සුන්දර දුන්හිඳ ඇල්ල
දුන්හිද දිය ඇල්ල ඌව පළාතේ ඇති දර්ශනීය දිය ඇල්ලකි. සොරණාතොට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ මෙය පිහිටා ඇත. බදුල්ල නගරයේ සිට කිලෝමීටර් 04 ක් පමණ දුර ගියවිට දුන්හිද වංගුව හමුවේ. එතැන් සිට තවත් කිලෝමීටරයක් පමණ දුර ගෙවා ඉතා අමාරුවෙන් වන ලැහැබ ඔස්සේ ගමන් ගත් විට මේ දියඇල්ල දක්නට ලැබේ. බදුලු ඔයේ නිම්නය හරහා මීටර් 63 කට ඉහළින් කොස්ගොල්ල ගම කෙළවර දුන්හිද ඇල්ල නිර්මාණය වී එතැනින් ගලා ගොස් මහවැලි ගගට වැටේ.
දුන්හිද ඇල්ලේ ආරම්භය ගැන ජනප්‍රවාදයේ විවිධ කතා තිබේ. පෙර රජ දවස දුන්හිද පතන හා කොස්ගොල්ල අතර පුස්වැලක් තිබී ඇත. කලක් ගතවන විට මේ පුස්වැල විශාල වී ඊට කුණු රොඩු එකතුවී බදුලු ඔයේ ජල මාර්ගය අවහිර වී ඇත. එය බේසමක් මෙන් දිස්වූ අතර බදුල්ල නගරය යටවී ගියේය. එවිට රජු අණබෙර යවා පසුවැල කප්පවා එය කැපූ තැනැත්තාට තෑගි බෝග පිරිනමා ඇත. එම ජලකද පුස්වැල කැපූ ස්ථානයෙන් පහළට ගලා ගියේය. එයින් දුන්හිද ඇල්ල නිර්මාණය විය. මෙහි සදහන් වන රජු එවකට බදුල්ලේ ප්‍රාදේශීය රජතුමාවූ කුමාරසිංහ රජු බවත් එම රජුගේ නිධන් වස්තු මෙහි ඇති බවත් ඉතිහාසයේ වංශ කතාවෙන් කියැවේ.
දුන්හිද ඇල්ල වැටෙන තැන සිට උමං මගක් තිබූ බව ගම් වැසියෝ අදටත් පවසති. සුන්දර ලාලිත්‍යයක් සොබා දහමට එක්කරන දුන්හිද දිය ඇල්ල මීටර් 63 ක් උසැතිය. දුන්හිද දියඇල්ල නැරඹීමට සංචාරකයෝ නිතර පැමිණෙති. එහි මග දෙපස කුඩා කඩ සාප්පු ගොඩනැගි ඇත්තේය. එහි උප සංස්කෘතියක්ද ගොඩ නැගී තිබීම විශේෂත්වයකි.
source : https://bit.ly/3LjW3DR
