වෙළේ සුදා සීඅයිඩීයට භාර දී දැන් හතළිස් අටවන දිනයද ගෙවී ගොස් අවසන්ව ඇත. එහෙත් මේ කුඩු රජා මෙරටට පොම්ප කළ දහස් ගණන් වූ කුඩු තොග අතරින් එක් කඳුළක් පිළිබඳ තොරතුරක් සහ ඔහුගේ මත් කුඩු ජාවාරමේ ජාලය පිළිබඳ කිසිත් සීඅයිඩීය සොයා ගත්තේ දැයි යන්න ගැටලුවක් බවට පත්ව තිබෙන්නේය.
මේ අන්දමින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්‌නැළිගොඩගේ අතුරුදන් වීමේ සිට වත්මන් යහපාලනය පැමිණීමත් සමඟ රහස් පොලිසිය භාරයට ලැබුණු, රටට හා ජනතාවට ඉතාම වැදගත් විමර්ශන ගණනාවක් තිබියදී පසුගිය දා එක් විමර්ශනයක් නම් සීඅයිඩීය කඩිමුඩියේම සිදු කරනු ලැබීය.
ඒ හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිඳ වූ ශෂී වීරවංශ මහත්මිය උපන් දින වෙනස් කරමින් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් සකස් කර ඇතැයි යනුවෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණයට කරුණු වාර්තා කරමින් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමය.
ශෂී වීරවංශ මහත්මිය එවන් වරදක් කර තිබේ නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයකට පැමිණවීම පිළිබඳ අපට ගැටලුවක් නැත. එහෙත් යහපාලනය තුළින් ජනතාව බලාපොරොත්තු වූ බොහෝ වැදගත් දේ විසඳීමේ වගකීම සීඅයිඩීයට පැවරී තිබියදී ශෂී වීරවංශගේ පාස්‌පොර්ට් එක ගෙන ඔන්න අපි කොරා යෑයි කියමින් කළ රංගනය දෙස නම් ජනතාව බලා සිටියේ පිළිකුලෙන් බව කිව යුතුව ඇත.
ජනතාව එසේ පිළිකුලෙන් බලා සිටියේ රටේ නීතිය පිළිබඳ ඇති වූ ගැටලුවක් නිසා නොව, කන පිඟානේ බත්, මාලු පිනි ඇති පදම් තිබියදී පොලිසිය හොද්දට දැමූ රම්ප, කරපිංචා ඇහිඳන් කෑම නිසා විය. කෙසේ වෙතත් සීඅයිඩීය සිදු කළ පරීක්‍ෂණයට අනුව රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු ශෂී වීරවංශ මහත්මිය දැන් ඇප මත නිදහස්‌වී සිටින්නීය. එහෙයින් අපි ඒ කතාව එතකින් නවතන්නෙමු.
නමුත් මේ කතාවේ ආරම්භයේ සිට අප සීඅයිඩීයේ දොස් පෙන්වා දුන්නද සෑබෑවට දොස ඇත්තේ එතැනද? ඊට ඇති පැහැදිලිම පිළිතුර වන්නේ නැත යන්නය. මන්ද හැමදාමත් මේ රටේ දේශපාලනය වූයේ පොලිසියට ඉහළින් නිසා වන බැවිනි. ඒ හමුවේ දැනුද පොලිසිය අසරණය.
ඊට ඇති කදිම උදාහරණය වූයේ ඉකුත් සතියේ වත්මන් යහපාලන ආණ්‌ඩුවේ සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාත්, පොලිසිය භාර ඇමැති ජෝන් අමරතුංග මහතාත් අප ඉහත කතා කළ සහ අද දවසේ ජනතාවටද ප්‍රශ්නයක් වී තිබෙන "යහපාලනය" පිළිබඳ රටේ මාධ්‍ය ඉදිරියේ කළ අදහස් දැක්‌වීමය.
රාජිත සේනාරත්න මහතා එය සිදු කළේ ඉකුත් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී විය. එහිදී සිදු වූයේ කුමක්‌ද? වර්තමානයේ යහපාලනය තුළ සිදු විය යුතු එහෙත් සිදු නොවන දේ පිළිබඳ ඇමැතිවරයාගෙන් මාධ්‍යවේදීහු ප්‍රශ්න කරන්නට වූහ. එකී ප්‍රශ්න කිරීම් ඉදිරියේ රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ පිළිතුරු වූයේ "මාත් අහන්නේ ඒකමයි, මමත් ඔය පිළිබඳ ප්‍රශ්න කළා, වත්මන් රජයේත් ඩීල් කාරයන් සිටිනවා.." ආදී ලෙසින් වූ කිසිවකුටත් කිසිදු වැදගම්මකට නැති කතා විය.
