බැරි නම් පැනලා යන්න !

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    බැරි නම් පැනලා යන්න !

    බැරි නම් පැනලා යන්න !





    වරුණ චන්ද්‍රකීර්ති

    war.jpg

    හැඳින්වීම

    සුන්තුමා ගේ "යුද කලාව" පොත ගැන අපි හැමෝම වගේ දන්නවා. ඒ පොත සිංහලට පරිවර්තනය වෙලාත් තියෙනවා. එතුමා ගේ මුණුපුරෙක්‌ තමයි සුන් පින්. එතුමා - සුන් පින් ලියපු යුද කලා පොතකුත් තියෙනවා. ඒ පොත ලියලා තිබුණු උණ පතුරු සෑහෙන ප්‍රමාණයක්‌ විනාශයට පත්වෙලා. ඉතින් ඒ පොතෙන් තවමත් කියවලා තියෙන්නේ පරිච්ඡේද 15 ක ප්‍රමාණයක්‌ විතරයි. සුන් පින් ගේ පොත නම් තවමත් සිංහලයට පරිවර්තනය වෙලා නෑ. මේ ලිපි පෙළින් ඉදිරිපත් කෙරෙන්නේ චීනයේ ඇති යුද කලාව පිළිබඳ තවත් ඉපැරැණි පොතක පරිවර්තනයක්‌. මේ පොත හැඳින්වෙන්නේ උපක්‍රම තිස්‌ හය කියලා. මේ පොතේ පරිච්ඡේද හයක්‌ තියෙනවා. එක පරිච්ඡේදයකින් යුද උපක්‍රම හයක්‌ විස්‌තර කෙරෙනවා.

    මේ ලිපි පෙළ ලියන්නේ ඒ යුද උපක්‍රම තිස්‌ හය සිංහල පාඨකයාට හඳුන්වාදීමට. මුලින් ම අදාළ උපක්‍රමය කියලා ඒක විස්‌තර කරනවා. ඊට පස්‌සේ ඒ උපක්‍රමය පහසුවෙන් වටහාගැනීමට උපකාරී වෙන විදිහේ කතාවකුත් කියනවා.

    අද කියන්නේ හයවැනි පරිච්ඡේදයේ තියෙන හයවැනි යුද උපක්‍රමය ගැන. මේ පරිච්ඡේදයේ උපක්‍රම අදාළ වෙන්නේ දුෂ්කර අවස්‌ථාවකට මුහුණ පෑ විට එයින් මිදී සතුරා පැරදවීමටයි. මේ සමඟම යුද උපක්‍රම තිස්‌හය පිළිබඳ ලිපිපෙල අවසන් වෙනවා.

    අවසාන උපක්‍රමය (36)

    තමන් සටන් කරන්නේ යම් අරමුණක්‌ වෙනුවෙන් නම්, ඒකාන්ත පරාජයක්‌ හමුවේ දිගින් දිගටම සටන් කිරීමෙන් හෝ යටත්වීමෙන් හෝ සියදිවි නසා ගැනීමෙන් හෝ එම අරමුණ සාක්‌ෂාත් කරගත හැකි නොවේ. මෙවන් අවස්‌ථාවක දී අනුගමනය කළ හැකි හොඳම උපක්‍රමය වනුයේ අනතුරෙන් ගැළවීමයි. ඒ සඳහා සටන් බිමෙන් ඉවත්විය යුතුය. සටන් බිමෙන් පළා යා යුතුය. තමන්ගේ අරමුණ වෙනුවෙන් මෙම තීරණය ගන්නා බවට විශ්වාසයක්‌ තම පිරිස තුළ ඇතිකිරීමටද ක්‍රියා කළ යුතුය.

