කළබලකාරී නොදැමුණු සිතක් වුව සමාධි පිළිම වහන්සේ දුටු සැනින් දැමුණ නිවුණ සිතක් ඇති කරන්නට තරම් සමත් උපශාන්ත පෙනුමක් නිතැතින්ම පිළිම වහන්සේ වෙතින් පෙන්නුම් කරන අතර ඒ උප ශාන්ත ගුණය තිව්ර කිරීමට යොදා ඇති රවුම් මුහුණ අඩවන් වූ දෙනෙත මද සිනහවත් ඇදී තොල් සඟල සැබවින්ම සමත් වේ. මේ වනවිට සංරක්ෂණය කර තිබුණද පිළිම වහන්සේ සොයා ගන්නා විට (1886) එය බිම පතිතව නාසිකාව බිඳී තිබූ බව සඳහන්ය. බිඳුන නාසිකාව ඩොලමයිට් මාබල් යොදා ප්‍රතිසංස්කරණය කර ඇති අතර විමසිලිමත් ලෙස බලන්නෙකුට ඒ බව අද වුවත් දැකගත හැකිය. පිළිම වහන්සේගෙන් දිස්වන උපශාන්ත ගුණය උන්වහන්සේගේ වීතරාගී බවත් නිවුණ කරුණා සීතල හදත් මැනවින් ප්‍රකට කෙරේ. මේ සංකලනය මෙතරම් ඉහළ අන්දමින් ඉස්මතු= කර පෙන්වීමට කලා ශිල්පියා සතුව මොන තරම් නම් කුසලතාවක් දක්ෂතාවක් ඉවසීමක් හා ලතෙත් බවක් තිබෙන්නට ඇත්දැයි අපට සිතා ගැනීමට හැකිය.
ලක්දිව බොහෝ පිළිමවල බුදු සිරුරට සිවුරක් අන්දවා රැළි මගින් එය ඉලිප්පී යන ආකාරයට දක්වා ඇතත් සමාධි පිළිම වහන්සේ නිර්මාණය කිරීමේදී කලා ශිල්පියා දකුණු උරහිස නිරාවරණය කර තබන අතර වම් උර දරා සිටින සිවුර පෙන්නා ඇත්තේ සිහින් රේඛාවකින් දිය රෙදි කඩක් ඇඟට ඇලී ගිය ආකාරයටය. එමගින් ශිල්පියාගේ අරමුණ වූ බුද්ධ දේහය හැඩය මනාව ඉස්මතුව පෙනේ. ඉතාම විමසිල්ලෙන් බලන්නෙකුට චීවරයේ රැලි කීපයක් දැක ගන්නට හැකිවන අතර චීවරයේ පෙරවීම අනුව මෙය ඉන්දියාවේ ගුප්ත කලාව හා සමගාමීව යන බව කලා විශාරදයන් දරන මතය වේ. බුදු සිරසට සිරස්පතක් උෂ්නිෂ්යක් එක් නොකරණ කලාකරුවා ඉතා ක්‍රමානුකූළ හා සිත් ඇද බැඳ ගන්නා ආකාරයෙන් බුදු සිරස බොකුටු හිසකේ රැලිවලින් ඔප් නංවා ඇත.
වර්තමානයේ සමාධි පිළිම වහන්සේ වැඩ හිඳිනා තැන හතරැස් කොටුවක් සේ සකස් කළ ගල් බැම්මක් දැකිය හැකි වේ.
බොහෝ වියතුන් අදහස් කරන්නේ මේ සතරැස් කොටුව තුළ බෝධියක් රෝපනය කර තිබෙන්නට ඇති බවයි. පිළිමය වටා ඇති ගල් කණු දෙස බැලීමෙන් මේ පිළිම වහන්සේට සෙවන දුන් ශෛලමය ආවරණයක් තිබෙන්නට ඇතැයිද අනුමාන කරන්නෝ බොහෝය. මේ සීමාව තුළම තවත් මෙවැනි පිළිම වහන්සේ නමක් තිබූ බවට අනුමාන කළ හැකි ප්‍රතිමාවක කොටසක් හමුවීමෙන් පෙනීයන්නේ. මේ ස්ථානයේ බෝධි ඝරයක් තිබූ බවත් ඒ වටා පිළිම වහන්සේලා සිව්නමකගේ ප්‍රතිමා ඉදිකර තිබූ බවත්ය. බෞද්ධ ඉතිහාසයේ සඳහන් පරිදි අභයගිරි පාර්වශය මහා විහාර පාර්වශය. ගමන් ගත් මගට යම් තරමකින් වෙනස් මගක ගමන් ගත් භික්ෂු පරපුරක් වැඩ විසූ කේන්ද්‍රස්ථානයක් වන අතර අභයගිරි මහ දාගැබට ආසන්නව පවතින මේ බෝධිය සුවිශේෂ සැලකිලි ලැබූ බෝධීන් වහන්සේ නමක් වීමට බොහෝ දුරට ඉඩ ඇත.
