ඔබටත් ඇත්තේ බුදුරජාණන්වහන්සේ අනුමත කල වාහනයක් ද?
අපි හැමෝම ආශයි වාහනයක් අයිති කරගන්න. නොයෙක් හේතු තියෙනවා ඒකට. වාහනයක් ඕනා වුනා කියලා අපි එක සැරේටම ගිහිල්ලා ගන්නෙ නෑ. ඒ ගැන හොයලා බලලා තමයි ගන්නෙ. අපිට වඩා දන්න කෙනෙක්ගෙන් නැත්නම් බාස් කෙනෙක්ගෙන් අහලා කරලා බලනවා ගන්න කලින්. දැනට අවුරුදු දහස් ගාණකට කලින් අපේ බුදුරජාණන්වහන්සේත් එක්තරා වාහනයක් අනුමත කරලා තියෙනවා අපිට හොඳයි කියලා. ඒ මොකක් ද?
ඉස්සර බුදුරජාණන්වහන්සේගේ කාලයේ හිටියා ජානුසෝනි කියලා බ්‍රාහ්මණයෙක්. මෙයාට තිබුනෙ සුදු අශ්වයො ඇදගෙන යන හරි ලස්සන අශ්ව කරත්තයක්. දවසක් ආනන්ද හාමුදුරුවෝ මේ අශ්ව කරත්තය දකිනවා. මේ කරත්තය දකින මිනිස්සු ඒක වර්ණනා කරනවා ආනන්ද හාමුදුරුවන්ටත් ඇහෙනවා. (අද කියලත් මේවයෙ වෙනසක් නෑ. ඔය සමහර හාමුදුරුවරුම FB දාන්නෙ එයාලගෙ වාහන ගැන).
ජේතවනාරාමයට වඩින ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන්වහන්සේ හමුවෙලා මේ විස්තර කියලා අහනවා ධර්ම විනයටත් මේ වගේ වාහනයක් පනවන්න බැරිද කියලා. බුදුරජාණන්වහන්සේ උත්තර දෙන්නෙ පුළුවන් කියලා. ඒ අනුව බුදුරජාණන්වහන්සේ ධර්ම විනයට අදාළව වාහනය නම් කරනවා. ඒ ආර්යෂ්ටාංගික මාර්ගය කියන වාහනය. විශේෂ නම් තුනක් එතැනදි බුදුරජාණන්වහන්සේ භාවිතා කරනවා. ඒ උතුම්, ධර්මයානය සහ නිරුත්තර සංග්රාම විජය කියන නම් තුන.
මේ වාහනය ගැන වැඩිදුරටත් විස්තර කරන බුදුරජාණන්වහන්සේ ආනන්ද හාමුදුරුවන් මෙහෙම දේශනා කරනවා.
හොඳට පුහුණු කරලා භාවිතා කරන සම්‍යක් දෘෂ්ටියෙ ඉඳලා සම්‍යක් සමාධිය දක්වා අංග රාගය, ද්වේශය හා මෝහය දුරු කරන්න උපකාරී වෙනවා.
එදා තිබුනෙ කරත්තනෙ. ඉතින් කරත්තයට අදාළව වාහනයේ විවිධ අංග ගැන බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නෙ මෙහෙම.
"යම් ආර්යමාර්ග සංඛ්‍යාත යානහුගේ ශ්රද්ධාවද ප්‍රඥාවද යන ධර්ම දෙක වියගසෙහි යොදනලද ගවයන් දෙදෙනා වෙති. හිරි ඔතප් දෙක රථ හිස වෙයි. විදර්ශනා සිත රැහැණය. සිහිය , රථය රක්නා සහ පදවන රියදුරු වෙයි.
රථය ශීල නමැති අලංකාරයෙන් යුක්තය. ධ්‍යාන නමැති කඩඇණයෙන් යුක්තය. කායිකවීර්ය, චෛතසික වීර්ය යන රෝද දෙකින් යුක්තය. තත්‍රමජ්ඣත්තතා උපෙක්ෂාව වියදණ්ඩෙහි සම බව වෙයි. ඇතිරිල්ලය ආලොකය. මෛත්‍රී කරුණාව ත්‍රිවිධ විවේකය යන ධර්ම පස රථයෙහි සිටින කුලපුත්‍රයාගේ ආයුධ පස වෙති. ඉවසීම යුද්ධ ඇඳුම් වෙයි. මේ යානය නිවනට අභිමුඛව ගමන් කරයි. තමන් තුළ පහළවූ මේ යානය අනුත්තර වෙයි. ශ්‍රෙෂ්ඨ යානයක් වෙයි. (යමෙකුන්ට මේ යානය ඇත්තේද) ඒ පණ්ඩිතයෝ ඒකාන්තයෙන් කෙලෙසුන් ජය ගනිමින් ලොකයෙන් නික්ම යන්නාහ"
අද අශ්වයො, හරක් ඇදගෙන යන කරත්ත ප්‍රවාහනයෙදි අවම විදියට භාවිතා කලත් තවමත් මේවා දකින්න පුළුවන්. අපි අද පාවිච්චි කරන BMW, BENZ වගේ නොයෙක් මාදිලියේ වාහන වල මුල් ආරම්භය තමයි කරත්ත. ඉතින් අද අපි මහපාරේ දකින වාහනයක වුනත් ඔය අංග එදාට වඩා වෙනස් විදියට දකින්න පුළුවන්.
ඉතින් බුදුරජාණන්වහන්සේ මේ විදියට වාහනයක් යෝජනා කරන්නෙ සංයුක්ත නිකායෙ ජානුස්සෝණීය සූත්රයෙදි.
අපි සැප පහසුව බලාපොරොත්තුවෙන් නොයෙක් විදියෙ වාහන ගන්න මහන්සිවෙනවානෙ. එන්ජින් කැපෑසිටි එක, පාවිච්චි කරන තෙල්, ඉන්ටර්රියර්, එක්ස්ටරියර් කොයිතරම් නම් හොයා බලනවද. ලස්සනත් බලනවා. ඒවා සේරම බලලා බලලා ගන්නවා හොඳ වාහනයක්. හැබැයි මේ බුදුරජාණන්වහන්සේ කිව්ව වාහනය ගැන කිසි අවධානයක් අපි යොදන්නෙ නෑ නේද. ටිකක් හිතලා බලන්න. ඔය අනිත් වාහනත් අරගන්න ගමන්, අයිති කරගන්න ගමන් බුදුරජාණන්වහන්සේ අනුමත කරපු ධර්මයානයත් තමුන්ගෙ කරගන්නත් පුංචි උත්සාහයක් දරලා බලන්න.

