මේ අසිරිමත් දේශනාව දේශනා කරන කාලයේ මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ වැඩ සිටියේ භග්ග ජනපදයේ සුංසුමාගිර නගරයේ, මුවන්ගේ අභයභූමියක් වූ භේසකලාවනයේ. එදා මුගලන් මහරහතන් වහන්සේ එළිමහනේ සක්මන් කරමිනුයි හිටියේ.
ඒ වෙලාවේ පාපී මාරයා මහරහතන් වහන්සේගේ කුස තුළට රිංගුවා. එවිට මුගලන් මහරහතන් වහන්සේට මෙබදු අදහසක් ඇති වුණා. මොකද අද මගේ කුසට මහා ලෝකු බරක් දැනේන්නේ මෑ ඇට පුරවපු මල්ලක් වගේ. ඉන් පසු සක්මන් කිරීම නවතා තම ශරීරය ගැන නුවණින් විමසා බලන මහරහතන් වහන්සේට තම බඩ ඇතුළට පිවිසුණු පාපී මාරයාව දැක ගන්නට ලැබුණා. පාපී මාරයාට මහරහතන් වහන්සේ මෙහෙම කීවා.
ඒයි මාරය එළියට පැමිණෙව තථාගතයන් වහන්සේට පීඩා කරන්නට එපා. තථාගත ශ්‍රාවකයන්ටත් පීඩා කරන්නට එපා. ඔබට බොහෝ කලක් දුක් විදින්න සිද්ධවෙනවා.
එවිට පාපී මාරයාට මෙහෙම හිතුණා. මේ ශ්‍රමණයා මාව දැකලා නො වෙයි මෙහෙම කියන්නේ ඒයි මාරය එළියට පැමිණෙව. තථාගතයන් වහන්සේට පීඩා කරන්නට එපා. තථාගත ශ්‍රාවකයන්ටත් පීඩා කරන්නට එපා. ඔබට බොහෝ කලක් දුක් විදින්න සිද්ධ වෙනවා කියලා.
නැවත වරක් මාරයා මේ විදියටත් සිතන්න පටන් ගත්තා. මේ ශ්‍රමණයාගේ ඒ ශාස්තෘන් වහන්සේ පවා මාව ඉක්මනට හදුනාගන්නේ නැ. ඉතින් එහෙම එකේ මේ ශ්‍රමණයා මාව හදුනා ගන්නේ කොහොමද?
නැවත වරක් මහරහතන් වහන්සේ මාරයාට මෙහෙම කීවා.
ඒයි පාපී මාරය මෙතන ඉන්න ඔබව මම දන්නවා. ඔබ හිතන්න එපා මම නුඹව දනන්නේ නැ කියලා. ඔබ තමයි පවිටු මාරයා. පවිටු මාරය ඔබ මේ විදියටත් හිතුවා නේද? මේ ශ්‍රමණයා මා දැකලා හො දැනගන හෝ නොවෙයි මෙහෙම කියන්නේ කියලා. ඒයි මාරය එළියට පැමිණෙව. තථාගතයන් වහන්සේට පීඩා කරන්නට එපා. තථාගත ශ්‍රාවකයන්ටත් පීඩා කරන්නට එපා. ඔබට බොහෝ කලක් දුක් විදින්න සිද්ධ වෙනවා.
මේ ශ්‍රමණයා නම් මාව දැකලා ම යි මෙහෙම කියන්නේ. මෙහෙම සිතන ලද මාරයා ඉන් පසු මුගලන් මහරහතන් වහන්සේගේ මුඛයෙන් එළියට ආවා. කුටියේ දොරකඩ හිට ගත්තා. මාරයාව හඳුනා ගත් මුගලන් මහරහතන් වහන්සේ මෙසේ කීවා.
පාපී මාරය ඔතන ඉන්න ඔබවත් මට පේනවා මට ඔබව පේන්නේ නැ කියලා හිතන්න එපා. පාපී මාරය ඔබ දැන් ඔය දොරකඩ නොවැ හිටගෙන ඉන්නේ. ඒයි මාරය ඉස්සර සිද්ධ වෙච්ච දෙයක් කියන්නම්.
මමත් හිටියා දුසී කියන මාරයා වෙලා. මගේ සහෝදරියක් හිටියා කාලී කියලා. ඔබ ඇගේ පුතා. ඒ කාලේ ඔබ මගෙ බෑනා.
පාපී මාරය ඒ කාලයේ කකුසඳ භාග්‍යවතුන් වහන්සේ ලෝව පහළ වී වැඩ වාසය කළා. ඒ භාග්‍යවතුන් වහන්සේට විධුර, සංජීව නම් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් වැඩ වාසය කළා.
