ලංකාවේ කරාටේ ගම්මානය
දූෂිත තෙල් වලින් බැදි, රස කාරක, වස කාරක වලින් තවද රසවත් කළ, කාපු ගමන් ඇඟේ තෙල්, සීනි රොකට් වේගයෙන් ඉහළ නණ්වන, සම්බා සහල් වලින් සකස් කොට ඇති මළ බත් (ප්‍රයිඩ් රයිස්) පෝළිමෙන් මෑත් වී, කැකුළු බත් ඩිංගක් බෙදා ගන්නා තරුණ පහේ හාදයෙකු මඟුල් ගෙදරක දී දකින්නට ලැබුණොත් ඔහුට කුමක් සිදුවනු ඇත්ද? ''බලාපල්ලකො මූට දැන්මම දියවැඩියාව...'' යෑයි කියමින් යහළු මිත්‍රාදීන්ගේ උසුළු විසුළු වලට ලක් වන්නට නොඅනුමානවම ඔහුට සිදු වනු ඇත. ලංකාවේ ගෙදරකට ගොඩ වන අමුත්තෙකුට, මේ ලෝකේ පෝෂණ ගුණයක් නොමැති වස විස හෝර්මෝන සහ ප්‍රතිජීවක ඖෂධ වලින් ද අනූන නවසීලන්තකාරයෙක්වත් කටේ නොතබන ගොන් පිටි කිරි කෝප්පයක් නොදි, අඩු සීනි තේ කෝප්පයක් හෝ ඉඟුරු කොත්තමල්ලි කෝප්පයක් පිරිනැමුවහොත් කුමක් සිදු වනු ඇති ද.? ''මුන් නම් පට්ට කුණාලා..'' යෑයි ඒ අමුත්තා බොහෝ දුරට සිතන්නට ඉඩ ඇත. එමෙන්ම, නිවසට ගොඩ වදින අමුත්තා මිදි ඇපල් මල්ලක් හෝ කේක් බිස්කට් පැකට් එකක් නොමැතිනම් අඩුම තරමින් පොඩි එවුන්ට චුවින්ගම් එකක්වත් නොගෙනාවනම්, ඒවා වෙනුවට තල කැරලි ටිකක්, රට කජු ගොට්ටක්, වරකා පලුවක් ගෙන ආවානම් ඔහු කොතරම් පීචං මිනිසෙකු වනු ඇති ද?
ඵලක් නොමැති ෂෝට් කට් වලින් නොව, තිරසාර ක්‍රමවේදයන් ඔස්සේ තම තමන්ට අහිමි වෙමින් තිබෙන නීරෝගී කම යළි දිනා ගන්නට වෙහෙසෙන ගමක්ම අපට මෑතක දී හමු විය. අරුමය වන්නේ මේ ගම පිහිටා තිබෙන්නේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 60 දෙනෙකු පමණ පූර්ව දියවැඩියා තත්ත්වයෙන් ද, ජනගහනයෙන් භාගයක් පමණ තරබාරුවෙන් ද පෙළෙන බස්නාහිර පළාතෙ නොව, නගරයට සාපේක්ෂව නීරෝගී මිනිසුන් ජීවත් වන, උඩ රට කඳුකරයේ නුවරඑළිය සහ ඌව පරණගම මායිමේ පිහිටා තිබෙන හද්දා පිටිසර ප්‍රදේශයක වීමය.
