බුදුරදුන්ට කෙරුණු අවසන් දාන පූජාව සූකර මාංශද?
බුදුරජාණන් වහන්සේට පූජා කළ අවසන් දානය පිළිබඳ විග්‍රහය ඇසුරින් බුදුන් වහන්සේටත් බුදු දහමටත් නිග්‍රහයක් ගොඩනැගීමට උත්සාහ කරන තිබෙන අයුරක් පෙනේ. එය බුදු දහම පිළිබඳ යන්තමින් හෝ හදාරන්නකුට පැහැදිලිව පෙනී යන කරුණකි. අප අසා ඇති සැටියට, දැනගෙන ඇති සැටියට, විවිධ බෞද්ධ පොත්පත්වල විවිධ ආකාරයෙන් මෙකී අවසන් දානය විග්රහ වී ඇත. කෙසේ වූවත් අප සිතන්නේ උකුණු මොළයක් තිබෙන අයකුට වුවත් "මද්දව" මද් - දාව ද්‍රවයක් දියරයක් විනා මාංශයක් නොවන බව පැහැදිලිව පෙනී යන බවය. පාලි භාෂාවෙන් හෝ වේවා, සංස්කෘතයෙන් හෝ එකල ව්‍යවහාරික ප්රාකෘත මාගධි හෝ පැරණි හින්දි භාෂාවලින් හෝ වේවා මාංශයකට "මද්දව" යනුවෙන් පැවසෙන්නේ නැත.
තවද සම්බුදු පියාණන් වහන්සේ බෝධිසත්ව අවදියකදී කෙරුණු මෛත්‍රියෙන් තොර හිංසාකාරී පාපකර්මයක ශේෂ වූ අකුසලයක් පලදීමක් වශයෙන් තමන් වහන්සේට වැළඳුණු අජීර්ණ රෝගී ව්‍යාධියක් සුවපත් වීමට සෝවාන් තත්ත්වයට පත්ව සිටි එනම් සම්මා දිට්ඨ§යට පත්වූ චුන්ද කර්මාර නම් සිටුපුත්‍රයකු අවසන් දානය සඳහා මෙකී සූකර මද්දව බෙහෙත් ද්‍රව්‍ය පූජා කරන්නට ඇත. සූකර මද්දව යනු සූකර (ඌරු) නොවේ. සූකර යනු දිවේ තැබූ සැණින් දිය වී යන අජීර්ණ රෝග කාරකයකට බෙහෙවින් සුවදායක තත්ත්වයක් ඇතිකරන දියර විශේෂයකි. එසේම ආහාරයකි.
මෙවැනි රෝගී තත්ත්වයක් අනුව ඕනෑම අයකුට බඩ අජීර්ණයකට ඝන ආහාර කිසිසේත් සුදුසු නැත. මේ නිසා අවසන් දාන පූජාවට නියම වී සිටි චුන්ද කර්මාර සිටුපුත්‍රයා අවස්ථාවේ සැටියට සුදුසුම දාන වර්ගයක් සකස් කර පූජා කර ඇති බව පෙන්වා දිය හැකිය. එම දාන විශේෂය නිසාවෙන්ම බුදුපියාණන් වහන්සේට කුසිනාරාවට පයින්ම වැඩම කිරීමට හැකිවූ බව මෙහිලා සඳහන් කළ හැකිය. පසුව ලියෑවුණු අටුවාටීකා අනුව එම දානය ඌරුමාංශම නම් සම්බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පාන්නට සිදුවන්නේ එම ස්ථානයේදීමය.
එම දානය අන් භික්ෂූන් වහන්සේලාට නොවැළඳීමට සම්බුදුරදුන් උපදෙස් දුන්නේ එය බෙහෙත් ද්‍රවයක් නිසාත් තමන් වහන්සේගේ රෝගී තත්ත්වයට බෙහෙතක් වූ නිසාත්ය. අන් භික්ෂූන් වහන්සේලාට දානයට චුන්දකර්මාර සිටුපුත්‍රයා අවශ්‍ය තරම් වෙනත් ආහාර ගෙනවුත් තිබිණි.
චුන්ද සූකරයා යනු එකල ඡේතවනාරාමය පිටුපස ඌරන් ඝාතනය කර මස් පිණිස විකිණූ පව්කාරයෙකි. ඔහු මිය ගියේද මරණ වේදනාවෙන් පෙළෙන ඌරන් මෙන් කෑගසමින් සත් දිනක් තිස්සේ පණ අදිමින්ය. මෙසේ මියගිය පව්කාර පුද්ගලයාගේ නම චුන්ද වූ නිසාද සූකර (දිවෙහි දියවන සුළු) යන්න සූකර (ඌරු) යෑයි වෙනස් කරගත් නිසාද, ඌරු මාංශ ලෝලී තෘෂ්ණාභරිත අයවලුන් එකී චුන්දයාගේ නම පටලවාගෙන සම්බුද්ධ පරිනිර්වාණයට බොහෝ කලකට පෙර මියගොස් බුද්ධ දේශනා පරිදිම උඩ වීසි කළ ගල්කැටයක් පොළොවට වැටෙන්නා සේ නිරයට ඇද වැටුණු චුන්ද සූකරයා අවසන් ඌරු දානය ගෙනවුත් පුජාකළ බව අටුවාවල සටහන් කරන්නට ඇත.