ඇමැති රාජිත සේනාරත්නගේ කතාව එසේ වෙද්දී ජෝන් අමරතුංග ඇමැතිවරයා සිය යහපාලන ප්‍රශ්නාර්ථය මාධ්‍ය ඉදිරියට ගෙන ගියේ ඉකුත් සතියේ සිදුවූ පොලිසියේ නව මුදල් විශූද්ධිකරණ ඒකකය විවෘත කිරීමේ අවස්‌ථාවට සහභාගි වෙමිනි. එහිදී හෙතෙම කළේ "අරකට මොකද වුණේ. මේකට මොකද කළේ, ප්‍රගීත් එක්‌නැලිගොඩ සිද්ධියට මොකද වුණේ.." ආදී ලෙසින් දැනට සීඅයිඩීය භාරයේ තිබෙන පරීක්‍ෂණ කිහිපයක් පිළිබඳ මාධ්‍යවේදීන් ඉදිරියේ තබාගෙන පොලිස්‌පතිවරයා ඇතුළු නිලධාරින්ගෙන් ප්‍රශ්න කිරීමය.
සැබවින්ම මෙහිදී ජෝන් අමරතුංග මහතාද සටහන් පොතක් රැගෙන විත් මාධ්‍යවේදීන් අතර සිට එකී ප්‍රශ්න කිරීම් සිදු කළේ නම් ඉතා අගනේය. නමුත් සිදු වූයේ අනෙකකි. හේ එකී ප්‍රශ්න කිරීම සිදු කරනු ලැබුවේ නිලධාරින් අතරම සිටිමිනි. එහෙත් වත්මන් රජයේ ඇමැතිවරුන් සිටිනුයේ මාධ්‍යවේදියකු ප්‍රශ්නයක් ඇසූ විට මෙසේ එලොවටත් නැති මොලොවටත් නැති උත්තර දෙන්නට හා ප්‍රසිද්ධියේ නිලධාරින්ගෙන් ප්‍රශ්න ඇසීමටදැයි යන්න කල්පනා කිරීමේදී අපට මතු වන්නේ ගැටලුවකි.
මේවා දකිද්දී වත්මන් ආණ්‌ඩුවේ ඇතැම් ඇමැතිවරුන්ට වහා මස්‌තිස්‌ක බද්ධ කිරීමේ සැත්කම් කළ යුතු යෑයි ජනතාවට සිතුනොත් එහිද දොසක් නැත.
මන්ද වත්මන් යහපාලනය තුළ රට මෙහෙයවීමේ පැහැදිලි යාන්ත්‍රණයක් නොමැති වග එමගින් ගම්‍ය වන නිසාය. එසේ යාන්ත්‍රණයක් නොමැති වූ කල සියල්ල බිඳ වැටෙන්නේය. එහිදී රජයේ නිලධාරින්ට සිදු වන්නේ "දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන සිටීමේ" න්‍යාය වෙත ගමන් කිරීමටය. අද සිය වගකීම් හමුවේ සීඅයිඩියට සිදුව ඇත්තේ ඒ ටිකය. ආණ්‌ඩුවේ කොටසක් නිල් පාටය. අනෙක් කොටස කොළ පාටය. කොළපාට අය කොළ පාට දේ කරන්නේය. නිල් පාට අය කරන්නේ නිල් පාට වැඩ ටික වන්නේය.
ඉතින් නිලුයි, කොළයි පාට දෙකේම වැඩ කිරීමට ගොස් පොලිසිය කරන වැඩ මේ වන විට කහපාට වී තිබෙන්නේ ස්‌වභාවය එය නිසාය. නමුත් පොලිසිය ශක්‌තිමත් කරමින් නීතියේ ආධිපත්‍ය තහවුරු කරන්නේයෑයි ජනතාවට පොරොන්දු දී බලයට පැමිණි යහපාලනයෙන් රට බලාපොරොත්තු වූයේ මේ ටිකද?
අප යහපාලන සුළි කුණාටුව මේ වන විට "කටින් පිඹින චූස්" එකක් බවට පත්ව ඇතැයි කියන්නේ එනිසාය.
සමන් ගමගේ