බ්රහ්මචාරී සහ අබ්රහ්මචාරී
පහුගිය කාලේ දෙමාපියො බොරු කිව්වම ගෑණු දැරිවියො උපදිනවා කියලා බණ දෙසලා, පස්සෙ වැඩේ ජෝන් බාස්ට ගියාම ඒකෙ ඉතුරු ටිකේ පිරිමි ළමයිත් ඒ විදියට උපදිනවා කියලා කිව්ව මහණක් මතක ඇති. මේ මහණුන්ගේ බණ වල සෑහෙන්න බ්රහ්මචර්යාව ගැන නැත්නම් අබ්රහ්මචර්යාව ගැන දේශනා කරනවා. ඒ මහණ විතරක් නෙමෙයි, තවත් බොහෝ අය නොසෑහෙන්න මේ වචන අරන් බණ කියනවා ඇහෙනවා. ඒවා අහන් ඉන්න උපාසකැයි උපාසිකායි කියන ඇත්තොත් එහෙයි හාන්දුරුවනේ කියන් අහන් ඉන්නවා. අනුමත කරනවා. සමහරක් වෙලාවට ඒ කියන විදියට ජීවත් වෙන්නත් යනවා. ඒකෙ වරදක් නෑ. තම තමුන්ගේ කැමැත්තනේ. ඒ මොනවා වුනත් මේ ගැන ටිකක් කථා කළොත් හොඳයි කියලත් හිතුනා. ඒකයි මේ ලිපිය ලියන්නේ.
බ්රහ්මචරිය නැත්නම් බඹසර කියලත් කියන වචනය ත්රිපිටකය ඇතුලෙ හුඟක් පාවිච්චි වෙන වචනයක්. මේ වචනයත් එක්කම අබ්රහ්මචරිය කියන වචනයත් පාවිච්චි වෙනවා. බ්රහ්මචරියෙ විරුද්ධාර්තය තමයි අබ්රහ්මචරිය. වචනය දැක්ක නැත්නම් ඇහෙන කොටම ඔයාට තේරෙනවා ඇති මේ වචනය ඇතුලෙ බ්රහ්මයා නැත්නම් බ්රාහ්මණ කියන චරිතය තියෙනවා කියන එක. බ්රහ්මයාගේ චර්යාව නැත්නම් බ්රහ්මයා හැසිරෙන විදිය කියන අර්ථයත් ඒ අනුව වචනයට ලැබෙනවා. ඕකෙ අනිත් පැත්ත තමයි අබ්රහ්මචරිය කියන්නේ. මේක හරිම ලේසියෙන් තේරුම් ගතෑකි බ්රහ්මවිහාර ධර්ම කියන පාඨය සැලකිල්ලට ගත්තම. මොනාද බ්රහ්මවිහාර ධර්ම කියන්නෙ? මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ෂා කියන ගුණාංග හතර. මේ ගුණ තියෙන්නෙ බ්රහ්මයාගේ නිසා ඒ ගුණ වලට බ්රහ්මවිහාර ධර්ම කියලත් කියනවා. ඕකම තමයි බ්රහ්මචරිය කියන එකටත් යෙදෙන්නේ.
බුදුරජාණන්වහන්සේ පහලවෙද්දිත් බ්රහ්මචර්යාව කියන එක ඉන්දියාවේ තිබුනා. නැත්නම් ඉතින් දේශනා කරන්න දෙයක් නෑ නේ. දේශනා කළාට මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ නේ.
දැන් අපේ රටේ කථා කරනවා කුමරි බඹසර, කුමර බඹසර කියලා. ඕක කථා කරන්නේ ලිංගික චර්යාවන් එක්ක. අර මන් කලින් කිව්ව මහණුන් හරි හරියට මේ වචන යොදා ගන්නවා. එක්කො උන්නැහෙලා බුද්ධ කාලෙ ඉන්දියාවේ සමාජය ගැන දන්නෙ නෑ. නැත්නම් උන්නැහෙලා වෙන මොකක් හරි දෙයක් ඔළුවෙ තියන් තමයි කථා කරන්නෙ.
විනය පිටකයට යොමු වුනාම ඔයාට දකින්න ලැබේවි ‘ස්වයං වින්දනය‘ ගැන කියැවුන අවස්ථා කීපයක් ම. ශුක්රාණු කියන වචනයට විනයෙදි පාවිච්චි කෙරෙන්නෙ ‘සුකුරු‘ කියන වචනය. බුදුරජාණන්වහන්සේ පැහැදිලිව දක්වනවා උපක්රමයක් නොකර සුකුරු පිටකිරීම භික්ෂුවට වරදක් නොවේ කියලා. නමුත් උපක්රමයකින් සුකුරු පිටකිරීම විවිධ අවස්ථාවලදී විනයෙ භික්ෂුවකට වරදක් වෙන හැටි දක්වලා තියෙනවා. දැන් ඔය අපේ මහණුන් ගිහියන්ගේ කුමර සහ කුමරි බඹසර ගැන කථා කරද්දි ස්වයං වින්දනයත් ඒකට දාලා තමයි කථා කරන්නෙ. හැබැයි සූත්ර පිටකයෙදි ගිහියන් ගැන කථා කරද්දී බුදුරජාණන්වහන්සේ සුකුරු ගැන කථා කරන්නෙ නෑ.
