මේක ටිකක් පරණ ගීතයක්. ඒත් එදා වගේම අදටත් අපි ඒකට ආදරය කරන්නේ, මේ ගීතයේ තියෙන සංවේදී පද මාලාව නිසාමයි.
ප්‍රසිද්ධ නිවේදිකා කුසුම් පීරිස් මහත්මිය ගුවන් විදුලියේ වැඩ කරන කාලයේ දී ඉතාම ළගම ඇසුරක් තිබුණු කෙල්ලෙක් සහ කොල්ලෙක් ඉඳලා තියනවා. ඔවුන් දකින බොහොමයක් අය හිතුවේ මේ දෙන්නා පෙම්වතුන් කියලයි. ඒත් යාළුකමකට එහා දෙයක් ඒ දෙන්නා අතරේ තිබිලා නැහැ.
කාලය ගත වුණා. මංගල යෝජනාවකින් මේ තරුණිය විවාහ වුණේ රැකියාවටත් සමුදෙන ගමන්මයි. ඔවුන් දෙන්නගේ මිත්‍රකම ගැන දැනගෙන ඉඳපු කුසුම් පීරිස් මහත්මියට මේක තරමක පුදුමයක් වුණා. ඒ ගැන මේ තරුණියගෙන් අහන්න ඇය තීරණය කළේ එකයි.
ඇත්තටම ඇය ඔහුට ආදරය කරලා. ඒත් තමන් ගැහැණු ළමයෙක් නිසා ඒ ගැන කියන්න ඇය මැලි වෙලා. ඔහුත් තමන් ගැන ඒ වගේ උනන්දුවක් නොපෙන්වපු නිසයි ඇය ගෙදරින් ගෙනාව යෝජනාවට කැමතිවෙලා තියෙන්නේ. කුසුම් මහත්මියට මේ තරුණිය ගැන ඇතිවුණේ හරිම දුකක්. රැකියාවෙන් ඇය අයින් වෙන දවසේ මේ තරුණයාව හොයාගත්ත කුසුම් මහත්මිය ඔහුටත් ඒ ගැන පැවසුවේ චෝදනාවක් එල්ල කරන විදියට. ඔහුගෙන් දැනගන්න ලැබුණු දෙයින් එතුමියගේ හිත තවත් කම්පා වුණා.
ඒ තරුණයා, තමන්ගේ මිතුරියට ආදරය කරලා තියෙන්නේ දැන අඳුනගත්ත දවස්වල ඉඳලා. ඒත් ඇගේ කැමැත්ත අහලා නැත්තේ, ඇය අකමැති වුණොත් මේ මිත්‍රත්වයත් ඉවරවෙන බව නිච්චියටම දැනගෙන ඉඳපු නිසයි. ඇය විවාහ වෙන බව ආරංචි වුණාම, ඔහු තරම් දුක්වුණු තවත් කෙනෙක් නැති තරම්. ඒත් දැන් මොනවා කරන්නද? ඒ දෙන්නම ප්‍රමාද වැඩියිනේ.
මාස කිහිපයකට පස්සේ, කුසුම් මහත්මියට මේ තරුණියව අහම්බෙන් මුණගැහුනා. අර තරුණයා තමන්ට කියපු දේ ගැන ඇයගේ මුවින් පිටවුණේ ඉබේටමයි. ඒක අහපු ඒ තරුණියට ඇති වුණේ හරිම දුකක්. ඇය කිව්වලු, “අනේ අක්කේ, ලෝකය නතර වෙලා ආයෙ අපි අතීතයට ගියොත් මම එයාට ආදරේ කරනව කියලා එයාට කියන්න” කියලා. මේ වචන පෙළින් තමයි කුසුම් මහත්මිය “ඇසුරු සැණින් ගීතය" ලියන්න මුළ පිරුවේ. යමුනා විනෝදිනීයන්ගේ හඬින් ඒ ගීතය තවත් හැඩ වුණා.