කොරදේකුඹුර නමින් හඳුන්වන මෙම ගම්මානයේ සියලු දෙනාම පාහේ දිනපතාම ශීතල මීදුම් පටල ඉරාගෙන හිරු කිරණ කඳු ශිඛර සිප ගන්නට පටන් ගන්නා වේලේ, ගම්මානයේ සොහොන් බිමට යාබදව තනා ගෙන තිබෙන කුඩා පිට්ටනියකට එක් රැස් ව ශරීර සුවතා ව්‍යායාම වල නිරත වෙයි. මෙහි තිබෙන විශේෂත්වය වන්නේ මේ ගමේ ජීවත් වන වයස අවුරුදු හැට හැත්තෑවේ සීයලා ආච්චිලා මෙන්ම, අවුරුදු පහේ හයේ කුඩා දරුවන් ද කාගේවත් විශේෂ පෙළඹවීමකින් තොරව ශරීර සුවතා වැඩසටහනට සහභාගි වීම ය. ඇතැම් සීයලා සරමට යටින් දිගු කලිසම් ද, මැදි වයසේ ගැමි කාන්තාවන් සායට යටින් දිගු කලිසම් ද ඇද, සුම්බර හිසේ බැඳ ගෙන, සීතල පින්නෙන් බේරීමට ජර්සි හැඳ, ඇතැම් තරුණ මවුවරු තම අත දරුවන් වඩාගෙන උස් කඳු, මිටියාවත් ඔස්සේ දිවෙන දුෂ්කර මාර්ග තරණය කරමින් අඩ අඳුරේ ක්‍රීඩා පිට්ටනිය කරා ඇදෙන ආකාරය දකින්නන් විශ්මයට පත් කරවයි.
දිනපතාම කෙරෙන ශරීර සුවතා වැඩසටහනට අමතරව, එක් එක් වයස් කාණ්ඩවලට අනුව සැකසුණු නොමිලේ පැවැත්වෙන කරාටේ සහ යෝගා පුහුණු වැඩසටහන් ද මෙම ගම්මානයේ පැවැත්වෙයි. මාස තුන හතරකට කලින් පස් හය දෙනෙකුගෙන් ඇරඹුණු මෙම වැඩසටහනට කොරදේකුඹුර ගම්මානයේ සියලුම දෙනා පමණක් නොව, අවට ගම්මාන වල උදවිය ද, රජයේ සේවකයින් ද, දැන් දැන් මෙම වැඩ සටහනට සම්බන්ධ වෙමින් සිටී. හන්දිපත් අමාරුවෙන්, තරබාරුවෙන්, දියවැඩියාව වැනි බෝ නොවන රෝග වලින් පෙළුණු උදවිය තම රෝගාබාධ වලින් විශ්මිත ලෙස ගොඩ එමින් සිටින බව, මේ ගම්මානයේ ඇවිද ගොස් තතු විත්ති විමර්ශනය කරන්නෙකුට දෑසින්ම දැක ගන්නට පිළිවන. ගම්මානයේ සෑම නිවසකම පාහේ වැලි කොට්ට එල්ලා ඇත. ඉඩක් ලැබෙන හැම අවස්ථාවකම පාහේ පවුලේ සාමාජිකයින් වැලි කොට්ටවලට අතින් පයින් පහර දෙයි. කරාටේ ක්‍රීඩාවට මේ ගමේ වැසියන් කොච්චර දක්ෂ දැයි කිව හොත්, කිසිදු දිනයක ලොකු නගර දැකලාවත් නැති මේ ගමේ ඇංචො පැංචො ටික ලොකු ලොකු නගරවල පැවැත්වුණු තරග කිහිපයකටම සහභාගිව නගරයේ සුපිරි පාසල්, ක්‍රීඩා සමාජවල තරගකරුවන් බොහෝ දෙනෙකුගේ සිතට කයට රිදෙන්න පහරදී පදක්කම් බොහෝ ප්‍රමාණයක් ගමට ගෙනැ විත් ඇත. ලංකාවේ බොහෝ ගම්මානවල මිනිසුන් මෙන් මේ ගමේ මිනිසුන් කළකෝලාහල නොකරති. ඇඟේ අමාරුවට, දුකට, සතුටට, අඩි පුඩි ගසා සෙට් වන්නේ ද නැත. කොටින්ම ගමේ කඩවල දුම්වැටි අලෙවිය ද නැති තරම් ය. හැන්දෑවට බෝක්කු පාලු අරින්නන් ද නැත. මේ ගම්මානයේ තවත් සුවිශේෂි ලක්ෂණයක් වන්නේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන හැකියාව, විනය, පිළිවෙල සහ ශාන්ත ගති සිරිත්වල ඇති වී තිබෙන හරි පුදුම වෙනස්කම් ය. මේ වෙනස්කම් ටික දැක බලා ගෙන, ඉගෙනගෙන යන්නට මෑතක දී ජපානයේ වෛද්‍ය දෙවුරා ප්රමුඛ විශේෂඥ වෛද්‍යවරු පිරිසක්ද පැමිණ ගිය වග දැනගන්නට ඇත.
