තවමත් අප්‍රකට ලංකාවේ උසින් දෙවන දිය ඇල්ල

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    තවමත් අප්‍රකට ලංකාවේ උසින් දෙවන දිය ඇල්ල

    ශ්‍රී ලංකාවේ උසින් දෙවැනි තැන හිමිවන දිය ඇල්ල ජනී ජනයාගෙන් පිරී යා යුතු යැයි අපිට එක්වරම හැ‍‍ඟෙනු ඇත. එහෙත් සැබෑ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. ශ්‍රී ලංකාවේ උසින් දෙවන දිය ඇල්ල වන ‍කුරුඳුඔය ඇල්ල තවමත් ඇත්තේ බොහෝ දෙනෙකුගේ නෙතු මානයෙන් බැහැරවය. මධ්‍යම පළාතට, නුවරඑළි දිස්ත්‍රික්කයට සහ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුරුඳුඔය ඇල්ල මුහුදු මට්ටමින් මීටර් 1101 ක උසින් පිහිටා ඇති අතර දිය ඇල්ලේ උස මීටර් 206 කි.
    මෙම දිය ඇල්ල දෙස්'විදෙස් සංචාරකයන්ගෙන් මෙසේ දුරස්වීමට හේතුව ඇල්ල දක්වා වැටී ඇති මාර්ගයේ පවත්නා ගමනාගමන දුෂ්කරතාවය බවට සැක නැත.
    trip.jpg
    වලපනේ ජපන් සාම චෛත්‍ය සහිත විහාරය පිහිටියේ ප්‍රදේශයේ උස්ම භූමිභාගයක් මතය. එනිසා එම ස්ථානයට රන්දෙණිගල ජලාශය ඇතුළු වලපනෙන් පහළ ඉසව්ව හොඳින් දැක බලා ගැනීමට හැකි වනු ඇත. මෙම කුරුඳුඔය ඇල්ලට යාම සඳහා එම සාම චෛත්‍යය පසුකොට කිලෝමීටර් 05 ක් පමණ දුරක් පසුකළ යුතුය.
    වලපනේ සිට ඇල්ල දක්වා ඇති දුර කිලෝමීටර් 07 ක් පමණය. ඇල්ලේ ඉහළ කොටස පෙනෙන මානය දක්වා රථවාහන වලින් යා හැකි වුවත් ඒ සඳහා රළු ගමන් සඳහා උචිත වාහන පමණක් යොදා ගත යුතුය.
    tripj.jpg
    පිඳුරුතලාගල කඳු පන්තියේ උතුරු අර්ධයෙන් උපත ලබා උතුරු දෙසට ගලා බසින කුරුඳු ඔයට ඒ නම ලැබී ඇත්තේ ඒ දෙපස ඇති කුරුඳු වගාවන් නිසා යැයි කියනු ලැබේ.
    එම කුරුඳු ඔයට මතුරට ප්‍රදේශයේ හමුවන විශාල ගල්පර්වතයක් මතින් කොටස් දෙකකින් ඇද හැළීම මත මෙම ඇල්ල නිර්මාණය වී ඇත. අතීතයේ මෙම ඇල්ල මතුරට ඇල්ල ලෙසද හඳුන්වා ඇති බව අපට දැනගත හැකි විය. මෙම ඇල්ලෙහි විශේෂත්වය වන්නේ මෙහි සම්පූර්ණ දර්ශනය ඇල්ල සමීපයේ දී දැකගැනීමට නොහැකිවීමය.
    tripb.jpg
    දුර සිට බලන විට ඇල්ල සම්පූර්ණයෙන් දිස්වන අතර සමීපයේ දී එහි පහළ කොටස පමණක් දිස්වීම නිසා මෙහි සැබෑ උස එය සමීපයේ සිට ගණනය කළ නොහැක. කෙසේ හෝ මෙම දිය ඇල්ල නැරඹීමට යන්නේ නම් එම ගමනේ අසීරුව තරමක්දුරට හෝ අත්විඳ ගැනීමට සූදානමින් සිටිය යුතුය.
    එමෙන්ම මෙම ඇල්ල පාමුල පෞද්ගලික ජල විදුලි බලාගාරයක් තැනීම නිසා මෙහි සොබා සෞන්දර්යට සේම ඇල්ල සහ ඒ අවට ශාක සත්ව ප්‍රජවට සිදුවන අහිතකර බලපෑම අවප්‍රමාණ වී තිබේ. එමෙන්ම මෙම දිය ඇල්ල දිය නෑම සඳහා කෙසේවත් සුදුසු නොවන්නේ මෙම ප්‍රදේශය කෙතරම් වියළි සහගතව පැවතියද පිඳුරුතලාගල කඳුකරයට වැසි ඇද හැලෙන විට මෙහි ජලමට්ටම සහ ජලයේ වේගය විශාල වශයෙන් ඉහළ නැංවෙන බැවිනි.
    මේ වන විට එසේ අන්තරාකාරී ලෙස දිය නෑම නිසා ජීවිත රැසක්ම කුරුඳුඔය ඇල්ලට බිලි වී ඇති බව කණගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය.
    කෙසේ හෝ සොබාදහමේ සහ පරිසරයේ ආස්වාදය ලැබීම සඳහා තරමක දුෂ්කර අත්දැකීමක් ලැබීමට කැමති ඔබ කාටත් මෙම ගමන ඵලදායී අත්දැකීමක් වනු ඇත.
    සටහන - එස්.ටී.පී.සිල්වා

    tripc.jpg

    tripd.jpg

    tripe.jpg

    tripf.jpg

    triph.jpg

    tripi.jpg



    lakbima