බුද්ධ වචනය නිර්වචනය කිරීමේදී වචනයේ පරිසමාප්තියෙන්ම දානයක් යනු සර්ව සාධාරණව ලබාගත් දෙයකි. එය බලයෙන්, වධයෙන්, මරණයකින් කෙලවර කර ලබාගත් දෙයක් විය යුතු නොවේ, ඒවා ඌරු මාංශම යෑයි මොහොතකට සිතමු. එසේ නම් ඌරා කිසිසේත් තම ශරීරය දන් දී නැත. ප්‍රාණඝාතයට අනුබල දීම අනුමත කිරීම පමණක් නොව අන්සතු දෙයක් බලයෙන් වධයෙන් මංකොල්ලයෙන් සොරාගත් දෙයක් නිසා දෙවැනි සිල්පදයද උල්ලංඝනය වී ඇත.
තවද ඌරා යනු ගොඩබිම සිටින අපිරිසිදුම එසේම ඉතා අපවිත්‍ර අශුචි පවා ආහාරයට ගන්නා ප්‍රධානම සත්වයාය. එසේම වැඩිම වේලාවක් දුක්විඳවා මරණයට පත්කරන සත්වයාය. ශරීරය තුළ පනු කොට්ඨාස තිස් ගණනක් ද රෝග කාරක විෂබීජ හතළිස් ගණනක් ද විසිරී ඇති එකම අවසනාවන්ත සත්වයාය. වැඩිම දරුපැටවුන් සංඛ්‍යාවක් බිහිකරන ක්ෂීරපායි වර්ගයට අයත් සත්වයාය. එසේම කිසිදු අයකුගෙන් අභය දානය නොලබන එකම සත්වයාය.
බොහෝ ආගම් දර්ශන අදහන ජනීජනයා ඌරු මාංශ ආහාරයට ගන්නවා තබා දැක්මෙන්ම පිළිකුලෙන් බැහැර කරති. සෞඛ්‍ය තත්ත්වයෙන් ඉතාම පරිහානියට පත් අන්ත අසරණ මෙවන් සත්වයන්ගේ මාංශ උදර අබාධයකින් පෙළෙමින් සිටින තුන්කල් පෙනෙන අසරණ සරණ වූ බුදුවරයකු තබා සාමාන්‍ය අයකු වුවද ආහාරයට ගන්නේ නැත. අනෙක් අතට සූකර මාංශ උදර අජීර්ණවලට අත වනන්නකි.
සත්‍ය වශයෙන්ම චුන්දකර්මාර පුත්‍රයා ඌරු මාංශම පිළියෙල කරගෙන ආවේනම් ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙනි. පසුව අටුවාටිකාවල ලියෑවී ඇති පරිදි ත්‍රිකෝටික පාරිසුද්ධ මාංශ වනුයේ තමන් වහන්සේ වෙනුවෙන් සත්වයා මරනු දැක්කේද නැති, තමන් වෙනුවෙන්ම දැයි අසා දැනගැන්මෙන්ද එසේ නොමැති බවට පිරිසිදු වූ තවද තමන් වෙනුවෙන්ම පිළියෙල කරගෙන ආවේ යෑයි යම් සැකයක් ඇතිවුවහොත් එයින්ද පිරිසිදුවූ කොටින්ම තමන් වහන්සේ වෙනුවෙන් නොවේ යෑයි මෙකී පරීක්ෂණ තුනෙන්ම සමත් වූ පිරිසිදු වූ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශ මම වළඳමි යන්න මෙම අවස්ථාවේදී බුදුපියාණන් වහන්සේම නොසලකා ඇත. මක්නිසාද ඒවා ඌරු මාංශ නම් එය ගෙනවුත් ඇත්තේත් මරා ඇත්තේත් බුදුපියාණන් වහන්සේම වෙනුවෙනි.
ඉහත එම ව්‍යාජ තර්කය අනුව වුවත් ඔවුන්ගේ ත්‍රිකෝටික තර්කය අනුවද සුකර මද්දව ඌරු මාංශ නොවේමය. එම අවසන් දානය ඌරු මාංශ නොවන බවට තවතවත් තර්ක විතර්ක ගෙනහැර පෑ හැකිය. එක් පුද්ගලයකුගේ සිල්පද කඩාගෙන දෙන මළකුණු දානයක් වෙනුවෙන් අසූහතර දහසක් මහා ධර්මස්කන්ධයේ අඩංගු වූ මහා මෛත්‍රිය, මහා බුදු කරුණාව මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ බුදුන් වහන්සේම විනාශයට පත් කළේ කුමන ප්‍රබල හේතුවක් මතද?
