ලංකාගම සුන්දරත්වය

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    bNLtl4r.jpg


    ගාල්ල සිට කි.මී. 65ක් ද, දෙණියාය සිට කි.මී. 26ක් ද දුරින් පිහිටි ලංකාගම, නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පිටිසර ගම්මානයක්. ලංකාවේ වැඩි දෙනෙක් ලංකාගම ගැන මෑතක් වන තෙක් දැන සිටියේ නැහැ. නමුත් සිංහරාජයට හානිවන ආකාරයේ පාරක් ලංකාගම සිට කපන බවට වූ විරෝධය නිසා පසුගිය කාලයේ මේ වනබද ගම්මානය ලංකාවේම කතාබහට ලක්වුණා. මේ අතර Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා ද ලංකාගම ආරක්ෂා කරගැනීමේ විශාල මතවාදයක් ව්‍යාප්ත වුණා.


    fSpyAM1.jpg



    ලංකාගම සහ සිංහරාජයේ ගම්මාන​

    5cbO3ZL.jpg

    ලංකාගම අවට පෙදෙස – elevation.maplogs.com


    රත්නපුර, ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවල පැතිර තිබෙන සිංහරාජ වනාන්තරය විශාලත්වයෙන් හෙක්ටයාර් 11187ක්. එම වනාන්තරය වටා ගම්මාන 22ක් පැතිර තිබෙනවා. ලංකාගම පිහිටා තිබෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් කොටසේ. එහි උස මුහුදු මට්ටමේ සිට අඩි 827ක් (මීටර 252). ලංකාගමට නුදුරින් කොලොන්කොටුව, වඩුගෙදර, නිල්වැලිගම, පිටදෙණිය ආදී ගම්මාන පිහිටා තිබෙනවා. මේ අතර ලංකාගමට ආසන්නව වාරුකන්දෙණිය සහ කොලොන්කොටුව යන ගම්මාන තිබෙන අතර ඒවා සිංහරාජ ලෝක උරුම වනාන්තරය තුළ පිහිටි ගම්මාන යි. ඒවාට යාමට වනය හරහා අඩිපාරවල් දක්නට ලැබෙනවා.

    OuZ4Jqe.jpg

    ගමේ කප්රුක වන කිතුල්, නෙළුව පී. ජයවික්‍රම


    අවුරුදු ගණනාවක් තිස්සේ මේ ගැමියෝ වනාන්තරය සමග සහයෝගයෙන් ජීවත් වුණා. ඒත් වාණිජකරණය ගමට පැමිණීමත් සමග එදා කිතුල් හකුරු, කොස්, දෙල් වනපල ආදියෙන් ජීවත් වූ ගැමියාට ඒවා ප්‍රමාණවත් වුණේ නෑ. මේ නිසා වනසතුන් දඩයම වැනි නීතිවිරෝධී ක්‍රියා ද මේ ප්‍රදේශවලින් වාර්තා වෙනවා. කුඩා තේ වතු වගාවත් ගැමියන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක්. ගමේ වැඩිදෙනා කරන්නේ තේ දලු කැඩීම යි.

    පවුල් 270ක් පමණ ලංකාගම ග්‍රාම නිලධාරී වසමේ ජීවත් වෙනවා. බහුතරයක් ගොවි ජනතාව යි. නෙළුව මේ ගමට ආසන්නම නගරය යි. ඒ වෙත දුර කි.මී. 14ක්. ඒත් නෙළුව සිට ලංකාගමට බස් රථයක් දුවන්නේ නෙළුවේ සතිපොළ පැවැත්වෙන සෙනසුරාදා පමණ යි. නෙළුව සිට මෙගමට ඇත්තේ වළවල් පිරුණු මාර්ගයක්.

    xpEhBy8.jpg

    කිතුල් හකුරු හදන ගැමි කතක්, නෙළුව පී. ජයවික්‍රම

    අද තේ වගාවට මුල්තැන දුන්න ද, දශක කිහිපයකට පෙර මේ ගම කොස්, දෙල්, පොල් හා කුඹුරු වගාවෙන් ද, එළවළු ගොවිතැනින් ද ස්වයංපෝෂිත ආර්ථිකයකට හිමිකම් කියූ ගමක්. ලංකාගම කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරු නේවාසිකව එහිම ඉන්නවා.


