පංචේන්ද්‍රිය පාලනය කිරීමට යාම නිසා මිනිසුන් අමාරුවේ වැටෙන්නේයැයි කීවොත් ඔබ පුදුම වනු ඇත. ඉන්ද්‍රිය දමනය කිරීම යනු ඉන්ද්‍රියන් පාලනය කිරීමයැයි සිතන්නා වූ පිරිස් වෙති. මිනිසාගේ ප්‍රධාන ඉන්ද්‍රිය පහකි. ඇස්, කන්, නාසය, කට සහ සිරුර ඒ ඉන්ද්‍රිය පහයි. මේ ඉන්ද්‍රියන් පාලනය කිරීම අමාරු නැත. අමාරු කාර්යය වන්නේ මේ ඉන්ද්‍රියන් මෙහෙයවන්නා පාලනය කිරීමයි. එනම් වෙනකකු නොව 'හිත' පාලනය කිරීමයි. පියවි ඇහැට රූප පෙනෙයි. නිරෝගී කන්වලට ශබ්ද ඇසෙයි. දිවට රස දැනෙයි. නාසයට ගඳ දැනෙයි. සිරුරට ස්පර්ශය දැනෙයි. එය ඒ ඒ ඉන්ද්‍රියයන්ගේ කාර්යයි. එසේ නොවන්නේ නම් අප වටහා ගත යුත්තේ ඒ ඉන්ද්‍රියන්වල ප්‍රශ්නයක් ඇති බව වේ. නිදසුනකට ඔබට ගඳ නොදැනේනම් ඔබ නිරෝගී නැත. ඔබට රස නොදැනේනම් ඔබේ දිවේ ප්‍රශ්නයකි. ශබ්ද නොඇසේ නම් කනේ ප්‍රශ්නයකි. ඒවාට ඔබට ප්‍රතිකාර ලබා ගත හැක. සත්‍ය ප්‍රශ්නය ඇත්තේ ඇස කන නිසි ලෙසින් ක්‍රියාකාරීවීම තුළ නොවේ. සත්‍ය ප්‍රශ්නය ඇත්තේ එකී පංචේන්ද්‍රියන්ගෙන් කරන්නා වූ කාර්යය ඔස්සේ ඇලීම හෝ ගැටීම ඇති කර ගැනීමට යාමෙනි. එය සිදු කරන්නේ හිතයි. රූපයක් ලස්සනද අවලස්සනද කියා ඇස දන්නේ නැත. රුපයේ ලස්සන හෝ අවලස්සන හඳුනාගන්නේ හිත විසිනි. ලස්සන නම් ඇලීම ඇති කර ගනී. අවලස්සන නම් ගැටීම ඇති කර ගනී. මීට අමතරව මධ්‍යස්ථ තත්ත්වයක් ද ඇති කර ගනී. අනෙක් ඉන්ද්‍රියන් සම්බන්ධයෙන් ද එසේමය. ප්‍රිය අප්‍රියභාවය සහ මැදිහත්බව හිතෙන් ඇතිවන එකකි. මෙකී තත්ත්වය තෝරා බේරා ගැනීමට නොහැකි වීම නිසා අමාරුවේ වැටුනෝ වෙති. ඔබත් එසේ ද?