බිබිලේ පැණි දොඩම් වනසන වෛරස් රෝගයක්
බිබිලේ පැණි දොඩම් වගාව දිලීරයක් නිසා විනාශවී යාමේ තර්ජනයකට මුහුණ පා ඇති බව බිබිල ගොවි පුහුණු ආයතනයේ කළමනාකාර ටී. ඇම්. හරිස්චන්ද්‍ර මහතා පවසයි.
1948 වර්ෂයවන විට බිබිලේ දොඩම් වගාව ඉතා සරුවට තිබූ අතර ‘වැලන්සියා ලේම්’ නැමැති දොඩම් ප්‍රභේදය මෙරටට ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වා ගෙන බිබිල ගොවිපළේ රෝපණය කිරීමෙන් අනතුරුව විවිධ රෝග දොඩම් වගාවට වැළදෙන්නට පටන් ගත් බව දොඩම් වගා කරුවෝ කියති.
1950 න් පසුව ‘ට්‍රිස්ටියා’ නම් වෛරස් රෝගයක් නිසා දොඩම් වගාව විනාශවී යාමට පටන්ගෙන තිබේ. ඊට අමතරව දිලීර බැක්ටීරියා , වැනි රෝග ද එම වගාව ආක්‍රමණය කරමින් දොඩම් ඵලදාවට හානි කරන්නට විය. ඒ වන විට අක්කර 4000ක පමණ ව්‍යාප්ත වී තිබූ පැණි දොඩම් වගාව වර්තමානයේ අක්කර 600 දක්වා පහත වැටී තිබේ.
1956 වර්ෂයේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් බිබිල ඊතණවත්ත ප්‍රදේශයෙන් දොඩම් ප්‍රභේදයක් හඳුනාගෙන ඇති අතර එය බිබිල ස්වීට් නමින් අද හඳුන්වනු ලැබේ. 1970 න් පසුව නැවත දොඩම් වගාව ව්‍යාප්ත කිරීම සඳහා පියවර රැසක් ගනු ලැබිණි.
මේ පිළිබඳ අදහස් දැක් වූ ටී. ඇම්. හරිස්චන්ද්‍ර මහතා ‘බිබිලේ දොඩම් වගාවට විවිධ තර්ජන ආවා. විශේෂයෙන්ම වෛරස් රෝග වැළඳීම නිසා සමහර කාලවල දොඩම් වගාව විනාශ වෙලාම ගියා. 1950 ගණන්වල දොඩම් වගාවට වැළදුන ‘’ට්රිස්ංට්රිසා’’ නැමැති වෛරසය තවමත් අපේ දොඩම් වගාවට හානි පමුණුවනවා. ඒ නිසා බිබිලේ දොඩම් වගාව ව්‍යාප්ත කිරීම සඳහා අපි දැන් පියවර රැසක් අරන් තිබෙනවා.
දොඩම් වගාව සඳහා සහනාධාර රැසක් දැන් අපි ක්‍රියාත්මක කරනවා. නොමිලේ දොඩම් පැළ ගොවියන්ට ලබාදීම , උපදෙස් හා ගොවි පුහුණු පන්ති පැවැත්වීම මූල්‍යමය පහසුකම් ලබා දීම , දැන් අපි සිදුකරගෙන යනවා.
නමුත් දොඩම් වගාවට වැළදෙන රෝග වළක්වා ගැනීම සඳහා නිවැරැදි ක්‍රමවේදයන් හඳුනා නොගැනීම නිසා මේ වන විට බිබිලේ පැණි දොඩම් වගාව විනාශවී යාමේ අවධානමකට ලක් වෙලා. දොඩම් වගාකරුවන්ගේ උනන්දුව හා කැපවීමේ ඌනතාවය නිසා හොඳ දොඩම් අස්වැන්නක් ඔවුන්ට ලබා ගැනීමට බැරි වෙලා තියෙනවා.
මේ වන විට බිබිල ප්‍රදේශයේ දොඩම් අක්කර 3000ක් පමණ වගා කරල තියෙනවා. අපේ මේ ගොවිපළේ අක්කරයක ආදර්ශ වගාවක් තියෙනවා. දොඩම් වගාකරුවන්ට පුළුවන් මේ ගොවිපළට ඇවිල්ලා තමන්ට අවශ්‍ය උපදෙස් ලබා ගන්න. හරියට වගා කළොත් දොඩම් අක්කරයකින් රුපියල් ලක්ෂයකට වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන්. දැනට බිබිල ප්‍රදේශයේ දොඩම් ගෙඩියක් රුපියල් 15 - 20 ත් විතර වෙනවා. විධිමත් ලෙස පැණි දොඩම් වගා කරල හොඳ ආදායම් ලබා ගන්නා ගොවියන් මේ ප්‍රදේශයේ ඉන්නවා. හැබැයි වැළදෙන රෝග හඳුනාගෙන ඒවාට නියම ප්‍රතිකාර නොකළොත් දොඩම් වගාව සම්පූර්ණයෙන්ම විනාශවී යන්න ඉඩ තියෙනවා.
මේ පිළිබඳ අදහස් දැක් වූ ජාතිය ගොඩනැඟීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ඒ. පී. ජගත් පුෂ්ප කුමාර මෙසේ කීය.
බිබිල ප්‍රදේශයේ පැණි දොඩම් වගාව ව්‍යාප්ත කිරීම සඳහා විශේෂ වැඩසටහන් රාශීයක් ආරම්භ කරල තියෙනවා. කන්න පුරාවට , මැදගම , බුළුපිටිය , නිල්ගල වගේ ප්‍රදේශවල පැණි දොඩම් වගා කරල තියෙනවා. ඒ ගොවියන්ටත් අපි උසස් වර්ගයේ පැළ ලබා දුන්නා. උපදෙස් හා මූළ්‍ය පහසුකම් ලබා දුන්නා. දිලීර වගේ රෝග වැළදෙනවා ඒවාට අවශ්‍ය ප්‍රතිකර්ම කළාම හොඳ දොඩම් අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. රජය මඟින් දොඩම් වගාව ව්‍යාප්ත කිරිම සඳහා පියවර රැසක් අරගෙන තියෙන නිසා බිබිල ප්‍රදේශයේ පැණි දොඩම් වගාව විනාශවී යාමේ තර්ජනයකට මුහුණ පාන්න විදියක් නෑ. ගොවියන්ගේ උනන්දුව නැති වුණොත් නම් දොඩම් විතරක් නොවෙයි වෙනත් වගාවක් වුණත් විනාශ වෙලා යන්න පුළුවන්.
http://archives.dinamina.lk/2010/02/27/_art.asp?fn=f1002274