කොළඹ පොත් ප්‍රදර්ශනයට යන එන අය සහ ඒ ගැන කතා කරන අය, ජෙනරාල් කමල් ගුණරත්න විසින් ලියන ලද ‘ රණ මග ඔස්සේ නන්දිකඩාල් ‘ පොත පිලිබදව ලොකු හා හුවක් ඇති කරල තියෙනවා. ලියනගේ අමරකීර්තිගේ ස්වර්ණ පුස්තක සම්මානය දිනු පොතට වඩා ඉහත සදහන් කල පොත විකිණෙමින් පවතිනවා. සමහරු මේ පොත ඉහලින්ම වර්ණනා කරන අතර තවත් පිරිසක් යුද්ධය විකුණාගෙන කනවා යැයි ලොකු දෝෂාරෝපණයක් එල්ල කරනවා. සාමාන්‍යයෙන් පොත් මාසයේ වීරයන් වන සන්නස්ගල, අමරකීර්ති, මස්ඉබුල, සුජීව ප්රසන්නාරච්චිව පසුකර යුද්ධයේදී වීරයා වුන ජෙනරාල් කමල් ගුණරත්න මෙවර පොත් සල්පිලේ වීරයා බවට පත්වෙලා ඉන්නවා.
ආණ්ඩු පෙරලපු අයට ඒ ගැනත්, රටවල් කරවපු අයට ඒ ගැනත්, ලොකු සමාගම් කරවපු අයට ඒ ගැනත් වගේම යුද්ධෙ කරවපු අයට ඒ ගැනත් ලියන්න අයිතියක් තියනවා.. යුද්ධය, ඉහත කියූ අනෙක් කාරනා වලට වඩා සංවේදී නිසා, යුද්ධයට සහභාගී වුන දෙපාර්ශවයේම අය පොත් විතරක් නෙමෙයි, ඒ පිලිබදව කවි සින්දු ලිවිම සහ නාට්‍ය චිත්‍රපටි සැදීමත් කලයුතු බවයි මගේ අදහස. කමල්ට විතරක් නෙමෙයි තමිලිනිටත් පොත් සල්පිලේ ඉඩක් තිබිය යුත්තේ ඒ නිසයි.
සංහිදියාව වෙනුවෙන් පෙනී සිටින සමහරුම, මේ පොතට විරුද්ධව මහා ඉහලින් කතා කරනවා පමණක් නෙමෙයි ජෙනරාල් කමල්ටත් මිනීමරුවා කියල බනිනවා. නමුත් මට හොදටම විශ්වාසයි මේ බොහොමයක් අය, යුද්ධය කාලේ, බස් එකේ ටයර් එකක් පිපිරුණත් කඩපිල් අස්සේ හැංගුන, බස් එකේ රැක් එකේ බෑග් එකක් දැක්කම කොන්දොස්තරට කැ ගහපු, බිරිදව වෙන බස් එකක යවල තමුන් වෙනත් බස් එකකට ගොඩවෙලා office ගිය අය.
යුද්ධෙ ඉවරවෙලා අවුරුදු 7 ගිහිණුත් යුද්ධෙ ගැන ලියවුන පොතක් උණු කැවුම් වගේ විකිනෙන්නේ ඇයි? මේ කාරණය අවබෝධ කරගැනීම සංහිදියාව පිළිබද සාකච්චාවට ලොකු රුකුලක් වේවි.
1.යුද්ධය කියල කියන්නේ අවුරුදු 5-10 අමතක කරල සාමයේ මල් පුබුදු කරවන්න පුළුවන් project එකක් නෙමෙයි. පරම්පරා ගණනක හිත් පැරිලයි තියෙන්නේ. සිංහල පාර්ශවය ගැන විතරක් කතාකරනවානම්, පොත් සල්පිලට බස් එකේ ඇවිත් පෝලිමේ ඉදල පොත් අරන් යන කුලකයට අයිති, මධ්‍යම සහ පහල මධ්‍යම පාන්තිකයන් තමා හොදටම බැට කෑවේ. යුද්ධෙ අවසන් බාගයේ මම හිටියේ campus එකේ. හැම සතියෙම ගමේ මල ගෙයක්. හැම සතියෙම ගමට මිනී එනවා. ගොඩක් කොල්ලෝ අපිත් එක්ක ඉස්කෝලේ ගිය එවුන්. ඒ මදිවට හැම පවුලකම දන්න කියන එකෙක් හමුදාවේ. හැම හන්දියකම මිය ගිය රණවිරිවෝ සමරන්න බස් හෝල්ට් හදල. ඉතින් පොත් නොවිකිණි තියෙයිද?
2. යද්ධය කියන්නේ අපිට සමීප නමුත් දුරින් තිබ්බ දෙයක්. යුද්ධයට අනිවාර්යයෙන්ම වීරත්වය අරෝපිතයි. හරියට නිකම් ත්‍රාසජනක බටහිර චිත්‍රපටියක් වගේ. කෆීර්, මල්ටි බැරල්, ඩෝරා, දිගු දුර විහිදුම් බලකාය වගේ දේවල් අපිට මාර ෆැන්ටසි එකක් හදල තිබ්බා. දැන් ඒ ගැන, එතන හිටපු කෙනෙක් පොතක් ලියල තියෙනවා. ඉතිනි නොවිකිණි තියෙයිද?