    නිධාන කතාව

    රටවල් හතකට බෙදිලා කාකොටා ගත්ත චීනය ක්‍රිස්‌තු පූර්ව 221 දී නැවත වතාවක්‌ එක්‌සේසත් කළ බවත්, ඒ සඳහා නායකත්වය දීපු හන් අධිරාජ්‍යය අවුරුදු 15 ක්‌ ඇතුළත අවසන් ගමන් ගිය බවත් අපි දැන් දන්නවා. ඊට පස්‌සේ චීනයේ බලයට ආවේ හන් අධිරාජ්‍යයයි. ඒ, ක්‍රිස්‌තු පූර්ව 202 දී. ක්‍රිස්‌තු පූර්ව 206 ඉඳලා ඒ දක්‌වා ගතවෙච්ච අවුරුදු හතරක කාලය හැඳින්වෙන්නේ ඡූ - හන් බල පොරය කියලා. ඒ කාලයේ හිටිය බලවත් ම සෙනෙවියා වෙච්ච ෂියෑං යූ නායකත්වය දුන්නේ ඡූ හමුදාවට. ලියු පං නායකත්වය දුන්නේ හන් හමුදාවට.

    ක්‍රිස්‌තු පූර්ව 206 දී ජින් බලය අවසන් කරලා දැම්මාට පස්‌සේ ෂියෑං යූට තිබුණු ලොකුම අභියෝගය තමයි ලියු පං. ලියු පං කවදා හරි තමන්ගේ ස්‌වාමියාට අභියෝගයක්‌ වෙන්න පුළුවන් බව ෂියං යූ ගේ උපදේශකයා වෙච්ච ෆන් ත්සං දැනගෙන හිටියා. ඉතින් හැකි ඉක්‌මනින් ලියු පං ව පරලොව යවන්න කියලා ඔහු ෂියෑං යූට උපදෙස්‌ දුන්නා. ඉතින් හන් බලය අවසන් කිරීමේ සතුට සමරන්නත් එක්‌ක සාදයක්‌ සූදානම් කෙරුණා. චීන ඉතිහාසයේ මේ සාදය ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ Ñහංස ද්වාරයේ සාදය කියලා.

    මේ සාදය පැවැත්වුනේ ෂියෑං යූ ගේ ප්‍රධානත්වයෙන්. ආසන පැනෙව්වෙත් ඔහුගේ බල පරාක්‍රමය ප්‍රකාශ වෙන විදිහට. ලියු පංට පනවා තිබුණේ උතුරු පැත්තට හැරවුනු ආසනයක්‌. ඒ මාර්ගයෙන් ඔහුගේ නොවැදගත්කම ප්‍රකාශ කෙරුණා. ඔහුගේ අනුශාසකයා වෙච්ච චං ලියංට පනවලා තිබුණේ සේවක ආසනය.

    මේ සාදය අතරතුර ලියු පංව මරාදැමිය යුතු බවයි ෆන් ත්සං ගේ අදහස වුණේ. ඉතින් මේ වෙනුවෙන් කඩු නැටුමක්‌ සූදානම් කෙරුණා. කඩු නැටුම වෙනුවෙන් කැඳෙව්වේ ෂියෑං යූ ගේ මස්‌සිනා - ඒ කියන්නේ ෂියෑං චු-අං. ඒ නැටුමට ෂියෑං පෝත් හවුල් වුණා. ෂියෑං පෝ කියලා කියන්නේ ෂියෑං යූ ගේ මාමා. ලියු පං ගැන ෂියෑං පෝ ගේ පැහැදීමක්‌ තිබුණා. ඉතින් නැටුම අතර ෂියෑං චු-අං ගේ කඩුව ලියු පං දිහාවට එල්ලවන වාරයක්‌ පාසා ඒක වළක්‌වන්න ෂියෑං පෝ කටයුතු කළා. තමන් ගේ ප්‍රධානියා අන තුරකට මුහුණු දී සිටින බව චං ලියං තේරුම් ගත්තා. ඉතින් හදිසියේම සාදයෙන් ඉවත් වූ ඔහු අනතුර ගැන ලියු පං ගේ සෙනෙවියාට - ඒ කියන්නේ ෆන් කු-අයිට දැනුම් දුන්නා.

    අනවසරයෙන්ම සාදය තැනට පැමිණි ෆන් කු-අයි තරමක්‌ කෝපයෙන් කතා කරලා ලියු පංට අනතුරක්‌ කරන්න හදන්නේ ඇයි කියලා ෂියෑං යූගෙන් ඇහුවා. ඒ ප්‍රශ්නයට උත්තර නො දීම තමන්ගේ සාදයට එකතු වෙන්න කියලා ෂියෑං යූ ඔහුට ආරාධනා කළා. සාදය නැවතත් ඇරඹුණා.

