ත්‍රස්‍යජනක සටනක අතීතය !--මවිල් ආරු

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ත්‍රස්‍යජනක සටනක අතීතය !--මවිල් ආරු

    --***නෙට් එකෙ මිහිරි ෆොන්සෙකා මහත්මියගෙ ලිපියකින් ගන්නා ලද්දකි****-------

    යුද්ධය බොහෝ දෑ අහිමි කළ බව ඇත්තය. එනමුත් සමහරු තමන් ජීවත්වන රටේ හතර මායිමේ තිබෙන සමහර ගම් නියම්ගම්වල නම් පවා දැන ගත්තේද යුද්ධයට පින්සිද්ධවන්නටය. තිස් වසරක් පුරා මේ බිම ‍ලේ ගංගා නිර්මාණය කළ ඊළාම් යුද්ධයේ දී එවැනි ගම්මාන රැසක් කරළියට ආවේය.
    එම ගම් අතරින් යාපනය තිරුනෙල්වේලී වූ කලී තිස් වසරක් පුරා පැවැති යුද්ධයේ තිඹිරිගෙයය. එක්දහස් නම සිය අසූතුනේදී ඇරඹි පළමු ඊළාම් යුද්ධයේ හැරවුම් ලක්ෂය ඒ බිම විය. ලුතිනන් වාස් ගුණවර්ධන ඇතුළු සෙබළුන් දහතුන් දෙනකු කොටි සංවිධානය විසින් ඝාතනය කරන ලද්දේ තිරුනෙල්වේලිහිදීය. ඉක්බිතිව අනූ එකේදී දෙවැනි ඊළාම් සටන ඇරඹුණි. ඒ කරුණා අම්මාන් අණදුන් එල්.ටී.ටී.ඊ.ය මඩකලපුවේ දී යටත් වූ ‍පොලිස් නිලධාරීන් හයසියයකට වැඩි ගණනක් ඝාතනය කරමිනි. ගරිල්ලන් තෙවැනි ඊළාම් සටන ආරම්භ කළේ අනූ හතරේදී ත්‍රිකුණාමලය වරායේ නැංගුරම්ලා තිබූ සූරයා හා රණසුරු ප්‍රහාරක නෞකා දෙක ගිල්වමිනි.
    ඊළඟට ආවේ සිව්වැනි ඊළාම් සටනය. එම සටන ඇරඹූ බිම මාවිල්ආරුවය. ඒ නම දැන් රටේ නොදන්නා කෙනෙකු නැත. එනමුත් මීට සත් වසරකට ඉහතදී මාවිල්ආරුව යනුවෙන් ලංකා සිතියමේ ගමක් තිබෙන බව බොහෝ දෙනකු දැනගෙන සිටියේ නැත.
    තිරිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්ත‍ලේ සේරුවිල පාරේ කල්ලාර් හන්දියෙන් දකුණට ගිය විට හමුවන මාවිල්ආරුව ගැන රට්ටුන් දැනගත්තේ සිව්වැනි ඊළාම් සටන නිල වශයෙන් ඇරඹීමත් සමගය. එබැවින් මාවිල්ආරු සටන හැඳින්වෙන්නේ තිස් වසක් පුරා රට භීතියෙන් මුසපත් කළ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ විනාශයේ ඇරඹුම ලෙසය. එසේ බලන විට මේ අගෝස්තුවට මාවිල්ආරු සටන ජයගෙන සත් වසක් සපිරෙන්නේය.
    යුද්ධය නිසා ප්‍රසිද්ධියට පත් වුවත් මාවිල්ආරුව වූ කලී අතීතයේ සිටම ගොවි ජනපදයකි. මහවැලි ගඟේ අතු ගංගාවක් වූ වෙරුගල් ගඟ සෝමාවතී වන මැද වූ කන්දකාඩුවලදී හරස් කර මාවිල්ආරු ව්‍යාපාරය ඉංගිරිසි ජාතිකයන් මුල්වරට ඇරඹුවේ එක්දහස් නමසිය හතේදීය. එය විවෘත කරනු ලැබුවේ Mavil-Ar2එක්දහස් නමසිය විසි පහේ දී ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් හර්බට් ස්ටැන්ඩ්ලිය. ඉක්බිතිව ඩී.ඇස්. සේනානායක මෙන්ම ඩඩ්ලි සේනානායක කෘෂිකර්ම ඇමැති පදවි දැරූ කාලයේ දී මාවිල්ආරු ගොවි ජනපද ව්‍යාපාරය දියුණු කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළහ.
