මමත් හොල්මන් අවතාර කියන දේවල් විශ්වාස කරපු කෙනෙක් නෙවෙයි. ඒත් මේ සිදුවීමෙන් පස්සෙ ඒ ගැන විශ්වාස කරන්න උනා.
මම මේක ලියන්න හිතුවෙ මගේ මල්ලී කෙනෙක්ගෙ ඉල්ලීම නිසා.
මීට කලින් කිහිප වරක් පොඩි පොඩි අත්දැකීම් තිබුනත් ඒ කිසිම දෙයක් මම ගනන් ගත්ත කෙනෙක් නෙවෙයි මොකද හොල්මන් අවතාර කියන් දේ ගැන මගේ තිබුනු අවිශ්වාසය නිසා.
හරි මම දැන් කතාවට යන්නම්, මේක උනේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසෙ ඉදන්, මට හදිසියේම ගෙවල් මාරු කරන්න උනා.
මගේ පවුලෙ මමයි මගේ වයිෆ්, දුව සහ පුතා තමයි ඉන්නෙ දුවට අවුරුදු 6යි. පුතාට අවුරුද්දයි.
ඉතින් මම හොයල හොයල කොහොම හරි අන්තිමේ බ්‍රෝකර් කෙනෙක් මාර්ගයෙන් ගෙයක් හොයාගත්ත. ගමක් ඇතුලෙ නොවුනත් නිස්කලංක තැනක්. තැන දැක්කගමන් වයිෆ් කැමතිවුනා.
මේ ගේ ගැන කියනවනම් තට්ටු දෙකේ ගෙයක් යට තට්ටුව අංගසම්පූර්ණ උනත් උඩතට්ටුවේ වහලේ ගහල තිබුනට වැඩ ඉවර කරල තිබුනෙ නෑ. උඩතට්ටුවේ පරාල වගයක් ලී දඩු වගයක් ගොඩ ගහල තිබුන. උඩින් තරප්පුවට බහින තැන දොරක් දාල තිබුන. මේ දොර නිතර වහල තමයි තිබුනෙ.
මේ විස්තර කිවුවෙ ඔයාලට පොඩි අදහසක් ගන්න ගේ ගැන. හැබැයි මම ප්‍රදේශය නොකිය ඉන්නම් ගෙවල් අයිති කෙනාට හරි නැති නිසා.
ඔන්න පෙබරවාරි මාසෙ 25 වෙනිද අපි බඩු ඔක්කොම අරන් ගිහින් ගෙදර දැම්ම. හැබැයි එදා රෑ මම වයිෆ් ට කිවුව අද මම තනියම ඉන්නම් ඔයා අම්මලාගෙ ගෙදර ඉන්න කියල. මොකද නොදන්න තැනක් නිසා දරුවො එක්කන් එන්න කලින් මට දැනගන්න ඕන උනා මේ ගෙදර මොකුත් ප්‍රශ්න තියනවද කියල. හැබැයි එදා කිසි ප්‍රශ්නයක් උනේ නෑ මම බඩු අස්කරල තිබුනෙ නැති නිසා සාලෙ මැද මෙට්ටයක් දාගෙන නිදාගත්තා. හැබැයි මට අද හිතෙනව මට හොදට නින්ද ගියේ එදා හොද සිහියෙන් හිටිය නැති නිසා වෙන්න ඇති කියල. බඩු පටවන්න ආව යාලුවො එක්ක ටිකක් සෙට් වෙලා තමයි මම නිදාගත්තෙ. මේ බඩු අදින්න ආපු මගේ එක යාලුවෙක් මගෙන් එදා ඇහුව උඹට වෙන තැනක් නැතුවද මෙතන හොයාගත්තෙ කියල. ඒත් මම ඌට බැන්න කොච්චර අමාරුවෙන්ද මේකත් හොයාගත්තෙ කියල. ඒත් ඌ කියනව මෙතන මට හරි අමුත්තක් දැනෙනව කියල.
ඔන්න දැන් තමයි කතාව පටන් ගන්නෙ ඊලග දවසෙ දරුවො දෙන්න එක්ක වයිෆ් එක්කන් ආව. ඇවිත් බඩු අස්කරල අපි හිටිය කිසි ප්‍රශ්නයක් නෑ. ඒත් එදා හවස වයිෆ් මට කියනව. මාර වැඩක් උනානේ හවස 6.30 විතර කාමරේ බබාට කිරි දිදී ඉන්දෙද්දි ඇදේ කොනේ ගෑනු කෙනෙක් වාඩි වෙලා ඉන්නව දැක්ක, එක පාර නැති උනා, ඒත් බයක් හිතුනෙ නෑ කියල. ඒවෙලාවෙ මට යාලුව කියපු දේත් මතක් උනා ඒත් වයිෆ් බයවෙයි කියල මම කිවුව ඕක ඔයාගෙ හිතේ තිබුනු දෙයක් වෙන්න ඇති මටත් ඉස්සර ඔහොම වෙලා තියනව ඕව ගනන් ගන්න එපා කියල.