    ෆන් කු-අයි සම්බන්ධ වුණ හින්දා ආරක්‌ෂිතව එතැනින් ඉවත්වෙන්න පුළුවන් කියන විශ්වාසය ලියු පංට ඇතිවුණා. තමන්ට වැසිකිළියට යැමට උවමනා බව කියපු ලියු පං සාදය පැවැත්වුණු ශාලාවෙන් එළියට ගියා. ඒ එක්‌කම කරුණු පැහැදිළි කරලා ඔහුව අසෙකු පිට නංවාගත්ත ෆන් කු-අයි ඒ භූමියෙන් පළාගියා. ඒ නිසාවෙන් ලියු පං ගේ ජීවිතය බේරුණා. ඒ සමඟ පටන් ඇරගෙන අවුරුදු හතරක්‌ තිස්‌සේ ඇදිලා ගිය ඡූ - හන් බල පොරය අවසන් වුණේ ලියු පං චීනයේ අධිරාජ්‍යයා බවට පත්වීමෙන්. ඉතින් අවශ්‍ය වෙච්ච වෙලාවට පලායනවා කියලා කියන්නේ දුර්වලකමක්‌ නෙවෙයි. ඒකත් ඉතාමත් ප්‍රයෝජනවත් යුද උපක්‍රමයක්‌.

    යොදාගැනීමක්‌

    1940 අවුරුද්දේ මැයි 26 වැනිදා ඉඳලා ජුනි 4 වැනිදා කාලය ඇතුළත මිත්‍ර හමුදා මේ උපක්‍රමය ක්‍රියාත්මක කරලා එංගලන්තයට පසුබැස්‌සා. මේ දවස්‌ අට ඇතුළත තමන් ගේ සෙබළුන් තුන්ලක්‌ෂ තිස්‌ අටදාහකට වඩා වැඩි ප්‍රමාණයක්‌ මුදවාගෙන සටන්බිමෙන් ඉවත් වෙන්න මිත්‍ර හමුදාවලට පුළුවන් වුණා. මේ සිද්ධිය ඉතිහාසයට එකතුවෙලා තියෙන්නේ "ඩන්කර්ක්‌ මුදවාගැනීම" කියලා. මෙය තමන් විසින් කළ හපන්කමක්‌ බවට අදහසක්‌ තම පාර්ශ්වයේ පිරිස්‌ සහ ජනයා තුළ ඇතිකිරීම සඳහා මෙම කාර්යය Ñ"ඩන්කර්ක්‌ ආශ්චර්ය", "ව්‍යසනය තුරුම්පුවක්‌ බවට පෙරැලීම" වගේ විවිධාකාර නම්වලින් හැඳින්වීමටත් මිත්‍ර පාර්ශ්වය කටයුතු කළා.

    ජර්මානු හමුදා පෝලන්තය ආක්‍රමණය කළේ 1939 අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ. ඒ එක්‌කම දෙවැනි ලෝක යුද්ධය පටන් ගත්තා. ප්‍රංශයේ උදව්වට බ්‍රිතාන්‍යයේ විශේෂ කාර්යසාධක බළකාය පිටත්කළා. ඒ අවුරුද්දේ ඔක්‌තෝබර් මාසයේ ඉඳලා ගතවෙච්ච මාස හතකට අඩු කාලය ඇතුළත බෙල්ජියමත් නෙදර්ලන්තය ඇතුළු ප්‍රදේශ ගණනාවක්‌ ම තමන් ගේ ග්‍රහණයට ගන්න ජර්මානු හමුදාවලට පුළුවන් වුණා. 1940 මැයි 10 වැනිදා ජර්මානු හමුදාව ප්‍රංශයත් අල්ලා ගත්තා.

