භද්දිය ලිච්ඡවි සූත්‍රය

hpalpola

Well-known member
  • පසුගිය කාලේ අහන්න දකින්න ලැබුන දේවල් එක්ක මේ ටික ලියන්න හිතුනා.

    ඉතා මෑතකදී අහන්න ලැබුනා [⁣මේක ඇත්තක් ද බොරුවක්ද දන්නෙ නැහැ, ප්‍රවෘත්ති වලින් තමයි ඇහුනෙ] එක්තරා පුද්ගලයෙක් නිවන් දකින්න සියදිවි නසා ගන්න කියලා දේශනා කරලා ඒ අනුව ඔහු ඇතුළු කීප දෙනෙක් සියදිවි නසා ගෙන කියලා. තවත් චීවරධාරියෙක් [වවන්න, උයන්න, වෙළඳාම් කරන්න උගන්වන] මහනායක ස්වාමීන්වහන්සේලා ලඟ සමාව ගන්නවා මන් කරපු දේශනා කලේ මේ පොත බලාගෙනයි කියලා. ඒ ඇත්තට මහනායක ස්වාමීන්වහන්සේලා අවසාන අවවාදාත්මක අවස්ථාව දෙනවා. තව රහත්වුනා යැයි කියන චීවරධාරියෙක් බුදුරජාණන්වහන්සේ ලංකාවේ ඉපදුනා කියලා බණයැයි කියන කතා පවත්වනවා. මේ වගේ නානාප්‍රකාර බහුරු කෝලං දැන් අපිට අහන්න දකින්න ලැබෙනවා. වැඩේ තියෙන්නෙ මේවත් එක්ක බෞද්ධයි කියන ඇත්තො ආතපාත නැති වෙලා. ඇයි ඉතින් මොකක් හරිද මොකක් වැරදිද කියලා හිතා ගන්න බැහැනෙ.

    ඇත්තටම අද හුඟාක් අයට මන් කිව්වෙ බෞද්ධයන්ට හිතා ගන්න බැහැ මොකක්ද බුදුරජාණන්වහන්සේ දේශනාකලේ මොකක්ද බුදුරජාණන්වහන්සේ දේශනා නොකලෙ කියලා. ඒ තැනට එනකම් බුද්ධ දේශනාව අරන් එන්න වත්මන් දේශකයො සමත් වෙලා තියෙනවා. මේ වගේ කාලයකදි බොහොම වටිනා දේශනයක් තමයි අංගුතතර නිකායේ චතුක්ක නිපාතයේ මහාවග්ගයේ භද්දිය ලිච්ඡවි සූත්‍රය.

    මේ සූත්‍රය භද්දිය කියන ලිච්ඡවි රජතුමාට බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නෙ රජු විසින් අහන ප්‍රශ්නයකට උත්තර විදියට. ප්‍රශ්නෙ මේකයි. අන්‍යාගාමිකයො බුදුරජාණන්වහන්සේගේ පැත්තට හරෝගන්න මන්තරයක් බුදුරජාණන්වහන්සේ දන්නව කියලා අහන්න ලැබෙනවා, එහෙම මන්තරයක් බුදුරජාණන්වහන්සේ දන්නවා කියන කතාව හැබෑවක් ද කියන එක. මේ ප්‍රශ්නයට මුලින් බුදුරජාණන්වහන්සේ මෙහෙම දේශනා කරනවා.

    "ඇසූ පමණකින් පිළිනොගනුව. පරම්පරාවෙන් ආ පමණකින් පිළිනොගනුව. මෙය මෙය මෙසේයයි නොගනුව. පිටකය හා සමයයිද නොගනුව. තර්‍කයෙන්ද නොගනුව. න්‍යායයෙන්ද නොගනුව. හැඩහුරුකම (සමාන බව පෙනෙන) හොඳ නිසාත් නොගනුව. අපගේ දාෂ්ටියට සමයයි කියාද නොගනුව. හොඳ තැනැත්තාගේයයි කියාද නොගනුව. ශ්‍රමණයන් වහන්සේ අපේ ගුරුවරයායයිද නොගනුව.