ඒත් මට අමුත්තක් තේරුන පුතා ගියපු දවසෙ ඉදන් කාමරේ නිදි කරාම අපි කවුරු හරි කාමරේ ඉන්නව නම් හොදට නිදියනව. අපි කාමරෙන් එලියට ආව ගමන් කෑගහගෙන් නැගෙටිනව. ඉතින් අපි පොඩි අය අඩන්කොට පිරිත් දාන නිසා පෝන් එකෙන් පිරිත් දාන්න ගත්ත පිරිත් දැම්මම දරුව හොදට නිදා ගන්නව. ඒත් හැමදාම රෑ 2.00 ට විතර නැගිටල කෑ ගගහ අඩනව ඇදේ නැගිටල බිත්තියෙ එකම තැනක් පෙන්න පෙන්න කෑගහනව. මේක දිගටම උනා.
ඒ වගේම හැමදාම උඩ තට්ටුවෙන් එක එක සද්ද ඇහෙනව, හරියට අර ස්ලැබ් එකක් උඩ බරට අඩිය තියල කවුරු හරි ඇවිදිනව වගේ. මම රෑ 12 ටත් ටෝච් එකත් අරන් උඩට ගිහින් බලනව කිසිම දෙයක් නෑ. උඩ තට්ටුවේ ලයිට් මොකුත් තිබුනෙ නෑ. ඔහොම දවසක් මම ගිහින් බලල අර මම මුලින් කියපු දොරත් වහගෙන පහලට ආව. අපි හිතුවෙ සතෙක් වෙන්න ඇති කියල. ඒත් පහුවදා බලද්දී අර දොර ඇරල දාල ඒක හුලගට ඇරෙන දොරකුත් නෙවෙයි. මට හොදට මතකයි මම ඒක වහල අගුල දැම්ම කියල. ඒත් මම වයිෆ්ට ඒගැන කිඋවෙ නෑ බය වෙයි කියල.
මේ දේවල් ඇරෙන්න අපිට මේ වෙනකන් කිසි කරදරයක් වෙලා නෑ හැබැයි සල්ලි වලින් නම් කිසිම ඉතිරියක් කරන්න බෑ කීයක් තිබුනත් වියදම් වෙනව. ඔහොම ඉන්නකොට මට ටිකක් සැකයක් ඇතිවෙලා තිබුනෙ. දවසක් මම හවස 7.00ට විතර කඩේට යන්න ඕන උනා. දුව සාලෙ ඉදන් TV බල බල හිටියෙ වයිෆ් කාමරේ පුතා නිදිකරනව. මම දුවට කිවුව පුතේ මම කඩේට යනව දොර ඇතුලෙන් ලොක් එක දාන්න තාත්ත ආවම කතාකරන්නම් එතකන් දොර අරින්න එපා. අම්මට මල්ලි නිදිකරවන ගමන් සමහරවිට නින්ද යයි කියල. දොර ඇතුලෙන් ලොක් කරනකන් ඉදල මම ගියා.
මම එන්න පැයක් විතර පරක්කු උනා. මම ඇවිත් කතාකරාම වයිෆ් ඇවිත් දොර ඇරියා. ඒත් කට්ටියම බය වෙලා වගේ, මම ඇහුව ඇයි කියල, වයිෆ් මට පැත්තකට කතාකරල කියනව දුව කාමරේට ඇවිත් කිවුව කියල "අම්මේ කවුද ආන්ටි කෙනෙක් ඇවිත් සාලෙ ඉන්නව, දැන් බලද්දී එයානෑ ගිහිල්ල කියල" ඒක කිව්වම වයිෆ්ට මීට ඉස්සෙල්ලා එයා දැකපු කෙනා මතක් වෙලා. අනික දොර ලොක් කරල තියෙද්දි කොහොමද කවුරුත් ගෙට එන්නෙ.
ඒත් මම දුවගෙන් ඇහුව පුතේ මොන වගේ ආන්ටි කෙනෙක්ද ආවෙ කියල. දරුව කියනව තාත්තෙ කොන්ඩෙ කර්ලි ආන්ටි කෙනෙක් කොන්ඩෙ දෙපැත්තට කඩාදාගෙන හිටියෙ මාත් එක්ක හිනහත් උනා කියල.
