සතියකින් පමණ පසු මට සමාධිගෙන් ලියුමක් ලැබුණි. ඉන් ඇගේ පන්ති පාලිකාවගේ උපන්දින සාදයට සහභාගී වන ලෙස ඇරයුමකි.
“කිලාස් එකේ ළමයි ඔක්කොම බර්ත්ඩේ පාටි ඒකට එනවා. මිස් විනීතා අඳුනන එයාලගේ බෝයි ෆ්රෙීන්ඩ්ලත් එනවා ඔයත් එනවා නේද? ඔයා ආවේ නැත්තම් මට තනියම ඉන්න අනිත් ලවර්ස්ලා දිහා බලාගෙන ඉන්න වෙන්නේ”
හරියටම එදිනව තාත්තාගේ නඩුවද ගම්පහා උසාවියේ අසයි. එදින නිකමට හෝ උසාවියට යෑම මාගේ යුතුකමකි. නමුත් මම සමාධිගේ ආදරය හමුවේ අසරණ වෙමි. මට ශක්තියක් නැත. මම ඉබේම නතරවන්නේ සමාධිගේ පැත්තමය .
“හෙට උදේ කොළඹ යන්න වෙලා” රෑ කෑම අතරතුර මම කීවෙමි.
“හෙටනෙ පුතේ තාත්තාගේ නඩුව”
“ඇයි අයියේ හදිසියේ යන්නේ?” නංගි අසයි.
“නොගිහින් බැරි වැඩක්”.
උදෙන්ම අම්මාත්, තාත්තාත් උසාවි යාමට පිටත් වූ පසු මම දිය නාගෙන හැද පැලඳ ගනිමි.
“අයියා කවද්ද එන්නේ?’ නංගි අසයි.
“අදම එනවා”
“නඩුවට මක් වෙයිද දන්නේ නෑ” ඇය දුක්මුසුව කියයි.
කිසිවක් නොකියාම බිම බලාගෙන මම ගෙදරින් පිටවුනෙමි. ඒ බර්ත්ඩේ පාටියට සහභාගී වීමටය.