    ගිංගඟ උතුරන ගංවතුර​

    ලංකාගමට යාබදව ගලා යන්නේ ගිං ගඟ යි. මේ ගඟ වැසි කාලයට පිටාර දැමීම නිසා නිතරම ගම ගංවතුරට අසුවෙනවා. 2013 දී ගංවතුර නිසා ලංකාගම කනිෂ්ඨ විද්‍යාලය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ඊට පසු විදුහලේ ගොඩනැගිලි අලුතෙන් ඉදිකර තිබෙනවා. 1940 දශකයේ සිටි විදුහල්පතිවරු ලියපු ලොග් සටහන් රාශියක විද්‍යාලයට ගංවතුර නිසා වන හානිය සඳහන් කර තිබෙනවා.


    RGMVSEc.jpg


    ජනප්‍රවාද​

    7Jz0asY.jpg

    සිංහරාජ වනය wikipedia.org

    සිංහරාජ වනාන්තරයේ උසම කන්දක් වන්නේ එහි දකුණු ප්‍රදේශයේ පිහිටි සිංහගල යි. එය මතට නැගි විට ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විශාල ප්‍රදේශයක් සුන්දරව දැකගැනීමට ලැබෙනවා. සිංහගල ජනප්‍රවාදයට ලංකාගම ද සම්බන්ධ යි.

    EL5n6Xi.jpg


    පුරාණයේ දී මොරවක් කෝරළේ හා ගාලු කෝරළේ බැතිමතුන් ශ්‍රීපාද වන්දනාව සඳහා යන මාර්ගය වැටී තිබී ඇත්තේ ලංකාගම සිංහගල හරහා යි. සිංහගල නම් ස්ථානයේ සිටි සිංහයකු මිනිසුන් වෙත කඩාපැන අනතුරු සිදු කළා. එම ප්‍රදේශයේ සිටි ලංකානාථ නම් යෝධයෙක් ගල්වලින් ගසා සිංහයා මැරුවා. සිංහගල සහිත වනය පසුව සිංහරාජය වුණා. ලංකානාථ යෝධයා සිටි ගම ලංකාගම නමින් හැඳින්වෙන්නට වුණා.


    අවට ගම්මාන​


    adYkx3A.jpg

    වනගත ගම්මාන wikipedia.org


    ලංකාගමට එපිටින් පිහිටි දෙණිය, පිටදෙණිය නම් වුණා. කුඹුරු වගාව සිදුකළ දෙණි ප්‍රදේශයක් නිසා එය පිටදෙණිය වූ බව පැවසෙනවා. ලංකාගමට නුදුරින් එළවළු වගා කළ විශාල වත්තක් පැවති බවත් එහි විශාල ගල් පර්වතයක් ද වූ බවත් එය වතුගල වූ බවත් තවත් ජනප්‍රවාදයක්. ලංකාගමට නුදුරු කොලොන්කොටුවට ඒ නම ලැබී ඇත්තේ ගිං ගඟේ තොටුපොළ අසල විශාල කොළොන් ගසක් පැවති නිස යි.

    දෙණියායේ සිට මෙදේපිටිය, දොඹගොඩ, පිටදෙණිය හරහා දෙල්ලව රක්ෂිතය ඔස්සේ ලංකාගමට දුෂ්කර පාරක් තිබෙනවා. ලංකාගම සිට දෙණියායට සිංහරාජ වනාන්තරය මැද්දෙන් පුරාණයේ සිට ගැමියන් ගමන් කළ අඩිපාරක් පවතිනවා. එය ගිං ගඟට ආසන්නව ඇදී යන මාර්ගයක්. එම මාර්ගය දැන් මෝටර් බයිසිකල් ගමන් කිරීමට ද යොදාගන්නවා. එම මාර්ගය සිංහරාජයේ පිටදෙණිය පිවිසුමෙන් මහා මාර්ගයට පිවිසෙනවා.