    බ්‍රිතාන්‍යයේ විශේෂ කාර්යසාධක බළකාය රැඳිලා හිටියේ ප්‍රංශයේ වයඹ කෙළවර මුහුදු සීමාවේ තියෙන ඩන්කර්ක්‌ ප්‍රදේශයේ. ඒ හමුදාවලට බැටදෙන අරමුණෙන් විශාල ජර්මානු බල ඇණි තුනක්‌ ඩන්කර්ක්‌ ප්‍රදේශයට පිටත් කෙරුණා. මැයි 21 වැනිදා වෙද්දි ඒ ප්‍රදේශය තුන් පැත්තකින් වටකරන්න ජර්මානු හමුදාවලට පුළුවන් වුණා. විශේෂ කාර්යසාධක හමුදාවට ඉතිරිවෙලා තිබුණු එකම බලාපොරොත්තුව මහ මුහුද විතරයි. ඒ අවස්‌ථාවේ ජර්මානු හමුදාව නවත්තන්න බැරි බව චර්චිල් ඇතුළු බ්‍රිතාන්‍ය නායකයෝ සහසුද්දෙන් ම දැනගෙන හිටියා. ඉතින් කරන්න ඉතිරිවෙලා තිබුණේ එකම එක දෙයයි. ඒ තමයි, ඩන්කර්ක්‌ ප්‍රදේශයේ කොටුවෙලා ඉන්න තමන් ගේ හමුදාව පුළුවන් ඉක්‌මනින් ඉවත් කරගන්න එක.

    මේ වෙද්දි ජර්මානු හමුදාවේ ඉදිරි ගමන නවත්තන්න නියෝගයක්‌ ලැබුණා. මේ නියෝගයේ අර්ථය අදටත් ඉතිහාසඥයන්ට, යුද විශේෂඥයන්ට තෙරුම්ගන්න බෑ. කොහොම වුණත්, ඒ වැඩේ හින්දා තමන්ගේ මුදවා ගැනීමේ මෙහෙයුම සැලසුම් කරගන්න ඉඩක්‌ මිත්‍ර හමුදාවලට ලැබුණා. මැයි 26 වැනිදා වෙද්දි ජර්මානු හමුදා නැවතත් පහරදෙන්න පටන් ගත්තා. ඒ පහරදීම් වළක්‌වලා ජර්මානු හමුදාවල ඉදිරි ගමන කල්දැමීමේ අරමුණෙන් මිත්‍ර හමුදාවල යම් ප්‍රමාණයක්‌ ඩන්කර්ක්‌ සටන පටන් ගත්තා.

    මොන දේ කරන්නත් වැඩි කාලයක්‌ ඉතිරිවෙලා තිබුණේ නෑ. මැයි 26 වැනි දා ඉවත් කරගන්න පුළුවන් වුනේ භටයන් 7669 ක්‌ විතරයි. ඉංග්‍රීසි ඕඩය හරහා භට පිරිස්‌ ඇරගෙන යන්න උවමනා කරන යාත්‍රා ඇති තරමින් තිබුණෙත් නෑ. ඉතින් වෙළෙඳ නැව්, ධීවර යාත්‍රා, පොඩි බෝට්‌ටු වගේ දේවල් විශාල ප්‍රමාණයක්‌ මේ වැඩේට යොදාගන්න බ්‍රිතාන්‍යයට සිද්ධ වුණා. සාමාන්‍ය මිනිස්‌සු පවා ක්‍රියාකාරීව මේ වැඩේට සම්බන්ධ වුණා.

    මේ යුද්ධයේ දී කාර්යසාධක හමුදාවට භටයන් හැට අටදාහක්‌ අහිමිවුණා. තමන් ගේ සියලුම යුද ටැංකි, වාහන, උපකරණ අතහැරලා දාන්නත් ඒ අයට සිද්ධ වුණා. ඉතින් මේක පැහැදිළිවම පලායැමක්‌. නමුත්, මේ පලායැම ඉදිරි ජයග්‍රහණ සඳහා අවශ්‍ය කරන ශක්‌තියක්‌ බවට පත් කරගන්න මිත්‍ර හමුදාවලට පුළුවන් වුණා.
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    දැන් පට්ට කුහකයෙක් උනත් සරත් ෆොන්සේකා කරපු යුද උපක්‍රමත් මරු..විරුද්ධ බලය වැඩි තැනට උපරිම බලය යොදවා පහරදීම...එතකොට පලා යන්න තැනක් නැති වෙනවා වගේම සන්ව්දානය වෙන්නත් බැරි වෙනවා...සැලසුම් සකස් කරන්නත් බැරි වෙනවා..වේගයෙන් යුද්දේ ඉවර කරන්න පුළුවන් උනේ එකයි...ඒ අතින් නම් පට්ට බුවෙක්...දේශපාලනේට ඇවිත් නම් අප්පිරියයි