පළමු දේශනාවේදීම බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නට යෙදුනා ආර්ය සත්‍යය හතරක් ගැන. දුක, දුකට හේතුව, දුක නැති කිරීම සහ දුක නැතිකිරීමේ මාර්ගය. ඒ දේශනාව අහලා ඉවරවෙද්දි කොණ්ඩඤ්ඤ භික්ෂුවට බුදුරජාණන්වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ වුනා. එදා ඉඳලා මේ වෙනකන් කෝටි ගණනක් මිනිස්සු බුද්ධ ධර්මයේ ප්‍රතිඵල විඳිනවා. සතුට කරාම මෙහෙයවුන දහමක් තමයි බුද්ධ ධර්මය කියන්නේ. පළමු ධර්ම දේශනයේ දී ම බුදුරජාණන්වහන්සේ දේශනා කලා දුකට හේතුව ‘තණ්හාව‘ යැයි කියලා. මේ තණ්හාව අපි ඇතුලෙ ක්‍රියාත්මක වෙන්නේ හරි අපූරු විදියට. අපිට ඒක තේරුම් ගන්න පුළුවන් නම් අපි සතුටින්. නැත්නම් දුකෙන්.
නිකමට හිතන්නකො මෙහෙම. ඔයා ආශ කරන කෝප්පයක් තියෙනවා කියලා හිතන්න. මේ කෝප්පෙ තමයි ඔයා තේ බොන්නෙ. ගෙදර අයත් දන්නවා මේක ඔයාගේ කෝප්පය කියලා. මේක ඔයාගේ කෝප්පෙ. දවසක් ඔයා කොහෙ හරි ගිහිල්ල ගෙදර එද්දි දකිනවා මේ කෝප්පෙ කව්රු හරි තේ බීලා හෝදලා නැහැ කියලා. මේක දැක්ක ගමන් මොකක් ද වෙන්නේ? සමහරුන්ට කේන්ති යනවා. වැඩි හරියකට වෙන්නෙ ඒක තමයි. කව්ද මගේ කෝප්පේ තේ බීලා හෝදන්නෙ නැතුව තිබ්බෙ. එක යුද්ධයයි. මෙහෙම කේන්ති යන්නෙ කෝප්පෙ දැක්කට පස්සෙ. ඒකත් නිකන්ම දැක්කට පස්සෙ නෙමෙයි. තේ ඉතිරි කරලා තියෙනවා දැක්කට පස්සෙ. තේ බීපු කෙනා ඒක හෝදලා තියෙන තැනින් තිබ්බනම් මේක වෙන්නෙ නැහැ. කෝප්පෙ හඳුනගන්නවා. තේ ටික දකිනවා. එතකොට ඒ ඉතිරි තේ ටිකත් එක්ක ඇති වෙනවා තරහ. ඒ තරහ ඇති වුනාට පස්සෙ එක්කො කයින්, එක්කො වචනයෙන්, එක්කො හිතෙන් ප්‍රතිචාර දක්වනවා. සමහරු මේ තරහ පිට කරන්නේ තමුන්ට ම වෙන් වුන කෝප්පෙ පොළොවෙ ගහල කුඩු කරලා.
තවත් කෙනෙක් ඉන්නවා. එයාටත් කෝප්පයක් තියෙනවා. එයාටත් මේ වගේම සිද්ධියක් වෙනවා. හැබැයි එයාට මේ කෝප්පෙ දැක්කම කිසිම විශේෂ හැඟීමක් ඇති වෙන්නෙ නැහැ. මිනිහා මොකද කරන්නෙ ආ කව්රු හරි මේකෙ තේ බීලා හෝදලා නැහැනෙ, මේක හෝදලා තියන්න ඕනා කියලා හෝදලා තියන්න ඕන තැනින් තියලා යනවා. එච්චරයි.
තවත් කෙනෙක් මේකම දකිනවා තවත් විදියකට. කොහොමද? එයා හිතනවා කව්රු හරි මගේ කෝප්පෙන් තේ බීලා. ඒ කෙනා නොහෝදපු එක මන් හෝදලා තියන්න ඕනා. නැත්නම් ඊළඟට තේ බොන කෙනාට අප්පිරිය හිතෙයි කියලා. මේ විදියට ම නෙමෙයි, මේ වගේ ස්වභාවයට හිතලා ප්‍රතිචාර දක්වනවා.
දැන් මේ දෙවැනි ආකාර දෙකට දකින දෙන්නත් මුල් ආකාරයට දකින කෙනාත් දකින විදිය එකිනෙකට වෙනස්. පළමුවැනියා තේ කෝප්පෙ තියෙන ඉතිරි තේ ටික නිසා ඇති කරගන්නෙ තරහ සිතුවිල්ලක්. දෙවැනියා ඇති කරගන්නෙ මධ්‍යස්ථ සිතුවිල්ලක්. තුන්වැනියා ඇති කරගන්නෙ තරහක් නැති මිත්‍රශීලී සිතුවිල්ලක්. මේ සිතුවිලි වලින් පළමු සිතුවිල්ලට සෘජුවම බලපාන්නෙ තණ්හාව. මොකද තණ්හාව නොවෙන්න එයා ඒ කෝප්පෙ මගේ කියලා අරන් ඒ දක්වන ප්‍රතිචාරය දක්වන්නේ නැහැ. ඒ හේතුව නිසාම ඒ තැනැත්තාට ඇති වෙනවා දුකක්. හැබැයි තරහව කියන්නෙත් දුකේම ස්වභාවයක් කියලා මේ උන්දැට තේරෙන්නෙ නැහැ. අනිත් දෙන්නට තමුන්ගේ කෝප්පෙ තව කෙනෙක් තේ බිව්වය කියලා දුකක් හට ගන්නෙ නැහැ.
තේ කෝප්පයක් අරන් මන් මේ පෙන්නුවේ උදාහරණයක් විතරයි. මේ වගේ අවස්ථා අපේ එදිනෙදා ජීවිතය පුරාවටම තියෙනවා. උදේ නැගිට්ට වෙලාවෙ ඉඳන් රෑට නින්දට යනකම් ම තියෙන්නෙ මේවා තමයි. තණ්හාව අපි දන්නෙත් නැතුව අපිටත් හොරෙන් අපි ලව්වා එකිනෙක දේවල් කරවනවා. අපිත් ඒ දේවල් කරනවා. ඒකයි මන් කිව්වෙ තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ අපූරු විදියට කියලා. මේක අපි දන්නවා. නොදන්න දෙයක් නෙමෙයි. නමුත් අවබෝධ වෙන්නෙ නැහැ. ඒකට සමහරු කියන්නේ ‘අපේ හැටි‘ කියලා. මේ හැටිය නිසාම ඉතින් දුක් විඳිනවා.