ඒ සම්මා සම්බුදුන් වහන්සේගේ ධර්ම දේසනාවේදී ශ්‍රාවකයන් අතර විධුර නම් වූ මහරහතන් වහන්සේ තරම් දක්ෂ වෙන කෙනෙක් හිටියේ නැ. අසමාන දක්ෂතා තිබෙන කෙනා යන අරුතින් විධුර ශ්‍රාවකයන් වහන්සේ හට විධුර විධුර යන නම ඇති වුණා.
සංජීව මහරහතන් වහන්සේ ආරණ්‍යක වැඩ සිටියත් රුක් සෙවනක වැඩ සිටියත් සුළු උත්සාහයකින් නිරෝධ සමාපත්තියට සම වදින්න පුළුවන්.
පාපී මාරය ඉස්සර සිද්ධ වෙච්ච දෙයක් මම කියන්නම්. එක දවසක් සංජීව මහරහතන් වහන්සේ රුක් සෙවනක නිරොධ සමාපත්තියට සම වැදිලා සිටියා. හරක් බලන ගොපල්ලන්ටත්, ගොවියන්ටත්, පාරේ යන උදවියටත් සමවත් සුවයෙන් වැඩ සිටින සංජීව මහරහතන් වහන්සේ දැක ගන්නට ලැබුණා. එය දුටු ඔවුන්ට මෙහෙම සිතුණා. ඇත්තෙන්ම ආශ්චර්යයි. මේ ශ්‍රමණයන් වහන්සේ වාඩි වී සිටියදීම අපවත් වෙලා. අපි මුන්වහන්සේව ඔය විදියටම ආදාහනය කරමු කියලා. ඒ සියලු දෙනා එක් වී තණකොළ, දර, ගොම එකතු කොට සංජීව මහ රහතන් වහන්සේගේ ශරීරයට ගොඩ ගසා ගිනි තියලා ගියා. සත් දවසක් ඉක්ම වූ පසු සමවතින් නැගිට සිව්රේ අළු ගසා දමා සිවුර පොරවාගෙන පාත්‍රය රැගෙන ගමට පිණ්ඩපාතේ වැඩියා. පිඩුසිඟා වඩින විට ගොපල්ලන්ට සහ ගොවියන්ට පිඩුසිඟා වඩින මහරහතන් වහන්සේ දැක මෙහෙම හිතුණා. මේකනම් අද්භූත දෙයක්. වාඩි වී සිටියදී අපවත් වූ ශ්‍රමණයා හට අලුත් ජීවිතයක් ලැබිලා. ඔය හේතුව නිසා සංජීව මහරහතන් වහන්සේට සංජීව සංජීව යන නම ලැබුණා.
පවිටු මාරය ඒ දුසී මාරයාට මෙහෙම හිතුණා. සිල්වත් ගුණවත් මේ ස්වාමින් වහන්සේලාගේ චුතියත්, උපතත් මට සොයා ගන්න බැහැ. ඒ නිසා මම මේ ගමේ ගෙවල් වල මිනිසුන්ට වැහෙන එක තමයි හොද. එහෙම සිතන ලද මාරයා ගෘහපති වරුන්ට ආවේශ වුණා. ඒ මිනිසුන් සිල්වත් භික්ෂූන්ට නින්දා කළා. පව්කාරයෝ, කාලකණ්ණි , ලාමක ශ්‍රමණයෝ, හිස මුඩු කරපු එවුන්, මේ ආදී ලෙස භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන්ට මාරයා අභූතයෙන් චොදනා කළා. ඒ දිනවල මරණයට පත් වන මිනිස්සු බොහෝ දෙනෙක් මරණයට පත් වුණායින් පස්සේ සැප රහිත වූ දුගති නම් වූ නිරයේ තමයි ඉපදුණේ.
කකුසඳ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් ඇමතුවා. පින්වත් මහණෙනි, පවිටු මාරයා ගෘහපති වරුන්ට ආවේශ වෙලයි ඉන්නේ. එනිසා ඔබ මෛත්‍රී සහගත සිතිවිලි එක දිශාවකට පතුරුවා වාසය කරන්ට ඕනේ. ඒ විදියට දෙවෙනි, තුන්වෙනි, සතරවෙනි, දිසාවන්ටත් මෙත් සිත පතුරුවන්නට ඕනේ. උඩ, යට, හරහටත් මෙත් සිත පතුරුවන්නට ඕනේ. මෛත්‍රී සහගත සිතිවිලි අප්‍රමානව පතුරුවන්නට ඕනේ. එකඟ වූ සිතින් ප්‍රමාන රහිත කොට වෛරයෙන් තොර, තරහින් තොර, මෙත් සිතිවිලි පතුරුවා වාසය කරන්නට ඕනේ.