අශෝක අධිරාජ්යයගේ කාලය වෙනකම් ‘අභිධර්ම‘ පිටකය කියලා එකක් තිබ්බෙ නෑ නේ. තිබුනෙ සූත්ර සහ විනය පිටකය. තෙවැනි ධර්ම සංගායනාවේ ඉඳන් තමයි අභිධර්ම පිටකය කියලා අභිධර්මයට අදාළ දේශනා වෙනම ම සංගායනා වෙන්නේ. එතකොට ධර්ම විනය ගත්තම සියල්ලම නැතත් සූත්ර බහුතරයක් ක්රි.පූ.5 – 4 සියවස්වලට අයිති ඒවා. ඒ කාලේ ඉන්දියානු සමාජයට ගැලපෙන්න දේශනා කරපු සූත්ර. ජීවත්වුන මිනිස්සුන්ට දේශනා කරපුවනෙ ඉතින්. ඒ සූත්ර අනුව ගිහි චර්යාවයි පැවිදි චර්යාවයි බුදුරජාණන්වහන්සේ පැහැදිලිව වෙන් කරලා දක්වලා තියෙනවා. බ්රාහ්මණයන්ට කලේ එයාලට ගැලපෙන දේශනා. ගෘහපතියන්ට කලේ එයාලට ගැලපෙන දේශනා. ක්ෂත්රියන්ට කලේ එයාලට ගැලපෙන දේශනා. එහෙම නැතිව හැමෝටම එක විදියට ම බණ කියන්න ගියෙ නැහැ. හැබැයි පැවිදි චර්යාව ගැන කියද්දි හැමෝටම එකයි. මොකද මොන වංශෙන්, මොන කුලෙන් ඇවිත් පැවිදි උනත් පැවිදි උනාට පස්සෙ එකම කුලයක නිසා. ඒ පැවිදි චර්යාවට අදාළයි ‘විනය‘. විනයට අනුව තමයි කලින් කිව්ව සුකුරු පිටකිරීම ගැන සඳහන්වෙන්නෙ. දැන් ඕක කොහොමද ගිහියන්ට ගලපවන්නෙ?
හැබැයි අර කලින් කිව්ව මහණ වගේ අය කරන්නෙ අන්න ඒක. ඕක හරි භයානක දෙයක්. ඒ බණ අහන පෘථග්ජන මිනිස්සු තමුන්ගේ සැබෑ ජීවිතයට ඔය දේවල් එකතු කර ගෙන ජීවත් වෙන්න යද්දි පවුල් ප්රශ්න ඕනෑ තරම් ඇති වෙනවා. පවුල් ප්රශ්න කියන්නේ අන්තිමට සමාජීය ප්රශ්න. බුදුරජාණන්වහන්සේට එහෙම කරන්න ඕනා උනානම් ඒ කාලෙම ගිහි විනයට පැවිදි විනයෙ තියෙන දේවල් ඇතුළත් කරනවානේ. එහෙම කරලා නෑ. එතකොට බැලුවම මේ කියන බණැයි කියන ඒවා බුද්ධ ධර්මයට නම් ගැලපෙන්නෙ නෑ වගේ. ටිකක් හිතලා බලන්න.
ඒ ටික එහෙම තිබුනාවෙකො. අපි කථා කලානෙ කුමරි බඹසර, කුමර බඹසර ගැන. ඕක කෙලින්ම සිංහල ව්යවහාරයෙදි සම්බන්ධවෙන්නෙ කන්යාභාවයට. නැත්නම් නොඉඳුල් බවට. බුදු දහමට අනුව කන්යාවක් නොවන්නෙකුට නැත්නම් ඉඳුල් වෙච්චි කෙනෙක්ට මාර්ග ඵල ලබන්න බැරිද? ටිකක් හිතන්න ඕනා දෙයක්නෙ. දැන් බලන්න විශාඛාව, සුජාතා සිටු දියණිය වගේ අය අවුරුදු 7 දි සෝවාන් වෙච්චි අය. කසාද බැඳලා දරුවොත් ලැබිලා. එතකොට උත්තරා අවුරුදු 7 දී සෝවාන් වෙලා, දානෙ ලෑස්ති කරන්න කාලෙ හදා ගන්න තමුන්ගේ සැමියට සිරිමා ගණිකාව ගෙනත් දෙනවා ඒ කාලෙදි බිරිඳක් විදියට කටයුතු කරන්න කියලා. උග්ග සිටුතුමාට බිරින්දෑවරු හතරක් ද පහක් ද ඉද්දි තමයි මාර්ග ඵල ලැබෙන්නෙ. මේ වගේ තව නිදසුන් හුඟක් තියෙනවා. එහෙම තියෙද්දි කුමරි බඹසර, කුමර බඹසර ගැන අමුතු මතවාද දේශනා කරනවානේ.