අපේ කම ගැන නොසිතා ආර්ථික රාමුව ගැන පමණක් සිතා බෞද්ධ ජනතාව කටයුතු කිරීම නිසා පුරාණ විහාරස්ථානවල දායක පිරිස් අඩුවී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කීය.
අපේකම, රටත්, ජාතියත්, ආගමත් රැකෙන්නේ තමන්ගේකම ගැන නොසිතා පරම්පරාවෙන් ලැබුණු දේපොළ විකුණා දමා වෙනත් පළාත්වලට ගිහින් පදිංචි වීමේ පුරුද්ද හදාගත් දිනක බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි. කිරුළපොත පැවැති උත්සව සභාවක් අමතමින් ජනාධිපතිවරයා මෙසේද කීවේය.
‘‘අපේ ආගම මහත් වූ පරාසයකට අපේ හදවත් විවෘත කර තිබෙනවා. අපේ පන්සල්වලට, පූජා භූමිවලට අයත්ව තිබූ ඉඩම්වල තමයි අද බොහෝ ආගමික සිද්ධස්ථාන පවත්වාගෙන යන්නේ. ඔවුන්ට ඒ භූමි අපේ ස්වාමීන් වහන්සේ විසින් ලබාදී තිබුණා. බෞද්ධයන් වශයෙන් අපේ ආගම අපට පුරුදුකර තිබෙනවා එවැනි පරිත්‍යාග ඕනෑම වෙලාවක කරන්න.
අපි ඕනෑම අවස්ථාවක පරිත්‍යාග කරන්න සූදානම් පිරිසක්. මහා සංඝ රත්නය වේවා. බෞද්ධයන් වේවා ඒ සියලූදෙනා ඒ නිසා ජාතිවාදයක්, ආගම්වාදයක් ඔවුන් ළඟ නැහැ.
මා දැඩිව විශ්වාස කරනවා රටේ සංවර්ධනය වේවා, අධ්‍යාපනය වේවා, පන්සල මුල්කරගෙන ලබාදීම අපේ යුතුකමක්. අපි සතුටු වෙනවා අනුනායක ස්වාමීන් වහන්සේ තමන්ගේ පළාතේ තිබෙන පාසල් පිළිබඳව විශේෂ උනන්දුවෙන් අදහස් දැක්වූවා. මේ පාසල්වල තිබෙන අර්බුද පිළිබඳව මට විස්තර කළා. එයින් පැහැදිළි වෙනවා තමන්ගේ පළාතේ තිබෙන පන්සල් ගැන විතරක් නෙවෙයි සමාජයේ අනෙකුත් ප්‍රශ්න ගැනත් උන්වහන්සේට කැක්කුමක් තිබෙනවා.’’