    බොහෝ කාලයක් රට්ටුන්ගෙන් වසන් වී තිබූ මාවිල්ආරුව පුවත් මවන බිමක් වූයේ දෙදහස් හයේ ජූලි විසිවැනිදාය. ගරිල්ලෝ ගොවි ජනපද ව්‍යාපාරයට ජලය සපයන මාවිල්ආරුවේ ප්‍රධාන අමුණ වසා දැමුවෝය. සටන් විරාම නිරීක්ෂණ කමිටුවද මේ ප්‍රශ්නයට මැදිහත් වුවත් විසඳුමක් නොලැබුණි. මාවිල්ආරු ගොවි ජනපදයේ ජනතාවට වගා කිරීමට පමණක් නොව බිමටත් වතුර නැතිවිය. කුඹුරු අක්කර සිය දහස් ගණනක් පාළු විය.
    මාවිල්ආරු ප්‍රශ්නය උච්චස්ථානයට ගමන් කළේ සේරුවිල රාජමහා විහාරාධිපති සේරුවිල සරණකිත්ති නාහිමියන් උපවාසයක් ඇරඹීමත් සමගය. ජලය ලැබෙන තුරු නොනැගිටිමි යැයි උන්වහන්සේ කීවෝය. ජාතික හෙළ උරුමයේ භික්ෂූහු මාවිල්ආරුවට පා ගමනක්ද ලෑස්ති කළහ. මාවිල් ආරුවේ ප්‍රශ්නයේ උණුහුම කොළඹටද දැනෙන්නට පටන් ගත්තේය. එහි ප්‍රතිඵලය වූයේ ජාතික ආරක්ෂක මණ්ඩලය රැස් වී හමුදා ක්‍රියා මාර්ගයකින් මාවිල්ආරුව මුදා ගැනීමට තීරණය කිරීමය.
    අප්‍රකාශිතව ඇරඹුණු සිව්වැනි ඊළාම් යුද්ධයට නිල මුහුණුවර දුන්නේ මාවිල්ආරු මෙහෙයුමය. එකල මාවිල් ආරුව අයත්ව තිබුණේ කන්ත‍ලේ 222 බළසේනාවටය. එහි බළසේනාධිපතිවරයා වූයේ ලුතිනන් කර්නල් (දැන් බ්‍රිගේඩියර්) සරත් විජේසිංහය. යුද හමුදා මූලස්ථානයේ අණින් මෙහෙයුමට කොමාන්ඩෝ භටයන් ගෙන්වනු ලැබිය. ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා මාවිල්ආරු අහසේ දිස් වූයේ මහ සටනක් ඇරඹෙන බවට ඉඟි කරමිනි. අඳුර සමග මුසුව මාවිල්ආරු වනයේ නොපෙනී ගිය කොමාන්ඩෝ සෙබළුන් යළි පැමිණියේ ගරිල්ලන් පිළිබඳ බොහෝ තොරතුරු රැගෙනය. එල්.ටී.ටී.ඊ. ය මාවිල්ආරු අමුණ හරස් කර වසා තිබුණේ ලී කොටන් දමාය. අමුණ පුරාම මර උගුල්ය.
    කොටි මාවිල්ආරුවේ පස් බැම්මේ මීටර් පණහෙන් පණහ දුරින් බංකර් ද ඉදිකර තිබුණි. මේ බංකර් පෙළ අල්ලා ගැනීම හමුදාව මුහුණ දුන් දුෂ්කරම කාර්යය විය. කල්ලාර් සිට මාවිල් ආරුව බලා ගිය කොමාන්ඩෝ භටයෝ ගරිල්ලන්ගේ දැඩි ප්‍රතිරෝධයකට හසු වූහ. නිලධාරීහු දෙදෙනෙක් ඇතුළු කොමාන්ඩෝ භටයෝ හත්දෙනෙක් ගරිල්ලන්ගේ ප්‍රහාරයෙන් මිය ගියහ. පහළොස් දෙනෙක් තුවාල ලැබූහ.
