ඇත්ත වශයෙන්ම මෙය ඉතා කණගාටුදායක තත්ත්වයක්. රටට සේවයක් ලබාදීමට හැකියාවක් සහ වාසනාවක් ඇති මෙවැනි මහත්වරුන් තුළ පසුගාමී අදහස් ජනිත කරවන ප්‍රතිචාරයක් ජනතාව තුළින් ප්රකාශවීම රටේ අවාසනාවක්.
එතුමා දක්වන අදහස එකවරම බැහැර කරන්නට බැරුවා සේම ඊට ඌණපූරණයක් එක් කරන්නටද සිදුවෙනවා. එනම් ජනතාව සියළුම දූෂිතයන් ප්‍රතික්ෂේප නොකළාට දූෂිතයන් සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රතික්ෂේප කර තිබෙනවා මනාප ලබා නොදීමෙන්.
ඔවුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගත කර අමාත්‍යධුර ලබාදීම සිරිසේන-රනිල් යහ පාලනයට තරම් වන්නේ නැහැ. මෙතුමා දක්වන කරුණට ජනතාව පමණක් නොව එම දෙපල ද සෘජුවම සාපේක්ෂව අති විශාල වගකීමක් දරණවා.
එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂිත මන්ත්‍රී ආසන සංඛ්‍යාවට වඩා අතිශය අඩු ආසන සංඛ්‍යාවක් හිමිකර ගැනීම පිළිබඳ හැඟීමක් ද මේ සමස්ත ප්‍රකාශය තුළ තිබෙනවා. ඇත්තෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ආසන 15කට අධික සංඛ්‍යාවක් හිමි කරගන්නට සෑහෙන ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිතැ‘යි අපේක්ෂා කළ ජනතාවගෙන් අඩක් ජනතා විමුක්ති පෙරමුණට තම ඡන්දය ප්‍රකාශ කළේනම් ආසන 15ක් නොව ආසන 40කට ආසන්න සංඛ්‍යාවක් ලබා ගතහැකිව තිබුණා.
නමුත් ජනතාව තම ඡන්දය ප්‍රකාශ කර තිබෙන්නේ ආඬි හත්දෙනා කැඳ හැළියට හාල්මිටි දැමූ අයුරිනුයි. හැම දෙනාම අන් අය ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ප්‍රකාශ කරතැ‘යි සිතමින් තම ඡන්දය විකල්ප පක්ෂ වලට ලබා දෙමින් ජනතාව ආඬි ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබෙන බව කියන්නේ සංවේගයෙන්.
මෙහිදී අසූව දශකයේ මා උසස් පෙළ සිසුවකුව සිටි අවදියේ කොමියුනිස්ට් වාදියකු සහ ජාතික ගුරු සංගමයේ නායකයකු වූ සිංහල ගුරුවරයා කරුණාරත්න සර් නිතර කියූ වැකියක් මට මතක් වෙනවා. “සමාජය ජඩයි ලමයිනේ“ ඔහු නිතර අපට කීවා. එතැන් සිට අවුරුදු හතළිහක් පමණ ගතවී ඇති අදට ඒ කතාව එදාට වැඩිය ගැලපෙනවා. අදත් සමාජය ආත්මාර්ථකාමීයි, ජඩයි.
කෙසේ වෙතත් සතුටුදායක දේශපාලන වාතාවරණයක් නිර්මාණය වෙමින් පවතින බවයි මගේ හැඟීම. එය බොහෝදෙනා සිතන පරිදි සමඟි සම්පන්න ජාතික ආණ්ඩුවක්, යහ පාලනයක් ඇතිවීම හෝ ද්‍රවිඩ සංධානයට විපක්ෂ නායකත්වය හිමිවීම නිසා රාජ්‍යයේ ඒකීයත්වයේ සුබදායක වෙනසක් ඇතිවීම නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණ ලාංකීය දේශපාලන ප්රවාහයේ ද්වීතීය නැතහොත් රජයට විකල්ප බලවේගය බවට පත්වන එකයි.
කිසිවකුට නොදැනුනාට දැනටමත් මේ පරිවර්තනය ආරම්භ වෙලයි තියෙන්නෙ. අද ද්‍රවිඩ සංධානයේ සම්බන්දන් මහතා විපක්ෂ නායක තනතුරේ සිටියත් ඉදිරි කාලයේ දී සමස්ත ශ්‍රී ලංකාවටම ජාතික වශයෙන් බලපාන ප්‍රශ්න වලදී විපක්ෂයේ නිවැරදි කාර්යභාරය කරන්න වෙන්නෙ ජනතා විමුක්ති පෙරමුණටයි. නිදහස් සංධානයේ විපක්ෂ බලය ටිකෙන් ටික දියාරුවෙවී ආණ්ඩුවට එකතුවේවි. එවිට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ආසන 6 ට විපක්ෂයේ දැවැන්ත කාර්යභාරයක් කරන්නට ඉතිරි වේවි.
අනාගතේදි එජනිස එජාපෙ දෙක ආයෙ වෙන් වෙනව බොරු. වුනත් බොහොම සුළු පිරිසක් වෙන්වෙයි. වෙන් වන්න ඔවුන්ට වුවමනා වුවත් බලය සම්බන්ධ යම් යම් සාධක නිසා එක්ව කටයුතු කරන්නට වෙනව. එහිදී ඊයෙ වගේ නොවී ජනතාවගෙන් ඔවුන් ප්‍රතික්ෂේප වෙනව. ජනතා විමුක්ති පෙරමුණ මේ වෙලාවේ සීරුවෙනුත් ඉවසීමෙනුත් කටයුතු කරන්න ඕනැ පහුගිය කාලෙ වගේ න්‍යායාත්මක මතභේද නිර්මාණය කරගන්නෙ නැතුව ඒ අවදිය බිහි වනතුරු.