    භද්දියෙනි, යම් කලක තොපට මේ ධර්‍මයෝ අකුශලය, මේ ධර්‍මයෝ වරදය, මේ ධර්‍මයෝ ඤාණවන්තයන් විසින් ගර්‍හා කරණ ලද්දාහ. මේ ධර්‍මයෝ සම්පූර්‍ණ කරණ ලද්දාහු, සමාදන් වන ලද්දාහු, අහිත පිණිස, දුක් පිණිස පවතිත්යයි යම් කලෙක තොප තමන්ම දන්නහු නම්, ඉක්බිති භද්දිය, තොපම අත්හරිව්."

    ඉන්පස්සෙ බුදුරජාණන්වහන්සේ භද්දිය රජුගෙන් අහනවා ලෝභය, ද්වේශය සහ මෝහය කුසල් ද අකුසල් ද වරද සහිත ද නිවැරදි ද කියලා. භද්දිය කියන ඒවා අකුසල්, වරද සහිතයි කියලා. ඊලඟට අහනවා ඒවා ප්‍රඥාවන්තයෝ හොඳයි කියලා තියෙනවා ද නැත්නම් නරකයි කියලා තියෙනවද, ඒවා හිත සුව පිණිස පවතිනවද නැත්නම් අහිත පිණිස පවතිනවද කියලා. භද්දිය උත්තර දෙනවා ඒවා ප්‍රඥාවන්තයො නරකයි කියලා තියෙන අහිත පිණිස පවතින දේවල් කියලා. ඒ උත්තර දෙන භද්දියට බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා "භද්දිය, තොප යම් කලෙක මේ ධර්‍මයෝ කුසල්ය. මේ ධර්‍මයෝ නිවරදය. මේ ධර්‍මයෝ ඤාණවන්තයන් විසින් ප්‍රශස්තයයි. මේ ධර්‍මයෝ සම්පූර්‍ණ කරණ ලද්දාහු, සමාදන්වන ලද්දාහු, හිත පිණිස, සුව පිණිස පවතිත්යයි තමා විසින්ම දන්නහු නම්, භද්දිය, තොප නැවත පැමිණ වාසය කරව්." කියලා.

    තවදුරටත් බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා "භද්දිය, මේ ලෝකයෙහි යම් ශාන්ත සත්පුරුෂ කෙනෙක් ඇද්ද? ඔවුහු, ‘එම්බා පුරුෂය, මෙහි එව, ලෝභය යටපත්කර වාසය කරව. ලෝභය යටපත්කර වාසය කරන්නේ කයින්, වචසින්, මනසින්, ලෝභයෙන් උපන් කම් නොකරන්නෙහිය. ද්වේෂය
    යටපත්කර වාසය කරන්නේය. ද්වේෂය යටපත්කර වාසය කරන්නේ කයින්, වචසින්, මනසින්, ද්වේෂයෙන් උපන් කර්ම නොකරන්නේය. මෝහය යටපත්කර වාසය කරන්නේය. මෝහය යටපත්කර වාසය කරන්නේ කයින්, වචසින්, මනසින්, මෝහයෙන් උපන් කර්ම නොකරන්නේය. එකට එක කිරීම යටපත්කර වසන්නේය. එකට එක කිරීම යටපත්කර වසන්නේ, කයින්, වචසින්, මනසින්, කරන්තුතරිය කර්ම නොකරන්නේයයි මෙසේ සමාදන් කරවත්." කියලා.

    භද්දිය මේ දේශනාව අහලා සතුටු වෙලා උපාසකයෙක් විදියට පිළිගන්න කියලා බුදුරජාණන්වහන්සේගෙන් ඉල්ලනවා. එවෙලේ අහනවා භද්දියගෙන් මම දැන් මායාවක් කලාද කියලා. අන්න එතකොට භද්දිය කියනවා එහෙම මායාවක් කලත් ඒක හොඳයි, යහපත පිණිසම පවතින මායාවක් කියලා.