    මේ අතර අල්ල කන්ත‍ලේ මාර්ගයේ දී ද හමුදාව නොසිතූ ප්‍රහාරයකට මුහුණ දුන්හ. ඒ ජූලි තිස් එක් වැනිදා රාත්‍රියේය. මාවිල්ආරු සටන වෙනුවෙන් කන්ත‍ලේට පැමිණි නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක විජේසිංහගේ ආරක්ෂකයන් ගමන් ගත් බසය ක්‍ලේමෝ ප්‍රහාරයකට ලක්විය. සෙබළු දහඅට දෙනෙක් එහිදි මරණයට පත්වූහ.
    ගරිල්ලන් මාවිල්ආරුවේ සටනට වැඩිබරක් දමන විට කොමාන්ඩෝ සෙබළුන්ගේ සහයට පාබල බළඇණියද කැඳවිණි. එකල වැලිකන්දේ ස්ථාන ගත කර තිබූ අටවැනි ගැමුණු හේවා බළඇණිය මාවිල්ආරු බිමට ආවේය. ලුතිනන් කර්නල් (දැන් බ්‍රිගේඩියර්) ජයම්පති තිලකරත්න අටවැනි ගැමුණු හේවා බළඇණියේ අණදෙන්නා විය. පාබල ක්‍රියාන්විත සඳහා විශේෂ පුහුණුව ලැබූ කුඩා කණ්ඩායම් වනය පීරාගෙන ඉදිරියට ඇදුනහ. ගරිල්ලෝ මාවිල්ආරුව අවට ගම් ඉලක්ක කර කාලතුවක්කු ප්‍රහාර ද එල්ල කළහ. කන්ත‍ලේ බළසේනාධිපතිවරයා වූ ලුතිනන් කර්නල් සරත් විජේසිංහද කාලතුවක්කු රෙජිමේන්තු නිලධාරියෙකි. ඔහු ගරිල්ලන්ට ප්‍රතිචාරය දැක්වීය. කාලතුවක්කු පමණක් නොව මල්ටිබැරල් රොකට් කොටි අඩවියට වැසි වැස්සේය.
    දිනය අගෝස්තු පළමු වැනිදාය. වේලාව පස්වරු දෙකට පමණ ඇත. එදින ගරිල්ලන්ගේ කාලතුවක්කු ප්‍රහාරය එල්ල වූයේ තිරිකුණාමලය වරාය ඉලක්ක කරය. ඒ අතරේ විශේෂ බළකා, කොමාන්ඩෝ ඇතුළු පාබල සෙබළුන් අටසිය පනස් හතරක් රැගත් ජෙට්ලයිනර් නැවද ත්‍රි'මලය වරාය මුවදොරට ළඟා වෙමින් තිබුණි. මරාගෙන මැරෙන ගරිල්ලෝ නැව ඉලක්ක කරගෙන බෝට්ටු වලින් ගොස් පහර දුන්හ. නැව රැක ගැනීමට නාවික සෙබළු බිහිසුණු සටනක් කළහ. එදා එල්.ටී.ටී.ඊ. යේ ඉලක්කය සාර්ථක විණි නම් සිව්වැනි ඊළාම් සටනේ ඇරඹුම නිම වෙන්නට තිබුණේ මහා ඛිෙදවාචකයකිනි.
    මහ මුහුද මැද මහ සටනින් පසුබැස්සද ගරිල්ලෝ රාත්‍රියේ මාවිල්ආරුවට උතුරින් පිහිටි හමුදා කඳවුරු සියල්ල ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළහ . ඒ මහා ප්‍රහාරයේ පීඩනය දරාගත නොහැකිව සෙබළු කඳවුරු අතහැර පසුබැස්සහ. ප්‍රහාරය මැඩලීමට මාවිල්ආරු මෙහෙයුමේ හුන් කොමාන්ඩෝ සෙබළු මුතූර් බලා ගියහ.
