ස්වභාවික විපතක් සිදුව යන්තම් යහපත් තත්ත්වයට රට පත්වෙමින් පවතී. ජාතී, ආගම් භේදයකින් තොරව මිනිසුන් ඇතුළු සත්ත්වයින් ආපදාවට ලක් වූ අවස්ථාවකි ගෙවෙන්නේ. එහි ප්රතිඵල ලෙසින් ලංකාව පුරා දුක පැතිර ගොසිනි. මෙවැනි විපත් අවස්ථාවලදී මිනිසුන්ට නොයකුත් අත්දැකීම් ලැබිය හැකි අතර එවැනි එක් අත්දැකීමකි, ජාති, ආගම් භේදයකින් තොරව දුක විඳින්නට ලැබීම. සිංහල, දමිළ, මුස්ලිම් සියල්ලන්ටම දුක දැනෙයි. එය දැනෙන්නේත් එකම ආකාරයට ය. එවැනි දුකක් ඇති වීමට හේතුව කුමක්ද යන්න නොයෙක් විද්වතුන් පවසා ඇත. බහුතර මතය වන්නේ දේව කැමත්ත නැත්නම් මැවුම්කරුවාගේ කැමැත්ත එය බවයි. තමන් විසින් මවනු ලැබූ විෂයවස්තුව දුකට පත්වෙනවා දැකීම කැමැත්ත කර ගත් මැවුම්කරුවකුගෙන් ඇති ඵලය කිම. දෙමාපියන් දරුවකු වදන්නේ, හදන්නේ දුක් දෙන්නට නොවේ. දෙමාපියන් දුක් වින්ද ද දරුවන් එක් අඩියකින් හෝ තමන්ට වඩා සැප විඳිනු ඇතැයි ඔවුහු සිතති. ඒත් පෙර කී මැවුම්කරුනම් පුදුම සහගතය. බුදුරජාණන්වහන්සේ දුක ගැන අරුත්බර වදන් දෙසා ඇත. ස්වභාවික විපත් ඇති වීමට නොයෙක් හේතු බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇත. සියල්ල කර්මය නිසාම සිදු වන්නේත් නොවේ. එවැනි විපත් නිසා ප්රියයෝ වෙන් වෙති. ප්රිය කල වස්තු සුන්ව යයි. ඇස් මෙන් රැකි දූ දරුවෝ පස් කන්දට වැලලී ගොසිනි. උකුලේ හෙවූ දෙමාපියෝ ගං වතුරට යට වී ඇති සෙයකි. ඔවුන්ගේ නැතිවීමෙන් දුක දැනෙන්නේ ඔවුන් කෙරේ ඇති බැඳීම නිසාවෙනි. මේ බැඳීම සෑම ආගමකම අනුගාමිකයන් ට ඇත. සමහර පිරිසක් අදේවවාදීන් ලෙසින් තමන්ව හඳුන්වා ගනී. ඔවුන්ට ද දුක දැනේ. ඔවුන් ද හඬයි. බැඳීම් නිසා දුක හට ගන්නා බව මිනිසුන්ට පැහැදිලි කර දුන් එකම ගුරුවරයා තිලෝගුරු සම්මා සම්බුදුරජාණන්වහන්සේ ය. අනෙක් ගුරුවරුන් ද මේ දුක දැක්කත් ඉන් ගැලවෙන මාර්ගයක් පෙන්වා දීමට තරම් උනන්දු නොවිනි. නමුත් බුදුරජාණන්වහන්සේ එසේ නොවේ. දුකින් මිදීමේ මාර්ගය දැන දුකින් මිදීමට උත්සාහ කරන්නවුන්ට ද එ් මාර්ගය පෙන්වා දීමට තරම් බුදුරජාණන්වහන්සේ පරාර්ථකාමී විය. අනෙකුත් ගුරුවරුන්ගෙන් අපගේ ගුරු සම්මා සම්බුදුරජාණන්වහන්සේ වෙනස්වන ප්රකට ගුණයකි එය. ඉතින් මේ බැඳීම් නිසා ඇති වන දුක නැති කිරීමට ක්රමයක් වෙනත් තැනකදී දැකීමට නොහැක. දුක නැති කිරීමේ පිලිවෙල දැකිය හැකි එකම ශාසනය බුදු සසුනයි. බැඳීම් ඇති වේ. බැඳීම් පවතී. බැඳීම් නැති වේ. මේ සැබෑව හඳුනමින් බැඳීම් පවත්වාගෙන යෑම වීර්යය සහ අධිෂ්ඨාන පාරමිතා සම්පූර්ණ කිරීමට උත්සාහ නොකරන පෘථග්ජනයෙක්ට අපහසු වන්නට හැක. නමුත් බුදුරජාණන්වහන්සේ දෙසූ මග ගමන් කරන බුදුරජාණන්වහන්සේ දෙසූ ධර්මයේ හැසිරෙන්නකුට එය අපහසු කරුණක් නොවේ.