දරුව හොල්මන් කියල දෙයක් දන්නෙනෑ. එයා අඩුම තරමෙ හොල්මන් චිත්‍රපටයක් වත් බලලනෑ.
මම දුවට කිවුව ආ පුතේ ඒ අර ඉස්සරහ ගෙදර ආන්ටි දවලුත් ඇවිත් ගියා අපි කවුරුත් නැති නිසා යන්න ඇති කියල. ඒත් දරුවට ගානක් නෑ දොර වහල තියෙද්දි කාටවත් එන්න බෑ කියල.
හරි මම කතාවට එන්නම්, දුව එදා දැකපු දේ නිසා අපේ හිතෙත් දැන් සැකය වැඩි උනා. ඒත් මට නම් කිසිම භයක් තිබුනෙ නෑ.
මම අර කියපු දේ නිසා මගේ දුව හිතන් හිටියෙ එදා ආවෙ ඉස්සරහ ගෙදර ආන්ටි කියල. මොකද අපි අලුත නිසා අහල පහල කවුරුවත් ආශ්‍රය කරල තිබුනෙත් නෑ
ඒත් දුව කියපු හැඩ රුවයි වයිෆ් දැකපු කෙනාගෙ හැඩ රුවයි එක වගේ කියල වයිෆ් කියපු නිසා අපේ හිතේ සැකය තවත් වැඩි උනා.
තව දෙයක් කියන්න බැරි උනා මේ වෙද්දී කොරෝනා කේස් එකත් ඇවිත් අපි lockdown වෙලා ගෙදරට කොටු වෙන්න උනා.
ඒවගේම නිතරම media වල කිවුවනේ රතන සූත්‍රය ගෙවල් වල දාන්න කියල ඉතින් අපිත් හැමදාම දැම්ම. මේ දවස්වල කිසි ප්‍රශ්නයක් උනේ නෑ.
ඔහොම ටික දවසක් ගියා කොරෝන දවස්වල මම හැමදාම නිදියනකොට රෑ 1 , 2 පහු වෙනව. මම tv එකේ යන ඔක්කොම වැඩසටහන් බලනව. කරන්න දේකුත් නැති නිසා, වයිෆ් පොඩි දෙන්න එක්ක නිදියන්න යනව. මම සාලෙට වෙලා tv බල බල ඉන්නව. දවසක් රෑ 12.30ට විතර ඇති මම tv දාගෙන සෝෆා එකේ හාන්සි වෙලා හිටියෙ මට ටිකකින් ඇස් පියවුනා. සාලෙ ලයිට් එකත් දාල තිබුනෙ. මට අමුත්තක් දැනිල මම ඇස් ඇරල බලුව, මම හාන්සි විලා ඉන්න විදියටම මගේ කකුල් දෙක අතරින් මට පේනව සෝෆා එක ලග බිම කොන්ඩයක් වගේ. මම එකපාර ටිකක් ඔලුව උස්සල බැලුව. මම දැකපුදේ මතක් වෙනකොට තාමත් ඇගේ මයිල් කෙලින් වෙනව.
ගෑනු කෙනෙක් මට පිටුපාල මගේ කකුල් දෙකපැත්තෙන් සෝෆා එක ලග බිම ගෑනු කෙනෙක් වාඩි වෙලා ඉන්නව වැලමිටි දෙක දනහිස් දෙක උඩින් තියාගෙන බෙල්ල ඉස්සරහට නවාගෙන වගේ. මම හොද වචන දෙකකුත් කියාගෙන පුටුවෙන් පැන්න බිමට පැනල බලද්දී කවුරුත් නෑ. ඒත් මම මූණ දැක්කෙනෑ. ඒත් කොන්ඩෙ එහෙම අර දරුව කියපු කෙනාගෙ වගෙයි. වයසක කෙනෙක් නෙවෙයි කලු කොන්ඩයක් තමයි තිබුනෙ. ඒක තමයි දුව ආන්ටි කියන්න ඇත්තෙ.
ඉතින් ඒ වෙලාවෙ ටිකක් බය හිතුනත් ඒක එහෙමම නැති උනා. මම ටිකක් එහෙමම ඉදක කාමරේට ගිහින් නිදා ගත්ත.
ඒත් මම වයිෆ්ට කිවුවෙ නෑ කිසි දෙයක් මොකද මම කිවුවනම් එයාල දැක්ක දේවලුත් ඇත්ත වෙලා බය වෙන නිසා.
ඔහිම ටික දවසක් ගියා සද්ද වලින් අඩුවක් තිබුනෙත්නෑ.
දැන් මම දන්නව මේ ගෙදර අමනුෂ්‍යයෙක් ඉන්නව කියල. මට දැන් එකපාරම අයින් වෙන්න විදියක් නෑ.