    එකල රජයේ පාලනයට නතු වූ, මුතූර් දෙසින් ඇති අවසාන භූමිය වූයේ කට්ටපරිච්චාන් රතු පාලමය. එතැනින් එහාට තිබුණේ සාම්පූර් කොටි අඩවියය. සාම්පූර් බිමට මුහුණලා රජයේ පාලන බිමේ ආරක්ෂාවට හුන්නේ හත්වන පාබල හමුදාවය. අගෝස්තු පළමුවැනිදා එහි සියලු වගකීම් පැවරී තිබුණේ මේජර් (දැන් කර්නල්) සේනක විජේසූරියටය. ඒ සිය අණදෙන නිලධාරියා නිවාඩු ගොස් හුන් බැවිනි. එදින රාත්‍රියේ වාසනාව හා දක්ෂතාව කැරකුණේ ගරිල්ලන් අත නොව ලුතිනන් කර්නල් සේනක විජේසූරිය වටාය.
    ගරිල්ලෝ හත්සිය පණහක් පමණ කට්ටපරිච්චාන් කඳවුර වට කළහ. එනමුත් කඳවුරේ හුන්නේ සෙබළුන් විසිතුන් දෙනෙකි. ඉන් හත්දෙනෙක් කාන්තා බළකායේ සෙබළියෝය. එනමුත් ඔවුන් සෙබළුන් සමග කරට කර සටනක් දීමට පැකිලුනේ නැත. ස්ව කැමැත්තෙන්ම බංකරයක් භාරගෙන ගරිල්ලන්ට පහර දුන්හ. ගරිල්ලන් කඳවුර වටකර පහර දෙන විට උපක්‍රමශීලීව තම බලය වැඩිකර ගැනීමට කඳවුරේ නිලධාරි අණදෙන්නා වූ කපිතාන් විජිත ඇලෙක්සැන්ඩර් සමත් විය. එනමුත් ඔහුට හුන්නේ සෙබළුන් අසූවක් පමණි.
    වරු ගණනක් සටන ඇවිළී ගියේය. සෙල්වනගර් , තෝපුර්, මහින්දපුර, පන්සල්වත්ත ආදී මාවිල් අරුවට උතුරෙන් පිහිටි සියලු කඳවුරු කොටින්ගේ ඉලක්ක වී තිබුණි. ගරිල්ලන්ගේ සැලසුම වී තිබුණේ කොඩ්ඩියාර් බොක්කෙන් දකුණට ඇති හමුදා කඳවුරු අල්ලාගෙන ත්‍රි'මලය වරායේ පාලනය සියතට ගැනීමටය. එනමුත් හමුදාවේ කාලතුවක්කු මල්ටි බැරල් වරුසා මැද පසුබැසීම හැර වෙන විකල්පයක් ගරිල්ලන්ට නොවීය.
    හමුදාවේ ප්‍රතිප්‍රහාර මැද ගරිල්ලන් පසුබැස්සද කට්ටපරිච්චාන් කඳවුර ඉලක්ක කර දිගටම ප්‍රහාර එල්ල විය. හමුදාව මුහුණ දුන් බරපතළම ප්‍රශ්නය වූයේ තුවාලකරුවන් ඉවත් කිරීමය. එක්වරම කඳවුරෙන් මුස්ලිම් ඇඳුමෙන් සැරසුණු දෙදෙනෙක් එළියට පැන ගත්හ . මඳ වේලාවකට පසු එම මුස්ලිම් වැසියන් දෙදෙනා ආපසු ආවේ ට්‍රැක්ටරයක් පදවාගෙනය. ඔවුන් වෙන කිසිවෙකු නොව තුවාලකරුවන් රැගෙන යාමට මුස්ලිම් වෙස්ගෙන කඳවුරෙන් එළියට ගිය හමුදා සෙබළුන් දෙදෙනෙකි.
