ශ්‍රී ලංකා යුද හමුදාවට "හයිකෝප්"සමාගම හරහා යුද උපකරණ මිලදී ගනිමින් රජය සතු මුදල් වංචා කිරීමට කුමන්ත්‍රණය කිරීමේ නඩුවට පෙනී නොසිට වසර පහක් අධිකරණය මගහරිමින් සිටි සරත් ෆොන්සේකා මහතාගේ බෑනනුවන් වූ ධනුන තිලකරත්නට කොළඹ මහාධිකරණය ඊයේ(19) කොන්දේසි සහිතව ඇප නියම කළේය.
නීතිඥ නිරෝෂන් පෙරේරා මාරගයෙන් අධිකරණයට බාර වු තිලකරත්න විත්තිකරුට රුපියල් ලක්ෂ හතරක මුදල් ඇපයක්, ලක්ෂ පනහක ශරීර ඇප දෙකක්, නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය විත්තිකරුගේ විදේශ ගමන් තහනම් කරමින් සෑම මසකම පළමුවන ඉරුදින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙරවරු 9ත් 12ත් අතර පෙනී සිටින ලෙසත් සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසටත් නියෝග කරමින් කොන්දේසි පැනවුවාය. නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම ඇප අවලංගු කිරීමට හේතු වන බවද නියෝග කළාය.
ඕස්ට්‍රේලියාවේ බ්‍රිටිස් බෝර්නියෝ ඩිපෙන්ස් සමාගමේ ලංකා නියෝජිත ආයතනයක් ලෙස හයිකෝප් සමාගම කටයුතු කරන බවට සඳහන් කර ඊට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා යුද හමුදාවට යුද උපකරණ සපයා රජය සතු මුදල් වංචා කිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු අධි චෝදනා 21 යටතේ පොදු දේපළ පනත අනුව නීතිපතිවරයා මේ නඩුව පවරා තිබිණි. 2010 ජූලි 12 දින විත්තිකරුවන්ට අධි චෝදනා පත්‍ර අධිකරණය මගින් බාර දුන්නේය.
නඩුවේ පළමු විත්තිකරු ලෙස ධනුන තිලකරත්න නම් කර තිබූ අතර දෙවැනි විත්තිකරු වු වෙලින්ටන් ට්‍රෙන්ඩන් ඩෙහෝට් නඩුව පැවරු මුල් අවස්ථාවේම අදාළ චෝදනාවන්ට වරද පිළිගත්තේය. චෝදනා පිළිගැනීම හේතුවෙන් දෙවැනි විත්තිකරුට සිර දඬුවමක් නියම කළේය. එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ දෙවැනි විත්තිකරුට අභියාචනාධිකරණ මගින් ඇප නියම කළේය. නඩුවේ තුන්වෙනි විත්තිකරුවු සරත් ෆොන්සේකා මහතාට මෙම නඩුවෙන් මුදා හැරියේය.
ධනුන තිලකරත්න විත්තිකරුට අධිකරණය මගින් වරෙන්තු නිකුත් නිකුත් කර තිබු අතර විත්තිකරු නොමැතිව නඩුව විභාග කෙරිණි.අමෙරිකන් ඩොලර් දෙලක්ෂ අනුනම දහසක යුද උපකරණ මිලදී ගැනීමකට හයිකෝප් සමාගම හරහා ලංසු ඉදිරිපත් කිරීමේදී ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම විදේශීය සමාගමේ ලංකා නියෝජිත ආයතනය ලෙස ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම මත චෝදනා ඉදිරිපත් කර තිබිණි.
විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිඥ නිරෝෂන් පෙරේරා කියා සිටියේ පැවති වාතාවරණය අනුව සැකකරු අධිකරණයට ඉදිරිපත් නොවු බවත් එහෙත් දිගටම නීතිඥ නියෝජනයක් පැවති බවත්ය. කරුණු සළකා බැලූ විනිසුරුවරිය අදාළ ඇපකරුවන්ගේ ලේඛන ඉදිරිපත් කිරීම ලබන 23 දින සිදු කරන ලෙසට නියෝග කළාය. පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිර් ජනරාල් ජයන්ත ජයසුරිය මහතා සමඟ රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ මාධව තෙන්නකෝන් මහතා පෙනී සිටියහ.
විත්තිකරු වෙනුවෙන් නීතිඥ පවිත්රිකා පුනාන්දු මෙනවියද පෙනී සිටියාය. නඩුවේ වැඩිදුර විභාගය මාර්තු 12 දින ට නියම කෙරිණි.