රාහු හා කේතු පිළිබඳව හින්දු පුරාණ දේව කතාවලියේ අපූරු කතාවක් සඳහන් ය. මේ කතාව සඳහන් වන්නේ කතා මාලාවක් ගෙතෙන සුප්‍රකට සුරාසුර යුද්ධය ආශ්‍රිතව ය.
පුරාණ කාලයේ සුරයන් හා ඔවුන්ගේ විරුද්ධවාදීන් වන අසුරයන් අතර මහා යුද්ධයක් හටගත්තේ ලු. මේ යුද්ධය නිමාවක් නො වෙමින් ඉදිරියට ඇදෙන සඳ පිළිමලුන් වහා පිටු දැකීමට රිසි වූ සුරයෝ විවිධ පියවර ගන්නට වූහ. යුද ජය පිණිස සුරයන්ට අමාව (අමෘතය) පානය කොට අමරණීය වන්නට ඇවැසි විය. අමාව තිබුණේ ‘කිරිමුහුද’ පත්ළේ ය. ඉතින් විෂ්ණු අමාව උදෙසා කිරිමුහුද කැලඹීමට සැරසුණේ ය. විෂ්ණු දෙවියෝ මහාමේරු පර්වතය වටා අනන්ත නම් නාග රාජයා ඔතා මහාමේරුව පත්හැන්දකට ගෙන කිරිමුහුද කලඹන්නට විය. මේ මහා කැලඹීමෙන් කිරිමුහුදේ තිබූ වටිනා වස්තු මතුවන්නට විය. සිතූ පැතූ සම්පත් දෙන දෙනක වූ සුරබිදෙන, සිතූ පැතූ සම්පත් දෙන ඝටයක් වූ භද්‍ර ඝටය, සිතූ පැතූ සම්පත් දෙන මිණක් වූ සිතුමිණ පමණක් නො ව නෙළුම් මලක සිටි සිරිකත (ලක්ෂ්මිය) ද මෙසේ මතු වූ සම්පත් අතර විය. (පසුව විෂ්ණු ලක්ෂ්මිය සිය බිරිය කරගත්තේ ලු.) අවසානයේ අමරණීයත්වය ලබාදෙන අමාව ද මතුවිය. දෙවියෝ අමාව පානය කොට අමරණීය වී අසුරයන් පරාජය කළහ.
එදා සුරයන් පෙළට සිට අමාව පානය කරන විට ‘රාහු’ නම් අසුරයා ද හොරෙන් පෙළට එක් වී අමාව පානය කරන්නට ගත්තේ ය. මේ දුටු හිරු හා සඳු දෙවිවරු වහා මේ පුවත විෂ්ණුට දැන්වීය. විෂ්ණු දෙවියෝ වහා සිය ගදායුධයෙන් රාහු අසුරයාට පහර දුන්නේ ය. රාහු දෙකඩ විය. එහෙත් ඔහු ඒ වන විටත් අමාවෙන් මඳක් පානය කර තිබූ බැවින් මියගියේ නැත. දෙකඩ වූ ඔහුගේ සිරුරේ උඩ කොටස රාහු වූ අතර යටි කොටස කේතු විය. ඉතින් රාහු එදා විෂ්ණුට කේලාම් කිවූ හිරු හා සඳු කෙරෙහි වෛරයෙන් පසුවෙයි. ඇතැම් විට සඳ රාහු ගිලින්නේත් තවත් විටෙක හිරු රාහු ගිලෙන්නේත් ඒ පරණ තරහට ය.
මෙකියන සඳ රාහු ගිලීම ආදී සංසිද්ධි අද චන්ද්‍රගහණ හා සූර්යග්‍රහණ ලෙස කුඩා ළමෝ හඳුනාගෙන සිටිත්. ඒ ස්වාභාවික සිද්ධි එසේ සිදුවීමට හේතුව ද උහු ඉගෙනගෙන සිටිත්. විෂ්ණු හා දෙකඩ වූ රාහු පිළිබඳ කතාව පැරණි සුන්දර මිත්‍යා කතාවකි. -
www.dinamina.lk