    මතභේදයට තුඩුදුන් පාර​

    q1jGqVI.jpg

    හමුදා භටයන් මාර්ගය ඉදිකරමින් army.lk

    පසුගිය කාලයේ විශාල විරෝධතාවයක් එල්ල වූයේ ලංකාගම සිට නෙළුව දක්වා පවතින මාර්ගය පුළුල් කර නවීකරණය කිරීම සම්බන්ධයෙන්. එය ලංකාගම, කොලොන්කොටුව, වාරුකන්දෙණිය, මාදුගැට, හත්පිටිය හරහා ගොස් නෙළුවට ළඟා වෙනවා. සිංහරාජයේ බ්‍රාහ්මණ ඇල්ල අසලින් ආරම්භ වන මේ පාරේ කිලෝමීටර 1.1ක පමණ දුරක් ඇදී යන්නේ සිංහරාජය ආශ්‍රිතව යි. මාර්ගයේ මුළු දුර නෙළුවට කි.මී. 18ක්. මේ පාර පළල් කර කැපීමට වර්ෂ 2000 දී උත්සාහ කළ ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තහනම් කිරීම නිසා එය අත්හිටුවීමට සිදුවුණා. දැන් යළිත් ඒ පාර ඉදිකෙරෙනවා.

    මෑතක සිට කුඩව පිවිසුමට අමතරව ලංකාගම පිවිසුම ද සිංහරාජ වනයට පිවිසීමට ටිකෙන් ටික ජනප්‍රිය වෙමින් පවතිනවා. ලංකාගම පාරිසරික සංචාරක කලාපයක් ලෙස ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නම්කර තිබෙනවා. මේ අවට සංචාරක ලැගුම්හල් ද රාශියක් දැකගත හැකියි. සංචාරකයන් පැමිණීම නිසා ගැමියන්ගේ කිතුල් හකුරු, පැණි වැනි නිෂ්පාදනවලට හොඳ මිලක් ලබාගත වෙනවා. නෙළුව සිට කි.මී. 6ක් දුරින් පිහිටා ඇති ලංකාගම සිංහරාජ පිවිසුම දියඇලි නැරඹීමට වඩාත් ජනප්‍රිය වී තිබෙනවා.




    දියඇලි බලන්න යමු......​


    තට්ටු ඇල්ල

    3TbCvLh.jpg

    තට්ටු ඇල්ල Sashika Jayarthilake, flickr.com


    වරුවකින් දියඇලි 6ක් නැරඹීමේ අවස්ථාව ලංකාගම දී සංචාරකයාට හිමිවෙනවා. ලංකාගම දියඇලි අතරින් ප්‍රධානත්වය ගන්නේ නෙළුව දූවිලි ඇල්ල හෙවත් දූලි ඇල්ල යි. ලංකාගම – සිංහරාජ පාරෙ ඇවිත් මාදුගැට හන්දියෙන් දෙල්ලව-ලංකාගම පාරට පැමිණ ඉදිරියට යන විට ලංකාගම සිංහරාජ පිවිසුමට ළඟාවිය හැකියි. ඉන් ඇතුළු වූ විට බ්‍රාහ්මණ ඇල්ල, ගල්ඔරුව ඇල්ල, ඌරන් වැටුණු ඇල්ල යන දියඇලි නැරඹිය හැකිය. ඊට පසු තට්ටු ඇල්ල සහ ලංකාගම දූලි ඇල්ල ද නැරඹීමට ඔබට පුළුවන්. පැය හතරක් වගේ කාලයක් තුළ ඔබට මේ දියඇලි නරඹා අපූරු අත්දැකීමක් ලබාගත හැකියි.