    ඉතින් මේ සූත්‍රය ඇයි අද වැදගත් වෙන්නෙ. එක එක චීවරධාරියො නැත්නම් ගිහි ඇත්තො කියන දේවල් අහලා මොලේ කොලොප්පම් කරගන්නවට වඩා ඒ දේවල් ඇහුවම බුදුරජාණන්වහන්සේ මේ සූත්‍රයෙ දේශනා කරලා තියෙන විදියට තමුන් විසින් ම කල්පනා කරලා බලන්න. ඒ බලලා තමුන්ට ලෝභ ද්වේශ මෝහ වැඩෙන දේවල් නම් එයාලා දේශනා කරන්නෙ ඒ දේවල් වලින් වැලකෙන්න පුළුවන්. දැන් නිදසුනකට ලංකාවේ බුදුරජාණන්වහන්සේ උපන්නා කියන චීවරධාරියාගේ ඒ කතාවම අරන් බලන්න. මේ සූත්‍රයෙ ම භද්දිය ලිච්ඡවි රජු බුදුරජාණන්වහන්සේගෙන් අහන්නෙ අන්‍ය තීර්ථකයො නැත්නම් අන්‍යාගමිකයො බුදුරජාණන්වහන්සේගේ පැත්තට හරෝගන්න මායාවක් ගැන. එතකොට ම කියවෙනවා අන්‍ය තීර්ථකයො බුදුරජාණන්වහන්සේගේ කාලයේ ඒ අසල හිටියා කියලා. මේ කියන්නෙ නිඝණ්ඨනාථ පුත්ත ඇතුළු ෂඩ් ශාස්තෘවරුන් ගැන. බුදුරජාණන්වහන්සේ ලංකාවේ ඉඳියනම් මේ අන්‍ය තීර්ථකයොත් ලංකාවේ ඉන්න එපැයි. අන්‍ය තීර්ථකයො ගැන ඉන්දියාවෙන් අහන්න ලැබෙනවා මිසක් [සාක්ෂි සහිතව] ලංකාවෙන් එහෙම අහන්න ලැබෙන්නෙ නැහැ. එතකොට මොළේ තියෙන කෙනෙක් දන්නවා බුදුරජාණන්වහන්සේ ලංකාවෙද ඉඳියෙ ඉන්දියාවෙද ඉඳියෙ කියලා. ඉතින් ඒ චීවරධාරියාගේ දේශනාව අහන කෙනාට වැඩෙන්නෙ මෝහය ද අමෝහය ද කියලා එතකොට මේ සූත්‍රය දන්න කෙනාට හිතා ගතෑකි. තව නිදසුනකට සියදිවි නසා ගෙන නිවන් දකින්න උගන්නන කෙනාගේ කතා අහන කෙනෙක්ට හිතන්න පුළුවන් ඒ කතාව ද්වේශය, මෝහය වඩන කතාවක් ද අද්වේශ
    ය අමෝහය වැඩෙන කතාවක් ද කියලා. ජීවත් වෙලා මිසක් මැරිලා නිවන් දකින්න බැරි බව ඕනෑ පොඩි එකෙක් දන්නවානේ. ඒ නිසා සියදිවි නසා ගැනීම කිසිම ප්‍රඥාවන්තයෙක් අනුමත කරන්නෙ නෑ. ඉතින් තමුන්ට ම තමුන් කල යුතු නොකළ යුතු දේ ගැන තේරුම් ගන්න මේ සූත්‍රය ට අනුව පුළුවන්. මන් මේ සටහන් කලේ නිදසුන් දෙකක් විතරයි.

    ඉතින් කැමැති අයට පුළුවන් මේ සූත්‍රය වගේම ත්‍රිපිටකයේ තියෙන අනෙකුත් සූත්‍රත් කියවලා නොයෙක් වේශයෙන් ඇවිත් බුද්ධ ධර්මය විකෘති කරන මිනිස්සුන්ගෙ බොරු පච වලට අහු නොවී තමුන්ගේ දියුණුව සලසා ගන්න. ඒ සඳහා හැමෝටම හැකියාව ලැබේවා කියලා අළුත් අවුරුද්දෙ ප්‍රාර්ථනා කරනවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,203
    67,551
    113
    Karanna amaruine sinhalu ekka.gematamane enne.ekata eka kare nattan puketh ariy