භගු_මහරහතන්_වහන්සේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    භගු_මහරහතන්_වහන්සේ

    කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

    මෙයින් කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර නම් සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. මේ භගු රහතන් වහන්සේ එකල එක්තරා කුල ගෙදරක ඉපදී සිටියා. එදා මහා කාරුණික වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානා දිනය යි. එදින මේ තරුණ කුමාරයා සුවඳැති මල් අතරින් වඩාත්ම සුවඳ වූ දෑසමන් මල් වලින් වියනක් සාදා සම්බුද්ධ දේහයට පූජාවන් පැවැත්වූවා. ඒ චිත්ත ප්‍රසාදයෙනුත්, රැස් කළ පිනේ ආනුභාවයෙනුත් මරණින් මතු නිම්මාණරතී දෙව් ලොව උපත ලැබුවා. ඒ දෙව්ලොව දී නිරන්තරයෙන්ම මේ දිව්‍ය පුත්‍රයාගේ සිරුරට දෑ සමන් මල් වරුසා පතිත වෙනවා. ඒ කළ පිනේ ආනුභාවය නිසාම මිනිස් ලොව උපන් හැම වතාවේම රජ පදවි ලැබුවා. මිනිස් ලොවත් ඔහුට මල් වරුසාවන් වහිනවා.

    කල්ප ලක්ෂයකට පෙර සිදුකළ ඒ දෑ සමන් මල් පූජාවේ අනුහසින් මේ භද්‍ර‍්‍ර කල්පය දක්වාම දුගතියක ඉපදුණේ නැහැ. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වූ යුගයේ ශාක්‍ය රජ කුලයේ උපත ලැබුවා. භගු නම් වූ මේ කුමාරයා රජ සැප විඳිමින් යොවුන් වියට පැමිණුනා. බුදු සසුනේ සිත පහදවා ගත් මේ භගු කුමාරයා අනුරුද්ධ, කිම්බිල ආදී කුමාරවරුන් සමඟින් ගිහිගෙයින් නික්මී බුදුරාජාණන් වහන්සේ සමීපයේ පැවිදි උපසම්පදාව ලබා ගත්තා.

    කෙනෙකුගේ සිත දියුණු කිරීමට බාධා වන කරුණු පහක් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දී වදාළා. ඒ තමයි පංච නීවරණ. 1.කාමයන්ට සිත ඇදීයාම (කාමච්ඡන්දය) 2.තරහා වෛර ඇතිවීම (ව්‍යාපාදය) 3. නිදිමත හා අලස බව (ථීනමිද්ධය) 4. සිත විසිරීම හා පසුතැවීම (උද්ධච්ච කුක්කුච්චය) 5. ධර්මය කෙරෙහි සැකය (විචිකිච්ඡා) යන මේ නීවරණ පහට බුදුරජාණන් වහන්සේ වදාළේ අකුසල රාශිය කියල යි. මේ නීවරණ දුරු කරගෙන සිත දියුණු කරන එක ඉතාමත්ම අපහසු කටයුත්තක්.

    මේ භගු ස්වාමින් වහන්සේත් ථීනමිද්ධය නිසා බලවත් ලෙස පීඩා වින්දා. දවසක් උන්වහන්සේ ‘බාලකලෝනක’ නම් ගමේ වැඩ සිටියා. තමන් වහන්සේගේ කුටිය තුළට වී සමථ විදර්ශනා භවනා වඩන්නට වෙහෙසෙමින් සිටියා. බලවත් නිදිමත නිසා උන්වහන්සේට එය කරගන්න බැරිවුණා. අවසානයේ උන්වහන්සේ කුටියේ එළියට වැඩම කළා. සක්මන් කරමින් භාවනා කරන්නට හිතාගෙන සක්මන් මළුවට ගොඩවුණා. හරිම පුදුමයි. බලවත් නිදිමත නිසා උන්වහන්සේ සක්මනේ ම ඇදගෙන වැටුණා.