මේ අරුම පුදුම ගම්මානයට මේ ආශ්චර්යවත් වෙනස නොමිලේ ලබා දුන් හරි අපූරු විපර්යාසකාරයකු ද වෙයි. හේ නමින් ජයවීර ජයසුන්දර නමින් හඳුන්වන ජාත්‍යන්තර කීර්තියට පත් කරාටේ උපදේශකයා ය. යෝග උපදේශකයා ය. ක්‍රීඩා ඉසව් කිහිපයකින්ම ජාතික කණ්ඩායම නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයකු ද වන මොහු මෑතක දී බදුල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයට අනුබද්ධ බෝ නොවන රෝග නිවාරණ ඒකකයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු ලෙස රාජකාරි කොට නියමිත දිනට අවුරුදු 5 කට කලින් විශ්‍රාම ගිය අයෙකි. ඔහු මෙම ගම්මානය තුළ සිදු කර තිබෙන හපන්කම් බොහෝ ප්‍රමාණයක් වෙයි. දැනට වසර හය හතකට පමණ පෙර මා මේ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විය. එවකටත් කිලෝ ග්‍රෑම් 90 ක් පමණ බරක් තිබූ නව යොවුන් දැරිවියක මෙහි සිටියා ය. වර්තමානයේ සරසවි ශිෂ්‍යාවක් වන ඇගේ දැන් බර කිලෝ ග්‍රෑම් 52 කි. ඇගේ ජීවිතය අංශක 180 කින් වෙනස් කළ විශ්වකර්මයා ද අප කථා නායකයාම වන්නේ ය. මේ අපූරු මිනිසාගේ ආරාධනාවකට අනුව අප විසින් මෑතක දී මෙම කරාටේ ගම්මානයේ සාමාජිකයන්ට වස විස වලින් තොර ආහාර සහ කාබනිකව වගා කරන දේශීය ආහාර අනුභවය තුළින් දිර්ඝායුෂ විඳීමේ හැකියාව පිළිබඳ දැනුවත් කරන ලදී. දැනට මාසයකට පමණ පෙර පවත්වන්නට යෙදුණු මෙම වැඩසටහනින් පසු මේ අපූරු ගම්මානයේ ආහාර පරිභෝජන රටාවේ ද වෙනම ලිපියක් ලියන්නට තරම් හරි අපූරු වෙනස්කම් සිදු වෙමින් තිබෙන බව දැනගන්නට ලැබෙමින් තිබේ. ලිපිය දිර්ඝ විය හැකි බැවින් කොරදේකුඹුර ගමේ වසන්ත බණ්ඩාරනායක මුදලාලි මහතා දුරකථනයෙන් මා හට පැවසූ පහත වාක්‍ය කිහිපය පමණක් මෙහි සනිටුහන් කර තබමු. ''මහත්තයෝ ගිය මාසෙට කලින් ගෙනාපු කිරි පිටි, ටී.වී.පී. බිස්කට් පැකට් ටික තාමත් තියෙනවා. ලුණුයි සීනියි වුණත් දැන් යන්නේ බොහොම අඩුවෙන්. ඒවා නොගියට වස විස නැති පාරම්පරික සහල් එහෙම යන්නේ බලාගෙන ඉද්දි..''
ගැමුණු සාලිය පෙරේරා,
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ
බදුලු දිස්ත්‍රික් ශාඛාවේ මාධ්‍ය ප්‍රකාශක.