමෙන්ම පාරිසරිකව අතිශයින් සෞන්දර්යාත්මක වූත් බිම් කඩක් බුද්ධංගල. ක්‍රිස්තු පූර්ව තුන්වන සියවස පමණ අතීත කාලයක ඉතිහාසයක් මෙයට හිමියි.
    DSC_0878.JPG

    අග්‍රශ්‍රාවක ධාතූන් නිධන් කළ චෛත්‍යය​
    ශේෂ කඳු මුදුන් හයකින් පමණ සමන්විත මෙහි එක් කඳු මුදුනක සුවිශේෂ චෛත්‍යයක් පිහිටා තිබෙනවා. සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවයකයන් වහන්සේලාගේ ධාතූන් මෙහි නිධන් කොට ඇති බව පැවසෙනවා. එක් අවාසනාවන්ත යුගයක කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට නතුව තිබී විනාශ මුඛයට ඇද වැටුණ මෙම ස්ථානය අද බැතිමතුන්ගේ නිබඳ වන්දනාවට පාත්‍ර වෙනවා.
    DSC_0849.JPG

    ගල්විහාර අනුරුව​
    මේ වන විට මෙහි ගල්තලා පුරා නවීන ඉදිකිරීම් රාශියක් දක්නට ලැබෙනවා. මගේ පුද්ගලික හැඟීම නම් මේ සිමෙන්ති කොන්ක්‍රීට් ඉදිකිරීම් වලින් මෙම ස්ථානයේ පෞරාණික අගයත් ස්වභාවික සෞන්දර්යයත් වැනසී යන බවයි.
    මේ උස් කඳුමුදුන පවා අලිඇතුන් නිතර සැරිසරන තැනක් බවට සාධක සාක්ෂි බොහොමයි. ගල් පර්වත බෑවුමක තිබුණ අලි බෙටි කියා පෑවේ ඊයේ රාත්‍රියේත් සද්ධන්තයන් මෙහි වන්දනාවේ පැමිණි බවයි.
    DSC_0850.JPG

    සද්ධන්තයාගේ සලකුණු​
    පෞරාණික අගය සේම ස්වභාව සෞන්දර්යයෙනුත් බුද්ධංගල බොහොම ඉහළ තැනක පිහිටනවා. ගල්තලා පුරා විහිදුණ ස්වභාවික ගල්කෙමි වල පිරුණු දිය පිස එන සුළඟ ගිනියම් හිරු රැස්වල දාහය නිවා දමන්නට සමත්. එමෙන්ම සුන්දර දිගාමඩුල්ල කුරුලු ඇසින් නිරීක්ෂණය කරන්නටත් මෙතැන කදිමයි.
    DSC_0857.JPG

    කුරුලු ඇසින් දිගාමඩුල්ල​
    නොයෙක් වර්ගයේ පක්ෂීන් මෙන්ම රිලවුන් ආදී ක්ෂීරපායීන්ද නිභයව මෙහි සරන්නේ මෙතැන අභය ඇති බව දන්නා නිසාමයි.
    DSC_0911.JPG

    දුම් බොන්නා - Indian Roller​
    මේ ඉහත ඡායාරූපයේ සිටින්නේ දුම්බොන්නා හෙවත් Indian Roller. ගැමියන් හේන් ගිනි තැබූ පසු නැගෙන දුම හරහා කට ඇර ගෙන පියාඹන නිසා ගැමියන් තැබූ නම තමයි දුම් බොන්නා. ඇත්තටම එයා එහෙම කට ඇර ගෙන පියාඹන්නේ දුමට ඇවිස්සි ඉහළ නගින කෘමි සතුන් ගිල දාන්නටයි.
    DSC_0919.JPG

    රිලා ආදරේ​
    ලංකාවේ හුඟක් පුදබිම් වල සුලබ සත්ත්වයෙක් නේ මේ රිලවා (Toque macaque - Macaca Sinica) මුන්දෑ කොයිතරම් සුලබ වුණත් ලංකාවට ආවේණික විශේෂයක් බවත් නොකියාම බෑ.
    DSC_0854.JPG

    අඬනහිරියා - Clotoralia mucronata​
    බුද්ධංගල ගමනින් පසුව මම හෙමින් මගේ නවාතැනට ගියා. මං නවාතැන් ගත්තේ අම්පාර වැව අසළම පිහිටි පුංචි නවාතැන් පොළක. එදා පසළොස්වක පෝයදාට පසු දා නිසාම රාත්‍රියේ වැව අසළ මැවුණ සෞන්දර්යය නම් මට වචනයෙන් විස්තර කරන්නට බැහැ. නමුත් රාත්‍රී කාලයේ වැව අසළ නිතර වන අලි සරන බැවින් එළිමහනේ ගත කිරීම නුසුදුසු බව නවාතැන භාරකරු පැවසූ නිසා මම ඉක්මණින් ඇතුළට ගියා.
    DSC_0937.JPG

    රාත්‍රිය මනරම්​
    පසුදා උදෑසනම කැමරාවත් රැගෙන මම දිව ගියේ වැව ළඟටයි.
    DSC_0976.JPG

    ජීවන සටන​
    මේ දෙගොල්ලන්ම එක හා සමාන ජීවන සටනක නිරත වෙනවා. ධීවරයන් අසළම මේ සිටින්නේ පැස්තුඩුවන් හෙවත් Spot Billed Pelicans කීපදෙනෙක්.
    අම්පාර වාපියට ඉහළින් මේ සුදෝසුදුව දිලෙන්නේ සාම චෛත්‍ය රාජයායි.
    DSC_0754.JPG

    සාම චෛත්‍යය​
    අම්පාරේ තවත් සොඳුරු තැන් ඊළඟ සටහනින් බලමු.