මේ ගේ හොයා ගත්තෙත් අමාරුවෙන්. අනික හිතට සෙට් වෙන තැනක් වෙන්නත් ඕනනේ. මට කියන්න බැරි උනානේ මේ ගේ අලුත් උනාට පිටිපස්සෙන් බිත්ති වල වේයො නගිනව. කුස්සියෙ වහලෙත් වේයො ගහල තිබුන. මම ගෙවල් අයිති ගෑනු කෙනාට කිවුව බෙහෙත් ගහල දෙන්න කියල. ඒපාර බෙහෙත් ගහන්න කෙනෙක් එවල තිබුන ඒ මනුස්සය බලල කිවුව ලිද ගෙට ලග වැඩි නිසා බෙහෙත් ගැහුවොත් මාස ගානක් ලිද වහන්න වෙනව කියල. ගෙවල් අයිති කෙනා කියනව අපිට පිටින් වතුර බවුසර් ගෙනත් ගහගන්න කියල. මම කිවුව ඒක කරන්න බෑ කියල.
මම ආපහු ගෙයක් හොයන්න පටන් ගත්ත. සතියක් වගේ යනකොට මට හොද ගෙයක් හම්බඋනා. මම ලිදේ පිටින් දාල ගෙදරින් යනව කියල අයිති කෙනාට කිවුව. එයත් කැමති උනා.
මම අර කිසිම දෙයක් එයාට කිවුවෙ නෑ. මම හිතුව මේ දේවල් එයා දැනගෙන අපිට බොරු කියල ගේ දුන්න කියල.
හොදම හරිය තමයි මම වයිෆ්ට මම දැකපු දේවල් කියල තිබුනෙ නැති නිසා වයිෆ් කියනව රෙන්ට් එකට ගියාට කමක් නෑ සතියකින් හොද නැකතක් තියනව එදාට යමු කියල.
මම ඒපාර තමයි කිවුවෙ සතියක් ඉන්න බෑ අර ගෑනි මේක ඇතුලෙ ඉන්නව මමත් දැක්ක කියල. ඒපාර වයිෆ් බය උනා. එදාම අපි බඩු අස්කරා යන්න.
බඩු අස්කරන්න උදවවට වයිෆ් ගෙ මල්ලී ඇවිත් තිබුන අපි බඩු අස්කරන ගමන් සාලෙ වාඩිවෙලා දවල්ට කෑම කකා හිටිය. මම මල්ලිට මේ විස්තර කියල තිබුනෙ එකපාරම අපි දෙන්නගෙ ඉස්සරහ තිබුන දුවගෙ ලී අශ්වය දෙපැත්තට පැද්දුන. ගෙට හුලන් පාරක් වත් ආවෙනෑ. මල්ලිට මම කියපුව එතකොට තමයි විශ්වාස උනේ. එදාම අපි අනිත් ගෙදරට ආව.
ඇවිත් ගෙදර යතුර දෙන්න යන දවසෙ වයිෆ් කිවුව ගෙදර අයිති ගෑනු කෙනාගෙන් මේ විස්තරේ අහන්න කියල. මම අහන්නෙ නැතුව ඉන්න හදල ආයෙම ඇහුව. අපි එන්න කලින් මේ ගෙදර හිටපු අය ගියාම මේ ගේ කොච්චර කල් වහල තිබුනද කියල. එයා කිවුව මාස තුනක් විතර කියල. මම ඇහුව එයාල මොකුත් ප්‍රශ්නයක් වෙලාද මෙහෙන් ගියේ කියල. ඒපාර මෙයා මට කියනව. නෑ හැබැයි මේ ලගදි එයාල හම්බ උනාම කිවුව "අපි ඒගෙදරින් ගියේ නැත්තටම නැති වෙලා කියල." මම ඒපාර වෙච්ච හැම දෙයක්ම කිවුව එයාට.
මේ මනුස්සය අඩන්න ගත්ත අඩ අඩ මට කියනව මම මේ ගෙදරට මිලියන 10ක් විතර වියදම් කරල තියනව. ඒත් මට මේක complete කරගන්න තාම බැරි උනා කියල. මෙයා මට තව කතාවක් කිවුව මේ ඉඩම වෙන්දේසි කරපු ඉඩමක් මේක කට්ටි කරල විකුනපු දවසෙම විකුනපු කෙනා paralyzed උනා කියල.
ඔක තමයි මගේ කතාව.
අපිත් බේරුනේ නූලෙන් මෙච්චරයි කියන්න තියෙන්නේ කිසිම දෙයක් ගනන්ගන්නෙ නැතුව එකපාර අතාරින්න එපා.....
https://www.facebook.com/groups/holmankatha/