(4 of 4)
(ඉ) සැකකරුගේ මව හෝ පියා රෝගී තත්ත්වයෙන් පසුවීම සුවිශේෂි කරුණක් වශයෙන් සැළකිය හැකි වේද ?
ඒ යටතේ කරුණු සළකා බැලීමට අදාළව බොහෝ නඩුවලදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් විසින් පහත සදහන් නඩු තීන්දුව මත පිහිටා කරුණු සැලකරනු ලබන බැවින් ඊට අදාලව එකී නඩු තීන්දුව වෙත මාගේ අවධානය පහත සදහන් පරිදි යොමු කර සිටිමි.
Ediriweera Vs. AG [2006 (1) SLR 25] – [ CA (PHC) 25/2005]
ඒ අනුව කරුණු සලකා බැලීමේදී ඉහත තීන්දුව බෙදුනු නඩු තීන්දුවක් වශයෙන් අභියාචනාධිකරණය විසින් ලබා දී ඇති අතර, ඒ යටතේ එවකට අභියාචනාධිකරණ විනිසුරු සිසිරද ආබෲ මැතිතුමන් විසින් මෙම නඩුවට අදාළව ඉදිරිපත් වන ලද කිසිදු කරුණක් සුවිශේෂි කරුණු නොවන බවට තීරණය කර තිබේ. කෙසේ නමුදු හිටපු අභියාචනාධිකරණ විනිසුරු ජගත් බාලපටබැදි මැතිතුමන් විසින් එම නඩුවට අදාලව පහත සඳහන් කරුණු සුවිශේෂි කරුණු වන බවට කරන ලද පිළිගැනීම විජේරත්න මැතිතුමන් විසින් පිළිගැනීම මත බහුතර එකගත්වයෙන් පහත කරුණු සුවිශේෂි කරුණු වශයෙන් සළකා බැලිය හැකි බවට අභියාචනාධිකරණය විසින් තීරණය කර ඇති අතර එම කරුණු පහත සඳහන් පරිදි වේ.
“i. It is to be noted that the respondent has not denied the fact that the accused appellant need Specialized treatment as stated in the Medical Certificate and such treatment could not be given by the prisons Authorities in the prisons Hospital or in a hospital.
ii. In the Court of Appeal it will take at least more than One year for this appeal to be taken up-so that the final determination of the appeal may take many years and it could be considered as a long delay to determine the appeal.
iii. Important points of law namely - Common intention and actus reus not been applied in evaluating the evidence by the High Court, the position taken up in the judgment that the 2nd accused appellant was caught red handed is questionable.
iv. The father of the accused appellant had been a cancer patient when this application was filed and had been recommend by professor Silva, to allow the accused appellant to see his father on humanitarian grounds.
The matters above could be considered as exceptional circumstances.
කරුණු එසේ වුවද ඉහත කී අභියාචනාධිකරණ තීන්දුව (එවකට හිටපු අභියාචනාධිකරණ විනිසුරු ජගත් බාලපටබැදි මැතිතුමන් විසින් ලියනු ලැබ හිටපු අභියාචනාධිකරණ විනිසුරු විජේරත්න මැතිතුමන් විසින් එකග බව සදහන් කර ඇති බහුතර කැමැත්ත / majority decision මත තීරණය වන ලද තීන්දුව ) ගරු නීතිපතිතුමන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරන ලද අභියාචනයක් යටතේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි තිලකවර්ධන මැතිණිය විසින් පහත සඳහන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව යටතේ ප්රකාශිතවම අවලංගු කර ඇති ( Sets aside) තීන්දුවක් වන බැවිනි. එකී තීන්දුව පහත සදහන් පරිදි වේ .
