ඔබ, ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කරන අයුරු නිවැරැදි ද?
තාථාගතයන් වහන්සේ පිදීම ට සුවඳ මල් ආදිය ගෙන ජේතවනාරාමය වෙත පැමිණෙන සැදැහැතියන් බොහෝ දෙනා ඒවා පිදීම ට තැනක් නැතිකමින් බුදුන් වහන්සේ වැඩසෙන ගඳකිලිය දොරකඩ අසල තම තමන් ගෙන ආ දෙය දමා යන්නට වූ හ. මේ කාරණය අනේපිඬු සිටාණන් දැන ආනන්ද තෙරුන් ට ප්‍රකාශ කළේ ය. ආනන්ද තෙරුන් බුදුන් වහන්සේ කරා එළඹ "ස්වාමීනි, තථාගතයන් වහන්සේ නොමැති කල් හි මේ විහාරය මහජනයා ට පිහිටක් නැති තැනක් වන්නේ ය, මිනිසුන් ට සුවඳ මල් ආදිය ගෙනැවිත් පිදීම ට තැනක් නැත්තේ ය," වශයෙන් බුදුරජාණන් වහන්සේ ට කරුණ දන්වා සිටියේ ය.
එ හි දී භාග්‍යවතුන් වහන්සේ "ආනන්දය, චෛත්‍යය තුනක් ඇත්තේ ය. ශාරීරික, පාරිභෝගික හා උද්දේසික ය යි චෛත්‍යය තුනක් ඇත්තේ ය" යි වදාළ සේක.
"ස්වාමීනි, තථාගතයන් වහන්සේ වැඩසිටිනා කාලයෙ හි චෛත්‍යය කළ හැකි දැ" යි ආනන්ද ස්ථවිරයන් වහන්සේ විචාල හ.
"ආනන්දය, ශාරීරික චෛත්‍යය නො කළ හැකි ය. එය කළ හැකි වන්නේ බුදුන් පිරිනිවී කල් හි ය. උද්දෙසිකය ට ශාරීරික පාරිභෝගික වස්තු නැත. සිතින් ආදරය කිරීම් මාත්‍රයෙන් උද්දේශික චෛත්‍යය වන්නේ ය. බුදුන් විසින් පරිභෝග කළ මහා බෝධි බුදුන් වහන්සේ ඇති කල් හි ත් නැති කල් හි ත් චෛත්‍යයක් ම වන්නේ ය" යි වදාළ සේක. මෙය සඳහන් වන්නේ කාලිංග බෝධි ජාතකයෙ හි ය.
එ ම දේශනාවේ "උද්දෙසිකං අවත්ථුකං මමායන මත්තමෙව හොති" යන පාඨයේ අරුත හරිහැටි තේරුම් නො ගෙන ඇතැම්හු උද්දේසික චෛත්‍යය වස්තුවක් නො වේ ය යි කියති. ආනන්ද ස්ථවිරයන් වහන්සේ වැඳුම් පිදුම් කිරීම ට වස්තුන් විමසූ කල උද්දේසික චෛත්‍යය යනුවෙන් දක්වන ලද්ද වස්තුවක් නො වේ නම් එය නිෂ්ඵල හිස් වචනයකි. බුදුරජාණන් වහන්සේ එබඳු හිස් කතා නො කියන්නා හ. උද්දේසික චෛත්‍යය සිතීම් මාත්‍රයක් පමණක් නම් මෙ හි දී ශාරීරික, පාරිභෝගික චෛත්‍යය දෙක පිළිබඳ ව දක්වා වදාරනවා මිස පලක් නැති ව උද්දේසික චෛත්‍යයක් ගැන නො වදාරන්නා හ.
එ සේ නම් "උද්දෙසිකං අවත්ථුකං" යනුවෙන් හැඳින්වෙන්නේ කුමක් ද? මෙයින් කියවෙන්නේ උද්දෙසිකය ට පාරිභෝගික වස්තු හෝ ධාතුන් නොමැති බව ය. උද්දේසික චෛත්‍යය වස්තුවක් නො වන බව දැක්වීම ට නම් කිව යුත්තේ 'උද්දෙසිකං අවත්ථුකං'කියා නො ව උද්දෙසිකං අවත්ථු' කියා ය. ශරීරයේ කොටසක් වීමෙන් ශාරීරික චෛත්‍යය වේ. පරිභෝග කළ වස්තුවක් වීමෙන් පාරිභෝගික චෛත්‍යය වේ. බුදුන් වහන්සේ ගේ ශ්‍රී දේහය මේ ආකාර ය යි ශ්‍රද්ධාව ඇතිකර ගැනීම උද්දේසික චෛත්‍යය යි.'මමායන මත්තමෙව' මමායන මාත්‍රය ම උද්දේසික චෛත්‍යය යි ගතහොත් එය විහිළුවකි. එ සේ ගතහොත් සිදුවන්නේ උද්දේසික චෛත්‍යය කියා වැඳුම් පිදුම් සිදුකරන්න ට වන්නේ තමා ගේ ම දසිත ට ය. එයින් වන්නේ මහත් අවුලකි.
http://networkedblogs.com/EQuI9
http://www.divaina.com/images/bud15jan/bud17.html
http://nidhuk.blogspot.com/2012/05/blog-post.html