සමාධි පිළිම වහන්සේ අයත් කාලය කුමක්ද යන්න ගැන විවිධ උගතුන් අතර විවිධ මත ඇති බව පෙනේ. සමහර උගතුන් සඳහන් කරන්නේ මේ පිළිම වහන්සේ නම් මහා වංශයේ දේවානම් පියතිස්ස රාජ්‍යය සමයේ නිර්මාණය කළැයි සඳහන් උරුසිලා පිළිමය විය හැකි බවය. එසේ වුවොත් ඒ ක්‍රි. ව. 3-4 වන සියවස්වලට අයත් විය හැකිය. අපේ රටේ සිටි සුප්‍රසිද්ධ පුරාවිද්‍යා විද්වතකු වූ සෙනරත් පරණවිතාන මහතාගේ අදහස වී තිබුණේ ද මේ 3-4 වන සියවස්වලට අයත් එකක් බවය. නමුත් ආනන්ද කුමාරස්වාමි චාල්ස් ගොඩකුඹුර වැනි වියතුන්ගේ අදහස වුයේ මේ පිළිම වහන්සේ 3-4 වන සියවස්වලට බොහෝ කලකට පෙර නිර්මාණය කරන ලද්දක් බවය.
බෞද්ධ ඉතිහාසයට අනුව ලක්දිව පළමුවරට ඉදිවූ ස්ථූපය වන්නේ අභයගිරි දාගැබටත් මහා සෑය නමින් අපි දන්නා රුවන්මැලි සෑයටත් අතර පිහිටුවා ඇති ථූපාරාම චෛත්‍යය මහා වංශයේ සඳහන් උරුසිලා පිළිමය මේ සමාධි පිළිම වහන්සේ යෑයි සැලකුවහොත් මේ පිළිමය මුලින්ම තිබී ඇත්තේ ථූපාරාමය විහාර මළුවේය. මහා වංශයට අනුව ඒ පිළිමය 1 වන ජෙට්ඨතිස්ස රජතුමා විසින් තමා කරවූ පැදුන්තිස්ස නම් විහාරයට ගෙන ගොස් ඇත. ඉන්පසුව රජ පැමිණි මහසෙන් රජතුමා එය අභයගිරි විහාරයට ගෙන ගොස් ඇත. ධාතුසේන රජතුමා ද මේ පිළිම වහන්සේට පිළිමගෙයක් කළ බව සඳහන්ව ඇත.
මේ ලිපියේ අප මුලින්ම සඳහන් කළ පාහියන් නම් බෞද්ධ මහා ස්ථවිරයාණන් වහන්සේ ලක්දිවට පැමිණි වේලේ. අභයගිරි විහාරස්ථානයේ වසර 2 ක කාලයක් නැවතී ධර්මය හැදෑරූ බව සඳහන් ය. උන්වහන්සේ සිය දේශගවේෂණ සටහන්වල අභයගිරි විහාරභූමියෙහි තිබූ අලංකාර ශෛලමය පිළිම වහන්සේ නමක් ගැන කරන සටහන මේ සමාධි පිළිම වහන්සේ යෑයි බොහෝ උගතුන්ගේ මතය වේ.
මොනාලීසා චිත්‍රය ගැන කතා කරන විට බොහෝදෙනා එය අගය කරන්නේ ඒ චිත්රයෙහි ඇඳි කාන්තා රුව බලන්නාගේ සිතැඟි අනුව දර්ශනයක් මවා දෙන බවයි. නරඹන්නා මොනාලිසා මද සිනා පාන්නේ යෑයි සිතා බැලුවහොත් ඒ ආකාරයටද මිලින වූ නෙතින් හා වතින් යුතුව සිටින්නේ යෑයි උපකල්පනය කළ විට ඒ ආකාරයෙන්ද, හැඩීමට ආසන්න යෑයි සිතා බැලූ විට ඒ ආකාරයෙන්ද යනුවෙන් උචිත පරිදි දර්ශනයක් ලබාදෙන බවයි. සැබවින්ම මේ අන්දමට චිත්‍රයක් නිමයුම දක්ෂකමකි. සත්‍ය කතාව නම් සිංහල බෞද්ධයා ඕනෑම අතකට ඇඳිය හැකි තෙළිතුඩකින් විවිධ අනුරූප හා භාවයන් මවන වර්ණ සංයෝජනයකින් නැවත නැවත මකා දමා අවසාන නිමයුම කරා යා හැකි චිත්‍ර වැනි පහසු මාධ්‍යයකින් නොව හිත් පිත් නැති මහා කළු ගලකින්, එක තද හෝ නොනිසි හෝ අපරික්ෂාකාරී සේම නොඉවසිලි ගල් කටු පහරකින් සියල්ල සම්පූර්ණයෙන් ම විනාශ විය හැකි තත්ත්වයක් ඇති ප්‍රතිමා නිමයුමේදී පවා මේ අපූරු දස්කම කළේ දියුණු යෑයි කියා ගන්නා ග්‍රහලෝක තරණය කිරීම සෙල්ලමක් තරමට පහසු යෑයි කියනා බටහිර ජාතීන් විලි වසා ගැනීමට කොළ අතුවල පිහිට පැතූ යුගයේදීය.
මහමෙව්නා උයනේ වැඩ හිඳිනා සමාධි පිළිම වහන්සේ නිම වූදා සිට මේ දක්වා දෑසින් දැක දොහොතින් වන්දනා කළ ප්‍රමාණය කෝටි සංඛ්‍යාතය. පිළිම වහන්සේ නැමදීමේදී ඉදිරිපසින්, දකුණු පසින් හා වම් පසින් නැරඹිය හැක. එසේ තුන් පැත්තකින් සමාධි පිළිම වහන්සේ නැරඹූ බෞද්ධ දර්ශනය පමණක් නොව සංවේදී මානුෂික හැඟීම් ග්‍රහණය කරගෙන නොසඟවා එළිදැක්විය හැකි උගතුන් බුද්ධිමතුන් හා විද්වතුන්ගේ අදහස වන්නේ කුමක්ද? මේ එසේ ගොනු වූ පොදු මහජන මතයයි.