ඔබ සෝවාන් ද? අනේ එහෙනම අපිටත් කියන්න.
බොහෝ අවස්ථාවලදී සෝවාන් සකෘදාගාමී ආදී මග ඵල ලැබූවන් ඒ බව ප්‍රකට නොකරන්නේ යැයි කථාවක් බෞද්ධයන් අතර තිබේ. මහණුන් ද එසේ දේශනා කරයි. නමුත් සූත්‍ර පිටකයට අනුව මෙය සත්‍ය තත්ත්වය පෙන්නුම් කරන ඉගැන්වීමක් නොවේ. ඊට හොඳම නිදසුන වන්නේ අංගුත්තර නිකායේ පඤ්ඤක නිපාතයේ ඇති ගිහි සූත්‍රය යි.
මේ සූත්‍රය බුදුරජාණන්වහන්සේ සැරියුත් මහරහතන්වහන්සේට දේශනා කරන්නේ අනාථපිණ්ඩික සිටුතුමාට ඇසෙන පරිදි ය. අපි හොඳින් දන්නා පරිදි සිටුතුමා බුදුරජාණන්වහන්සේ වෙහෙසට පත්වේ යැයි කියා ප්‍රශ්න නොවිමසූ අයෙකි. මෙනිසා ඔහුගේ හිතසුව පිණිස බුදුරජාණන්වහන්සේ විසින් ම ධර්ම දේශනා සිදු කර ඇත. මෙය ද එවැන්නකි.
මෙහිදී බුදුරජාණන්වහන්සේ සැරියුත් මහරහතන්වහන්සේට දේශනා කරන්නේ ගිහි උපාසකයකුට තමන් සෝවාන් යැයි ප්‍රකට කළ හැකි අවස්ථා ඇති බවයි. ඒ අවස්ථා මොනවාද යන්න සූත්‍රයේදී විස්තර කර ඇත.
ඒ සඳහා මූලික අවශ්‍යතා කීපයකි. එකක් වන්නේ පංචශීලයෙහි ස්ථිරවීමයි. අනෙකක් වන්නේ බුද්ධරත්නය ගැන අචල වූ ශ්‍රද්ධාව ඇති කර ගැනීමයි. ධර්ම රත්නයෙහි අචල ශ්‍රද්ධාව ඇති කර ගැනීම තවත් අවශ්‍යතාවකි. එසේම සංඝ රත්නය ගැනද අචල ශ්‍රද්ධාව ඇති කර ගත යුතු වේ. එසේම ආර්යකාන්ත වූ ශීලයෙන් යුක්ත විය යුතු වේ. මේ අංග වලින් යුක්ත වූවෙකුට මෙසේ ප්‍රකට කළ හැකි බව බුදුරජාණන්වහන්සේ දේශනා කරයි. කෙසේද යත්,
ශාරීපුත්‍රයෙනි, මේ පඤ්චශික්ෂාපදයෙහි සංවෘතකර්මාන්ත ඇති, මෙ ආභිචෛතසික දෘෂ්ටධර්මසුඛවිහාරයන් සතර කැමති සෙයින් ලබන නිදුකින් ලබන විපුල කොට ලබන හෙළපිලී හදනා යම් මැ ගිහියකු දනිවූ ද? හේ කැමැති වන්නේ නම්, ක්ෂීණනිරය ඇතියෙම් වෙමි, ක්ෂිණ තිරශ්චීනයොනි ඇතියෙම් වෙමි, ක්ෂීණ ප්‍රෙතවිෂය ඇතියෙම් වෙමි, ක්ෂීණාපායදුර්ගතිවිනිපාත ඇතියෙම් වෙමි, සොවන් වෙමි, විනිපාත ධර්ම නැතියෙම් නියතයෙම් සම්බොධිපරායන වෙමි” යි තෙමේ ම තමා පාළ කරන්නේ යි.
ලෙසිනි.
අද යම් යම් අයවලුන් සෝවාන් පමණක් නොව අර්හත්භාවය ද පුදුම වෙහෙසක් දරා ප්‍රකට කිරීමට උත්සාහ දරයි. ඔවුන් ඔවුන්ට මේ ගුණ ඇත්තේද යන්න තමුන්ගෙන්ම විමසිය යුතු ය. කවරෙකුගෙන් ලබා ගත් සෝවාන් සහතිකයක් හෝ වේවා ඊට ප්‍රමාණවත් නොවේ. එසේ නම් ඒ බව බුදුරජාණන්වහන්සේ දේශනා කරනු ඇත. ගිහි සූත්‍රය සැලකිල්ලට ගත් විට නිරන්තර භාවනාව සෝවාන් ඵලය සඳහා අත්‍යවශ්‍ය බවක් නොපෙනේ. සෝවාන් ඵලයට පත් වූ බවට ධර්මයේ සඳහන් බොහෝ පිරිසක් ඒ සඳහා නිරන්තරයෙන් භාවනා කර ඇති බවක් පෙනී යන්නේ ද නැත. එසේම ඒ සඳහා දින ගණනක හෝ පැය ගණනක වැඩ මුළුවලට සහභාගීවීමක් ද අවශ්‍ය නැත.
නමුත් සිහි තබා ගන්න. ඔබ මේ සඳහන් ගුණ නොමැතිව ‘මම සෝවාන් යැයි‘ කියා අප රවටා වාසි ගැනීමට තැත් කරන්නේ නම් අනේ අපිට වඩා පව් සිදුවන්නේ ඔබට ය. අප රවටා වැඳුම් ගත්තත් ඔබ ඉපැදෙන්නේ නරකයේ ය. ඒ බව ද සටහන් කළ යුතු ය.
ඔබ සෝවාන් නම් එය ප්‍රකට කිරීමේ වරදක් ද නැත. මන්දයත්, ඔබ නිසා බොහෝ පෘථග්ජනයන් පිරිසක් අපාගාමී විය හැකි නිසාවෙනි. ඒ ඔබට අපහාස කිරීම නිසාවෙන් ය. එසේම ඔබ නිසා බොහෝ පින් කර ගැනීමට ද අපට හැකියාව ලැබේ. සාමාන්‍ය ගිහියකුට දෙන දානයට වඩා සෝවාන් පුද්ගලයකුට දෙන දානයේ ප්‍රතිඵල වැඩි බව ධර්මයේ සඳහන් වේ.
ඉතින් දැනුත් ඔබට ඔබ සෝවාන් කියා හිතෙනවා නම් අනේ අපිට කියන්න. එයින් ප්‍රයෝජනයක් වෙන්නේ අපට ය.