source lakbima
මාතර මහ නගර සභාව ඉදිරිපිට දී රනිල් විරෝධි පෙළපාලියට වෙඩි තබා පොලුවලින් පහර දී පන්නා දැමීමෙන් පසු මැර කණ්ඩායම මාතර උයන්වත්ත ක්‍රිඩාංගනයේ නවතා තිබූ පෞද්ගලික බස් රථයකට නැග පිටත් වී ගොස් තිබේ. පුද්ගලික බස් රිය හබරාදූව හරහා ඉමදූව,ගාල්ල දක්වා ධාවනය කරන බස් රියක් බව හඳුනා ගෙන තිබේ. මෙම බස් රථයට මැර කල්ලිය සමග පැමිණ ඇත්තේ හබරාදූව ප්‍රදේශයේ එජාප බලවතෙක් බව ඇසින් දුටුවෝ පවසති. බස් රියේ අංකයද ඔවුන් සතුව ඇත. කොළ පැහැති කමිසයකින් සහ ඳුඹුරු පැහැති කලිසමකින් සැරසී සිටි එජාප බලවතා අනතුරුව පිරිස රැගෙන පිට වී ගොස් තිබේ.
මේ අතර විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කළේ පිරිසක් 04 වැනිදා රාත්‍රියේ කඹුරුපිටිය පිහිටි පළාත් සභා මන්ත්‍රිවරයකුට අයත් හෝටලයක ලැඟුම් ගත් බවයි. අද (05) උදේ ඔවුන් මාතර නගරය බලා පිටත් වී ගොස් ඇත. මෙම පිරිස කොළඹ සිට පැමිණි කණ්ඩායමක් බවත්, මාතර ප්‍රහාරය පිටුපස මොවුන් සිටින බව විශ්වාස බවත් ආරංචි මාර්ග කියයි. මෛත්‍රි ගුණරත්න මහතාගේ පුත්‍රයා වන චරිතගේ හිසට පොලු පහර එල්ල කර ඇත්තේ අකුරැස්සේ පදිංචි එජාප පාක්ෂිකයකුගේ සොහොයුරෙක් බව හඳුනා ගෙන තිබේ.
මේ අතර මෛත්‍රි ගුණරත්න මහතාගේ පියා වන හර්මන් ගුණරත්න නැමැති අය ලේ පෙරෙන තුවාල සහිතව මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයා රැඳී සිට ඇත්තේ මාතර මහ නගර සභාවට නුදුරින් පිහිටි දොඩම් අලෙවි කරන වෙළෙඳසල් අසලය. වෙඩි ප්‍රහාරය පෙළපාලිකරුවන් වෙත එල්ල වී ඇත්තේ ඒ දෙසින් යැයි පැවසේ. වෙඩි ප්‍රහාරයෙන් නගර සභාවේ ඕවර්සියර්වරයකු වන ඩබ්.ඒ. දිලුම් පද්මසිරි නැමැති අය තුවාල ලබා ඇද වැටෙද්දී නගර සභා සේවකයින්ගේ සැකය එල්ල වී ඇත්තේ හර්මන් ගුණරත්න දෙසටයි. ඒ අනුව ඔහු වටකර ගත් නගර සභා සේවකයින් ඔහුට පොලුවලින් හොඳහැටි පහර දි ඇත. අනතුරුව මාතර පොලිසියේ නිලධාරින්ට සැකකරුවා භාර දී තිබේ. ඒ අනුව අත්අඩංගුවට ගත් හර්මන් ගුණරත්න නැමැත්තා පොලිස් ආරක්ෂාව මැද මාතර රෝහලේ ප්‍රතිකාර ලබයි.