පන්සාලිස් වසරක් බුද්ධත්වය ලැබීමෙන් පසුව දෙසා වදාල මහා කරුණාව, අසරණ සරණවීම, සම්බුදු මුවින්ම එක් අයකුගේ දානයක් නිසා වැරදි පූර්වාදර්ශ දී විනාශ කළේ කුමන ප්‍රබල හේතුවක් නිසාද? චතුරාර්ය සත්‍යය දැක්මට, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීමට අටපිරිකරේ ඇති වතුර පෙරා බීමට ඇති පෙරහන්කඩයට පෙනෙන නොපෙනෙන ඉතා කුඩාජීවීන් මියයන නිසා භික්ෂූන්ට වස් විසීම අනුදැන වැදෑරීම ආදිය එක් පුද්ගලයකුගේ දානයක් වෙනුවෙන් අවලංගුතාවට පත්වීද? කිසි සේත්ම නැත.
තවද වෙනත් සිටු පුත්‍රයකු ඉබි, ගෙඹි, තලගොයි, කක්කුටු හෝ ගවමාංශ ද ගෙනවුත් අවසන් දානය වශයෙන් වැළඳීමට ඉල්ලා සිටියානම් බුදුපියාණන් වහන්සේ කුමන පියවරක් ගන්නේද? ප්රශ්නයකි. එසේම තවත් කෙලෙඹි පුත්‍රයෙක් ඔහු විසින් නිපදවූ මත්පැන් භාජනයක් ගෙනවුත් ඌරු මාංශද වැළඳු නිසා ඔහුගේ අවසන් දානය බාරගන්නා ලෙස ඉල්ලුවානම් බුදුපියාණන් වහන්සේ කුමන තීරණයක් ගන්නේ ද යනු ප්‍රශ්න වැලකි.
අනේපිඩු සිටුතුමාණන් බුදුරදුන් ඇතුළු භික්ෂූන් වහන්සේලාගේ දානමාන සඳහා ඌරන් ඇතුළු වෙනත් මාංශ සතුන් ඇතිකළ බවත් කිසිම ග්‍රන්ථයක සඳහන් වන්නේ නැත.
අපගේ උත්තම අනගාරික ධර්මපාලතුමාණන් (දේවමිත්ත ස්ථවිරයන්) මෙම "සූකර මද්දව" නම් හතු විශේෂය ඉන්දියාවේ යම් යම් ප්‍රාන්තවල පොළොවේ සිට අඟල් හයක් යටින් වැඩෙන හතු විශේෂයක් බවත් අජීර්ණ සඳහා ක්ෂණික ප්‍රතිකාර ඖෂධයක් බවත් උන් වහන්සේගේ චරිතාපදානයෙන් පෙන්වා දී ඇත්තේය.
කියන්නා ලියන්නා කෙසේ කීවත් ලීවත් බුද්ධිමතා තීරණය කළ යුත්තේ ඉතා තීක්ෂණ බුද්ධියෙන් සහ සද්ධර්මය පරිදි කාලාම සූත්‍රය අනුව පංචශීලයට හා ආර්ය අශ්ඨාංගික මාර්ගයට අදාල දෙයක් නම් පමණි. ඌරු මාංශ දෙස බැලීම පවා "සම්මා දිට්ඨ§" හරි දැක්මක් නොවේ. ඒවා ආහාරයට වැළඳීම සම්මා වායාමයක් නොවේ. සම්මා සංකප්පයක් ද නොවේ. මාංශ කර්මාන්තය සම්මා කම්මන්තයක් ද නොවේ.
ඉහත සියල්ල අසම්මා හෙවත් මිථ්‍යාදෘෂ්ඨ§ නොවන්නේද? සම්මා සතියෙන් යහපත් සිහියෙන් ඌරාගේ අඳෝනාව, කම්පාව, මරණ බිය වැළඳිය නොහැක්කේ මය. මෙවන් දෑට අනුගත වෙමින් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන්නේ කෙසේද? පරම සුඛාස්වාදය ගෙන දෙන නිවන් මාර්ගයට පිවිසෙන්නේ කෙසේද? සිතීම සැදැහැවත් ඔබට බාරය.
පූජ්‍ය ආචාර්ය බුද්ධගයාවේ
සිසිලචන්ද්‍ර මෛත්‍රිය හිමි
ශ්‍රී ලංකා අවිහිංසාවාදී
භික්ෂු මහා සභාව