නීතිය කොන්ටම් වෙලා
නීති පොත කොන්ටම් වෙලා. ස්ථිරසාර එක තීන්දුවක් දෙන්ඩ විදියක් නෑ
බලන බලන පැතිවලට විවිධ අර්ථ නිරූපණ එනව
නීති පොත කොන්ටම් වෙලා. ස්ථිරසාර එක තීන්දුවක් දෙන්ඩ විදියක් නෑ
බලන බලන පැතිවලට විවිධ අර්ථ නිරූපණ එනව

විධායකයට ව්‍යවස්ථාදායකයේ බලයට අභියෝග කළ හැකි වූ ලොකුම මෙවලම වූයේ ජනාධිපතිවරයාට සිය කැමැත්තෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබුණු නිදහසයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරිය වහාම ව්‍යවස්ථාදායකය සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වෙනවා. දහනවවන සංශෝධනයට පෙර ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව මුල් වර රැස් වී වසරකට පසුව එය විසුරුවා හැරිය හැකි වුනා. දහනවවන සංශෝධනයෙන් මේ කාලය වසර හතරහමාරක් දක්වා දිගු කෙරුණා.
ඉහත සංශෝධනයෙන් සිදු කෙරුණු වෙනස් කම් නොසලකා හරිමින් ජනාධිපති සිරිසේන විසින් වසර හතරහමාරක් කල් ගතව නොතිබුණු පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඔහු වෙනුවෙන් පෙනී සිටින අයට අනුව, ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් එසේ කිරීමට බලය ලැබෙනවා.
ලංකාවේ නීතිඥයින් බොහෝ දෙනෙකු හදාරා ඇති තරමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය හදාරා ඇතත් මා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයෙක් නෙමෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය වැඩි දුර හදාරා ඇති හා වසර ගණනක් එම ක්ෂේත්රයේ නීති වෘත්තියේ යෙදී ඇති බොහෝ දෙනෙක් මේ කරුණ හා අදාළව අදහස් දක්වා තිබෙනවා. වෙනත් අයත් අදහස් දක්වා තිබෙනවා. මේ කරුණේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයින් සේ සැලකිය හැකි අය අතර පවා අතර පවා ඒකමතිකත්වයක් දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා, මගේ පෞද්ගලික මතය මෙහිදී වැදගත් නැහැ.
කිසියම් කරුණක නෛතික නිරවද්‍යතාවය නිර්ණය කිරීම කියන්නේ අදාළ ලිඛිත නීති තර්කානුකූලව හෝ තමන්ගේ විශ්වාසය මත පදනම්ව විශ්ලේෂණය කර මතයක් ඉදිරිපත් කිරීම පමණක් නෙමෙයි. මේ කරුණටම ආවොත් ව්‍යවස්ථාවේ සියළු වගන්ති හැදෑරීම වුවත් ඒ සඳහා ප්‍රමාණවත් නැහැ. කිසියම් කරුණක නෛතික නිරවද්‍යතාවය නිර්ණය කිරීමේදී පැරණි නඩු තීන්දු වලට විශාල වැදගත්කමක් ලැබෙනවා. වරක් තීන්දුවක් දී ඇති ආකාරයේ නඩු නිමිත්තක් නැවත මතු වූ විට පෙර තීන්දුවට වඩා වෙනස් තීන්දුවක් ලබා දීම ඉතා අඩුවෙන් සිදුවන දෙයක්.
නඩුවක තීන්දුව ලබා දෙන විට අධිකරණය විසින් නීතියක් අර්ථදැක්වීමට අමතරව කිසියම් ආකාරයක නීති හැදීමකුත් කරනවා. එසේ වන්නේ වත්මන් අධිකරණ තීන්දු විසින් අනාගත අධිකරණ තීන්දු වලට පූර්වාදර්ශ සපයන නිසයි. නීතියේ සමානාත්මතාව මූලධර්මයක් කරගත් මූලික අයිතිවාසිකම් නඩුවකදී මේ කරුණට වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා. මේ වන විට අධිකරණය හමුවේ විභාග වන ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයාට බලය තිබේද යන්න ලංකා රාජ්‍යයේ මූලික ස්වභාවය නිශ්චය කෙරෙන ඉතා තීරණාත්මක නඩුවක්. එවැනි නඩු තීන්දුවක් ආවාට ගියාට හෝ හදිසියෙන් ලබා දීමේ හැකියාවක් නැහැ. https://economatta.blogspot.com/