ඔය අවවාදය ශ්‍රවණය කල භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ මෙත් වඩන්නට පටන් ගත්තා. ඒ තුළ වාසය කළා. එවිට නැවත මාරයා මෙහෙම සිතුවා. මම මෙහෙම කරලත් භික්ෂූන්ගේ චුතිය උපත දැන ගන්නට බැරි වුණා. නැවත ගෘහපති වරුන්ගේ ශරීර තුළට ආවේශ වුණා.
මාරයා සිල්වත් ස්වාමින් වහන්සේලාට ගෞරව කරන්නට, සලකන්නට, බුහුමන් දක්වන්නට, පූජා පවත් වන්නට පටන් ගත්තා. ඒ දින වල මිය පරලෝව යන මිනිසුන් බොහෝ දෙනෙක් මරණින් මත්තේ සැප ඇති ස්වර්ගයේ ඉපදුනා. මෙය දුටු භාග්‍යවතුන් වහන්සේ තම ශ්‍රාවකයන් හට මෙසේ අනුශාසනා කළා. කය ගැන අසුභ විදියට බලමින් ඉන්න. ආහාර ගැන පිළිකුල් විදියට හදුන ගන්න. සියලු ලෝකය ගැන නොඇලෙන විදියට දකින්න. සියලු සංස්කාර අනිත්‍ය වශයෙන් දකින්න. ඒ පින්වත් ස්වාමින් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව එලෙසම කළා.
එක් දිනක් කකුසඳ බුදුරජාණන් වහන්සේ සිවුරු පාත්‍ර රැගෙන ගමට පිණ්ඩපාතේ වැඩියා. විධුර ස්වාමින් වහන්සේත් උන්වහස්සේ පිටු පසින් වැඩම කළා. දුසී මාරයා එක්තරා ළමයෙක්ට ආවේශ වුණා. ගල් කැටයක් අරගෙන විධුර මහරහතන් වහන්සේගේ හිසට පහර එල්ල කළා. උන්වහන්සේගේ හිස තුවාල වුණා. හිස සිදුරු වී ලේ ගලා යද්දී බුදුරජාණන් වහන්සේ පිටුපසින් මහරහතන් වහන්සේ ගමන් කළා. එතකොට කකුසඳ නම් භාග්‍යවත් අරහත් සම්මාම සම්බුදු රජාණන් වහන්සේ මුළු ශරීරයම හරවා බැලීම නම් වූ නාගාපලෝකනයෙන් දුසී මාරයා දිහා බලනකොටම මාර ලෝවින් චුත වූ මාරයා මහා නිරයේ උපන්නා.
ඒ මහා නිරයට නම් තුනක් තියනවා. ආයතන හයටම ලැබෙල ස්පර්ශයෙන් දුක් විදින නිසා ඵස්සායතනික නිරය කියනවා. යකඩ හුල් වලින් පපුවට කොටන නිසා සංකුසමහත නිරය කියලා කියනවා. තමන්ම වේදනා උපද්දවා ගන්නා නිසා පච්චත්ත වේදනීය නිරය කියලා කියනවා.
පවිටු මාරය නිර පාලකයෝ මා ළඟට ඇවිත් මෙහෙම කීවා. සබඳ ඔබ යම් දවසක ඔබගේ පපුවට වදින ඔය හුල් පහරවල් එකට හැප්පෙන්න ගත්තොත් එදාට දැන ගන්න මම නිරයේ ඉපදිලා අවුරුදු දාහක් දුක් වින්දා කියාලා. ඉතින් මම බොහෝ අවුරුදු ගණනක් මහා නිරයේ දුක් වින්දා. ඒ මහා නිරයේම උස්සද කියන කොටසේ දස දහසක් අවුරුදු දුක් වින්දා. ඒ වින්දේ වුට්ඨානීම කියන වෙදනාවෙයි. ඒ කාලේ මගේ රූපය මේ වගේ එකක්, ඇග මනුස්සයෙක් ගේ වගේ ඔළුව මාළුවෙකුගේ වගේ. (මෙම දේශනාවට තවත් ගාථා විසි එකක් ඇතුළත්)
භේසකලා වනයේදී මුගලන් මහ රහතන් වහන්සේ ඔය විදියට මාරයාට තර්ජනය කළා. මාරයාගේ සිත දුකට පත් වුණා. එතනම අතුරුදහන් වුණා. නෙපෙනී ගියා.
@ බෞද්ධයා - The Buddhist