AG Vs. Ediriweera Arachchige Prabath Ediriweera [ SC Appeal no 100/2005 – decided on 4/8/2006 – And also reported on 2006 BLR page 12]
“This Court therefore finds no exceptional Circumstances to grant bail to the Accused Respondent, sets aside the majority judgment of the Court of Appeal in Court of Appeal Application No .CA (PHC) APN No 25/2005 and make order remanding the Accused – Respondent. The Appeal is allowed. No Costs. “
ඒ අනුව කරුණු සළකා බැලීමේදී මෙවැනි බරපතල ගනයේ ලා සැළකිය හැකි නඩුකර වලට අදාළව දෙමාපියන් වෙත පවත්නා රෝගි තත්ත්වයන් සුවිශේෂි කරුණු වශයෙන් සැළකිය නොහැකි බව පැහැදිලිව පෙනී යන බැවින් එවැනි කරුණු සුවිශේෂි කරුණු වශයෙන් සළකා ඇප නියම කිරීමේ අධිකරණ බලයක් අධිකරණය වෙත නොපවතින බව පැහැදිලිව පෙනී යයි.
ඒ යටතේ ඉහත කී සියළු කරුණු සම්පින්ඩනය කර බැලීමේ දී,
01. පැමිණිල්ලේ නඩුව දුර්වල වීම යන කරුණ සුවිශේෂි කරුණක් (Exceptional Circumstances) වශයෙන් සළකා සැකකරුවන් වෙත ඇප නියම කළ නොහැකි වන බව.
02. නඩුව අසා නිම කිරීමට ගත වන කාලය යටතේ වන ප්‍රමාදය හෝ සැකකරු සම්බන්ධයෙන් පෙර වැරදි නොමැති බවට වන කරුණ සුවිශේෂි කරුණක් වශයෙන් සැළකිය නොහැකි වන බව.
03. සැකකරු පවුලේ එකම ආදායම් උපයන්නා වන බව සහ සැකකරු නඩු විභාගය අවසාන වන තෙක් බන්ධනාගාරගත වීම යටතේ පවුලේ සාමාජිකයින් වෙත ආදරය, රැකවරණය සහ සෙනෙහස අහිමිවීම සුවිශේෂි කරුණක් වශයෙන් සැළකිය නොහැකි වන බව.
04. සැකකරු අසනීප තත්ත්වයෙන් පසුවීම සුවිශේෂි කරුණක් වශයෙන් සැළකිය හැකි වුවද, ඒ යටතේ එකී කරුණ සුවිශේෂි කරුණක් වශයෙන් සැළකීමට නම්,
I) එය වර්ථමානයේ පවතින රෝගි තත්ත්වයක් විය යුතු වන බව,
II) එය සනාථ කරනු වස් සාක්ෂි පැවතිය යුතු වන බව,
III) බන්ධනාගාර ගතව සිටියදී, බන්ධනාගාර රෝහලේදී හෝ වෙනත් රෝහලකදී ප්‍රතිකාර ලබාගත නොහැකි බවට කරුණු සනාථ කර තිබිය යුතු වන බව, සහ
IV) අදාළ රෝගයට පිළියම් නොයෙදුවහොත් ඒ යටතේ සැකකරුගේ ජීවිතය අවදානම් සහගත තත්ත්වයකට පත්වන බවට කරුණු සහිතව සනාථ කර තිබිය යුතු වන බව.
05. සැකකරුගේ මව හෝ පියා රෝගි තත්ත්වයෙන් පසුවීම සුවිශේෂි කරුණක් වශයෙන් සැළකිය නොහැකි වන බව, පැහැදිලිව පෙනී යයි.
කෙසේ නමුදු පහත අවස්ථානුගත තත්ත්වයන් පවතින්නේ නම් සහ එම අවස්ථානුගත තත්ත්වයන් කරුණු සහිතව සනාථ කරන්නේ වී නම්, ඒවා සුවිශේෂි කරුණු වශයෙන් සැළකිය හැකි වන බව තවදුරටත් මෙම කරුණු සාකච්ඡාවට බදුන් කිරීමේ අරමුණින් යුතුව මෙහිලා සඳහන් කරමි. ඒ යටතේ එකී කරුණු වනුයේ,
01. සැකකරු දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරගත වීම මගින් සැකකරුගේ අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිවන බව සනාථ කළහැකි වන්නේ නම් එම කරුණ සුවිශේෂි කරුණක් වශයෙන් සැළකිය හැකි වන බව.