    භගු ස්වාමින් වහන්සේ කම්පාවට පත්වුණේ නැහැ. පීඩාවට පත්වුණෙත් නැහැ. ආයමත් නැගිට්ටා. අත පයේ ගෑවුනු වැලි පිස දැම්මා. බලවත් වීර්යයක් හිතට ගත්තා. ආයෙමත් සක්මන් කළා. හරිම අසිරිමත්, උන්වහන්සේ නිදිමත සදහටම දුරු කළා. සියලු ක්ලේෂයනුත් දුරු කළා. ඒ සක්මන් මතම උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා.

    භගු මහරහතන් වහන්සේ ඒ උතුම් අරහත් ඵල සැපය විඳිමින් තමන් වහන්සේගේ කුටියේම සුවසේ වාසය කළා. දවසක් මහා කාරුණික අපගේ ගෞතම බුදු සමිඳාණන් තමන් වහන්සේගේ ළය මඬලින් උපන් භගු රහතන් වහන්සේ හමුවීමට වැඩම කළා. වැඩම කොට භගු මහරහතන් වහන්සේගෙන් මෙසේ විමසා සිටියා. ‘පින්වත් භික්ෂුව, නුඹ අප්‍රමාදීව සසුන් බඹසරේ හැසිරෙන්නේ කොහොම ද? එවිට භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු සැපයීමක් ලෙස භගු රහතන් වහන්සේ මේ උතුම් ගාථාවන් පැවසුවා.

    අහං මිද්ධේන පකතෝ
    විහාරා උපනික්ඛමිං
    වංකමං අභිරූහන්තෝ
    තත්ථේව පපතිං ඡමා

    මම හිටියේ හරිම නිදිමතෙන්. කුටියෙන් එළියට ආවෙත් නිදිමතේම යි. සක්මන් කරන්නට හිතාගෙන මම සක්මන ගොඩවෙද් දී එතනම ඇඳගෙන වැටුණා.

    ගන්තානි පරිමජ්ජිත්වා
    පුනපාරුය්හ වංකමං
    චංකමේ චංකමිං සෝහං
    අජ්ක්‍ධත්තං සුසුමාහිතෝ

    මම ආයෙමත් නැගිට්ටා. අත්පා වල වැලි පිස දැම්මා. සක්මනට ගොඩ වුණා. හිත හදාගෙන සක්මන් කළා. මනාකොට සිත එකඟ කර ගත්තා.

    තතෝ මේ වනසීකාරෝ
    යෝනිසෝ උදපජ්ජථ
    ආදීනවෝ පාතුරහු
    නිබ්බිදා සමතිට්ඨථ

    ඒ තුළින් යෝනිසෝමනසිකාරය ඇතිවුණා. ප්‍රකට වුණේ සංස්කාරයන්ගේ ආදීනවම යි. අවබෝධයෙන් යුතුවම කළකිරීමෙහි සිත පිහිටියා.

    තතෝ චිත්තං විමුච්චි මේ
    පස්ඪ ධම්මසුධම්මතං
    තිස්සෝ විජ්ජා අනුප්පත්තා
    කතං බුද්ධස්ස සාසනං

    මගේ සිත එනිසාම කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. මේ ධර්මයේ ආශ්චර්යය බලන්න. මාත් ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුද්ධ ශාසනය සම්පූර්ණ කර ගත්තා.

    බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට අනුශාසනා කළේ ‘පින්වත් මහණෙනි, මේ ධර්මය තිබෙන්නේ පටන්ගත් වීර්යයෙන් යුක්ත කෙනාට යි. කුසීත කෙනාට නොවේ’ කියල යි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ හැම තිස්සේම වීර්යවන්තයාට ප්‍රශංසා කළා(නාහං භික්ඛවේ අඤ්ඤාං ඒක ධම්මම්පි සමනුපස්සාමි. යේන අනුප්පන්නං වා ථිනමිද්ධං නූප්පජ්ක්‍ධති. උප්පන්නං වා ථිනමිද්ධං පහීයති) පින්වත් මහණෙනි, යම් කරුණකින් මේ නූපන් ථීනමිද්ධය උපදින්නේ නැත්නම්, උපන් ථීනමිද්ධය ප්‍රහීණ වෙලා යනවා නම් එයට මීටත් වඩා උපකාරී වන වෙන එකම දෙයක්වත් මා බුදු නෙතින් දකින්නෙ නැහැ. (යථයිදං භික්ඛවේ ආරම්භධාතු, නික්ඛමධාතු, පරක්ඛමධාතු) ඒ කුමක්ද? යත් පින්වත් මහණෙනි, මේ පටන් ගැනීමේ වීර්යයත්, දිගටම පවත්වා ගැනීමේ වීර්යයත්, දැඩි දියුණු කර ගත් වීර්යයත් තරම්. (ආරද්ධ විරියස්ස භික්ඛවේ අනුප්පන්නං වේව ථීනමිද්ධං නුප්පජ්ජති, උප්පන්නං ච ථීනමිද්ධං පහීයති) පින්වත් මහණෙනි, ඔය අයුරින් පටන්ගත් වීර්යය ඇති කෙනාට නූපන් ථිනමිද්ධය පවා උපදින්නේ නැහැ. උපන් ථීනමිද්ධය වුණත් ප්‍රහීණ වෙලා යනවා.

    ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළේ ‘අනිත් අය නිදිිමතට යටවෙලා හිටියාට කමක් නැහැ. අප නම් නිදිමත දුරු කරනවා කියලා වීර්යයක් ඇතිකර ගන්නයි. අප නම් මේ නිදිමත දුරු කර ගන්නවා කියලා සිතක් උපදවා ගන්න’ කියල යි. භගු මහරහතන් වහන්සේට ඒ විදිහේ වීර්යයක් ඇති කරගන්න පුළුවන් වුණා. ඒ විදිහේ සිතක් උපදවා ගන්න පුළුවන් වුණා.

    බුදුරජාණන් වහන්සේ වදාළා නිදිමතින් පීඩා විඳින කෙනාට ඒ නිදිමත මඟහැරලා යන්නයි පටන්ගත් වීර්යය තියෙන්නේ. නිදිමතින් අලස බවින් පිරිහෙන කෙනාට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නයි පටන්ගත් වීර්යය තියෙන්නේ. නිදිමතින් පීඩා විඳින කෙනාට පිරිනිවන් පෑම පිණිසයි පටන්ගත් වීර්යය තියෙන්නේ. භගු මහරහතන් වහන්සේත් නිදිමත අලස බව මඟ හැරියේ පටන්ගත් වීර්යයෙන්ම යි. ශ්‍රේෂ්ඨත්වයට පත්වුණෙත් පටන්ගත් වීර්යයෙන්ම යි. පිරිනිවන් පාන්න තරම් වාසනාවන්ත වුණෙත් පටන් ගත් වීර්යය නිසාම යි.

    භගු මහ රහතන්වහන්සේ වැනි උතුම් රහතන් වහන්සේලා තමන්ගේ ජීවිත පරිපූර්ණ වශයෙන් සැපවත් කර ගත්තේ බුදුරජාණන් වහන්සේගේ අවවාදය දිවි දෙවෙනි කොට අනුගමනය කළ නිස යි. ධර්මයට අනුවම ජීවත් වුණ නිස යි. ඒ නිසාම භාග්‍යවතුන් වහන්සේගේ කාරුණික අනුශාසනාවට අනුව කටයුතු කරමින් මේ උතුම් ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ ඒ උතුම් රහතන් වහන්සේලා ඒ නිකෙලෙස් බවේ සැපය දකින්නේත් ශ්‍රී සද්ධර්මයේම ආශ්චර්යයක් ලෙස යි. සැබැවින්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පවා තම ආචාර්ය තනතුරේ තබා ගත්තේත් මේ ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය යි.

    එනිසා අප හැම දෙනාත් ඒ ශ්‍රී සද්ධර්මය ගැනම සිත පහදවා ගනිමු. ඒ ශ්‍රී සද්ධර්මය සම්පූර්ණයෙන්ම අවබෝධ කළ උතුම් රහතන් වහන්සේලා ගැන සිත පහදවා ගනිමු. තුන් ලෝකයටම මේ ශ්‍රී සද්ධර්මය පෙන්වා දී වදාළ ගෞතම බුදුරජාණන් වහන්සේ ගැනත් අප සිත පහදවා ගනිමු.

    ඔබ සැමට තෙරුවන් සරණයි..
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    බම්ප්.... වටිනවා ++
    You have given out too much Reputation in the last 24 hours, try again later.