    දූලි ඇල්ල


    lmu6ibs.jpg

    දුලි ඇල්ල, සවාරිය facebook පිටුවෙන්


    අඩි 140ක් පමණ උස දූලි ඇල්ල වන මැදින් කඩාහැලෙන අලංකාර ජල ප්‍රවාහයක්. නරඹන්නන් අතර ඉතා ජනප්‍රිය එය තට්ටු හතරක් වශයෙන් නිර්මාණය වී තිබෙනවා. කොස්මුල්ල ලංකාගම පාරෙන් ගමන් කළ විට දූලි ඇල්ල හමුවෙනවා. දියඇල්ලට වෙනම ප්‍රවේශ මාර්ගයක් ද ඉදිකර තිබෙනවා. සිංහරාජයෙන් උපත ලබන කොස්මුල්ල ඇළෙන් තමයි දූලි ඇල්ල නිර්මාණය වී තිබෙන්නේ.


    ගල්ඔරුව ඇල්ල

    මෙහි උස අඩි 110ක් පමණ වෙනවා. ගිං ගඟේ ශාඛාවක් වන හැරියාව දොළෙන් තැනී තිබෙන මෙහි ගල්පර්වත පිහිටා ඇත්තේ ඔරුවක ආකාරයට යි.

    G69R9IM.jpg



    ඌරන් වැටුණු ඇල්ල

    අඩි 75ක පමණ උසකින් යුත් මේ දියඇල්ල හැරියාව දොළේ ශාඛාවකින් නිර්මාණය වී තිබෙනවා. ගල්ඔරුව ඇල්ල ආසන්නයේ පිහිටි දියඇල්ලක්. වල්ඌරන් ඇල්ලට බහුලව ඇල්ලට බිලිවීම නිසයි, ඒ නම ලැබී ඇත්තේ.

    emTOmJe.jpg


    බ්‍රාහ්මණ ඇල්ල


    1tjej7g.jpg

    බ්‍රාහ්මණ ඇල්ල Ashan Geeganage, Amazing lanka

    සිංහරාජ රක්ෂිත මායිමේ කොලොන්කොටුව ගමේ පිහිටි අලංකාර දියඇල්ලක්. උසින් අඩි 65ක් පමණ වන මේ දිය ප්‍රවාහයත් හැරියාව දොළෙන් නිර්මාණය වී තිබෙනවා. කුඩා ජල විදුලි බලාගාරයකට ජලය ලබාගැනීම නිසා ඇල්ලේ ජලය අඩු වී තිබෙනවා.

    ලංකාගම සුන්දර ගම්මානයකි. ඒත් ඒ සුන්දරත්වය රැඳී පවතින්නේ වනාන්තරය හා වනසතුන් රැකී තිබුණොත් පමණක් බවද අප අමතක නොකළ යුතුය



    ආශ්‍රිත මූලාශ්‍රයයන්:
    Blogger Kusumsiri Wijewardhana
    Guide to Pitadeniya nature trails in the Sinharaja World Heritage site Forest Dept.
    ලංකාදීප
    BBC.com
    ලෝක උරුමයක් වූ සිංහරාජය, එච්. ජී. ගුණරත්න, වන සංරක්ෂණ දෙපා.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,982
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලස්සන ගමක්. මම ගියපු කාලේ හිටිය මිනිස්සුත් හරි සරල විදියට හිටියේ. පාඩුවේ ජීවත්වෙන්න ආස කරපු පැත්තක්. එකම ප්‍රශ්නේ සර්පයෝ.
    දැන් හැමදේම වෙනස්වෙලා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,982
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ceylon-Hanging-Parrot.jpg

    උදේ පාන්දරට මීදුමත් එක්ක පුදුමාකාර කුරුල්ලෝ ගොඩක් එන්නේ.
    මට තාම අමතක කරන්න බෑ කෙසෙල් මල් වලින් පැනි බොන්න එල්ලිලා ඉන්න ගිරාමලිත්තොන්ව. 😍
     
    Last edited: