ඌරන් ඇඳීම
දුෂ්කර සේවාවකින් අනතුරුව ගමේ පාසලට පැමිණි එම ගුරුතුමා ගමේ දරුවන් වෙනුවෙන් ඇපකැප වී සේවය කරයි. ‘උඹ’ ‘පලයන්’ ‘මෙහෙ වරෙන්’ යනුවෙන් ළමයින් ඇමැතීම ඔහුගේ පුරුද්දය. එපමණක් නොව සමහර විට සත්ත්ව නාම ද ආදේශ කරයි.
එදා අපේ ගුරුතුමා පන්තියට ගියේ ය.
‘මොනවද තියෙන්නේ.
‘සර්... චිත්‍ර’
‘ගන්නවා චිත්‍ර පොත්’
ළමයි වහ වහා ම චිත්‍ර පොත් ගත්හ.
‘දැන් අඳින්න මෙන්න මේ කවිය’
‘අතට වෙරලු ඇහිද ගෙනේ
ඉණට පලා නෙළා ගෙනේ
බරට ම දර කඩා ගෙනේ
එයි අම්මා විගස කිනේ’
දැන් ගුරුතුමා පන්තිය වටේට යයි. පේළි අතරින් ද යයි. ළමයි ඇඳීම අරඹා ඇත.
එක් මහත ශිෂ්‍යයකු කිසිවක් ඇඳ නැත, කෝපයට පත් ගුරුතුමා මෙහෙම කීවේ ය.
‘ඇඳපන් ඌරෝ’
නැවතත් පන්තිය වටේ යන විට ළමයා පොතේ පිටුවක් පිරෙන්නට ම ඌරන් රංචුවක් අඳිනු දක්නට ලැබිණි.
උපුටා ගැනිම-silumina