02. ජීවිතයේ එක් වරක් පමණක් පුද්ගලයෙකු වෙත සහභාගිවීමට අවස්ථාව හිමිවන සැකකරුගේ හෝ සැකකරුගේ සහෝදරයෙකුගේ හෝ සැකකරුගේ සහෝදරියකගේ හෝ සැකකරුගේ දරුවෙකුගේ විවාහ මංගල්‍යයක් වැනි සුවිශේෂි අවස්ථාවක් පවතින බවට කරුණු සහිතව සනාථ කළ හැකි වන්නේ නම් එකී කරුණ සුවිශේෂි කරුණක් වශයෙන් සැළකිය හැකිවන බව.
ඒ යටතේ එකී කරුණ සුවිශේෂි කරුණක් වශයෙන් සැළකීමට නම්,
(අ) අදාළ විවාහය වැනි ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන සුවිශේෂි අවස්ථාව ඉහතකී පරිදි සැකකරුට හෝ සැකකරුගේ සහෝදරයෙකුට හෝ සැකකරුගේ සහෝදරියකට හෝ දරුවෙකුට අදාළ සුවිශේෂි අවස්ථාවක් විය යුතුය.( විවාහය හේතුකොට ගෙන ඇති වන ලද ඥාතියෙකුගේ හෝ අන්කිසි ඥාතියෙකු සම්බන්ධයෙන් වන සුවිශේෂි අවස්ථාවක් නොවිය යුතුය.)
(ආ) සාක්ෂි වශයෙන් සළකා බැලිය හැකිවන පරිදි ඥාතිත්වය හා විවාහ මංගල්‍ය උත්සවය හෝ එවැනි ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන සුවිශේෂි අවස්ථාවකට අදාළ කරුණු පිළිගත හැකි ලේඛණ මගින් තහවුරු කර තිබිය යුතුය.
ඇ) අදාළ විවාහ මංගල්‍ය උත්සවය හෝ එවැනි ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන සුවිශේෂි අවස්ථාව සැකකරු අත් අඩංගුවට ගැනීමට ප්‍රථම සැළසුම් කර තිබූ බවට සාක්ෂි සහිතව කරුණු සනාථ කර තිබිය යුතුය.
03. සැකකරුවෙකුගේ බිරිද දරු ප්‍රසූතියට සූදානම්ව සිටින බවට කරුණු සහිතව සනාථ කළහැකි වන්නේ නම්
ඒ යටතේ කරුණු සලකා බැලීමේදී දරුවෙකු ලැබීමට සිටින අවස්ථාවකදී මවකට සිදුවිය හැකි මානසික පීඩාවන් දරුගැබ විනාශ වීමට සහ ඉපදීමට සිටින දරුවා සම්බන්ධයෙන් අසංකූලතා ඇති වීමට හේතුපාදක වන බවට වන වෛද්‍ය විද්‍යාත්මකව පිළිගත් සක්‍යතාවය මත අධිකරණය සෑහීමට පත්වන පරිදි වෛද්‍ය සහතික සමග නිසි ක්‍රමවේදය ප්‍රකාරව කරුණු සනාථ කර ඇත්තේ වීනම් එම කරුණ සුවිශේෂි කරුණක් වශයෙන් සළකා බැලිය හැකි වේ.
04. පැමිණිල්ල විසින් අනිසි ප්‍රමාදයකින් යුතුව පරීක්ෂණ පවත්වනු ලබන බව හේතු සහිතව සනාථ කල හැකි වන්නේ නම්, Juzath Vs OIC, Fraud Bureau unit, 03 and others [BASL Law Journals (unreported) 1991-1998 Vol. II] දරණ නඩු තීන්දුව යටතේ හිටපු අභියාචනාධිකරණ විනිසුරු එච්.ඩබ්. සේනානායක මැතිතුමන් විසින් ප්‍රකාශ කර ඇති නෛතික තත්ත්වය අනුව යමින් එකී කරුණ සුවිශේෂි කරුණක් වශයෙන් සලකා බැලිය හැකි වේ.
Source