    දින හතරක් පුරා ඇවිලී ගිය කට්ටපරිච්චාන් සටන නිසා මාවිල් ආරු මෙහෙයුම යටපත් වී ගියේය.
    ඒ අතරතුරේදී කොමාන්ඩෝ සෙබළුන් වෙනුවට විශේෂ බළකාය මාවිල්ආරුවට කැඳවිණි. විශේෂ බළකා බළසේනාධිපති කර්නල් (දැන් මේජර් ජෙනරාල්) ප්‍රසන්න සිල්වා ඇතුළු සෙබළු වවුනියාවේ සිට ක්ෂණිකව මාවිල්ආරුවට රැගෙන එනු ලැබුවේ හෙළිකොප්ටර් මගිනි. ඔවුහු කල්ලාර් සෝමාදේවී විදුහ‍ලේ සිය බළඇණිය ස්ථාපිත කළහ. වරු ගණන් කළල් දියේ සැඟවී ඔත්තු බැලීමට විශේෂ බළකා සෙබළු විශිෂ්ට දස්කම් දක්වන්නෝය. හැරත් ඔවුන්ගේ දිගු දුර විහිදුම් සෙබළුන්ගේ ඉතිහාසය ලියැවී ඇත්තේ වීර කතාවලිනි. කුසට අහරක් නැතිව සති ගණනක් වුවත් සතුරු අඩවියේ සැරිසරමින් රැක සිට පහර දීමට විශේෂ බළකා සෙබළු මනා නිපුණතාවක් දක්වන්නෝය. මාවිල්ආරුවේ අඟලක් අඟලක් නෑර අල්ලා ගනිමින් විශේෂ බළකා සෙබළු වැව් බැම්ම දෙසට ගමන් කළහ.
    මේ අතර ලුතිනන් කර්නල් ජයම්පති තිලකරත්න අණදුන් අටවන ගැමුණු හේවා බළඇණියට මාවිල්ආරුවේ ප්‍රධාන සොරොව්ව අල්ලා ගැනීමේ ක්‍රියාන්විතය පැවරුණි.
    දිනය අගෝස්තු දහ වැනිදාය. වේලාව අලුයම හතරයි හතළිස් පහට පමණ ඇත. ගැමුණු හේවා බළඇණියේ කුඩා කණ්ඩායම් මාවිල්ආරුවේ වැව් බැම්ම සමීපයටම ගමන් කළහ. වැව් බැම්මේ බංකර්වල ආවරණය ලැබූ ගරිල්ලෝ සෙබළුන්ට ප්‍රහාර එල්ල කළහ. පැය එකහමාරක් පුරා දෙපාර්ශ්වය අතර සටන ඇවිළිණි. හතර වටින් එළිය වැටෙද්දී ජයග්‍රහණය දෝලනය වෙමින් තිබුණේ හමුදාව දෙසටය. ගරිල්ලෝ පසුබැස්සහ. සෙබළු මාවිල්ආරුව අල්ලාගෙන සොරොව්ව ඇරියහ. දෙසතියකට පසු ගොවි බිම් තෙත් කරමින් මාවිල්ආරුවේ දියවර කල්ලාර් ඇළ දිගේ ගලා ගියේය.
    මාවිල්ආරුවෙන් පටන් ගත් සිව්වැනි ඊළාම් සටන ආපසු හැරුණේ නැත. සාම්පූර් වාකරේ, තොප්පිගල, තම්පනේ, සහල් බඳුන, පුනරීන්, මුහම‍ලේ, අලිමංකඩ, කිලිනොච්චිය, පුතුක්කුඩිඉරිප්පු හරහා ගොස් මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් බිමේදී සිව්වැනි ඊළාම් සටනට තිත තැබුණේ එල්.ටී.ටී.ඊ. ය අවසන් කරමිනි. එබැවින් යුද්ධ නිසා ප්‍රසිද්ධ වූ අනෙක් ගම් නියම්ගම්වලට වඩා මාවිල්ආරුව විශේෂ තැනක් ගත්තේය. ඒ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අවසානයක ඇරඹුම මාවිල්ආරුව බැවිනි.