සිහිනයකි ජීවිතේ (නවකථාව )

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    අම්මා සාදා දුන් තේ කෝප්පය අතට ගෙන මිටි බංකුවේ වාඩි වූ ඉරේෂා ලිපෙ ඇවිලෙන ගින්දර දෙස ඔහේ බලා උන්නාය.හට්ටිය වටා ඒ මේ අතට දඟලන ගිනිදලු බලා ඉන්නට ලස්සනය.ඒත් ඒ ලස්සන ඇත්තේ පිටත සිට බලා ඉන්නෙකුටය .තම ජීවිතයත් ගිනි ඳලු වගේ යැයි ඈ සිතුවාය.ලොක්කී තවමත් බන්දුල ගැන ලතැවෙන බව අම්මා හොඳාකාරවම දැන උන්නාය.කොයි වෙලාවේ බැලුවත් ලොක්කී ඉන්නේ කල්පනාවකය.
    "මොනවද ඔච්චර කල්පනා කරන්නෙ ඉස්සරහට තියෙන වැඩ ටික ට ලෑස්ති වෙනව තව මොනාද පරීක්ෂණ වගයක් තියේ නේද කරගන්න නතර වෙන්න කලින්"
    "හ්ම්ම්.."
    "අර දරුවගෙන් ගෙදර විස්තරේ අහගත්ත ද?"
    ඈ සිතමින් සිටියේ කවීශ මල්ලිගෙන් ඒ උදව්ව ගන්නවාද කියා ය.එසේ වුවහොත් ඔහුගෙන් දුරස් වන්නට දරන මේ වෑයම අපතේ යනු ඇත.උදව්වකට පමණක් ළං කරගෙන අත් හැර දැමීම කල නොහැක්කකට වඩා නොකල යුත්තකි.ඒත් ඔහුට ඒ උදව්ව එපා කියන්නේ කෙසේදැයි සිතා ගත නොහැකිව ලතැවුනාය.
    "ගෙවල් ඕනෙ නෑ අම්මා අපි පුලුවන් විදියට කරගමු ඕවගෙ නවතින්න සල්ලිත් නෑ"
    "ඇයි එහෙනම් අර පුතා අඩුවට තැනක් හොයල දෙන්ව කිව්ව නේද"
    "එයාලට අඩු ගානක් උනාට අපිට ඒව දරන්න බෑ අම්මා"
    ඉරේෂා මුසාවක් ඇදබෑවේ කතාවෙන් ගැලවීමටය .
    "උදේ හවස ගෙදර ඉඳන් යන්න එන්න බෑනේ "
    "දවස් දෙක තුනකටනෙ මම මොනා හරි කරගන්නම් අම්මා එන්න ඕනෙ නෑ "
    "අනේ මංද "
    අම්මා කීවේ නුරුස්නා ස්වරූපයෙනි .
    තවත් කතාව දිග්ගැස්සීමට පෙරාතුව ඈ කුස්සියෙන් නැගිට ආවාය.
    ****
    හිතට යම් සහනයක් දැනුනේ ගෙදරට ගොඩ වූ පසුය.මදාරා නම් පරණ පුරුදු තත්වයට පැමිණ ඇති බවක් පෙනේ.වෙනදාට වඩා ලෙංගතු ආමන්ත්‍රණය ක් ඇගෙන් ලැබීම එතරම් ගුණ නැත.මා ඔබේ සේවකයා පමණි .එය එසේම තිබුණාවේ.දැන් කලබල වෙන්නට කාරනාව ඉරේෂා අක්කාය.ඊයේ සිටන් කිසිදු ප්‍රතිචාරයක් නැත ලෙඩ ගානේ උන් නිසා අනියත බියක්ද දැනේ.ඈ ගැන විස්තරයක් දැන ගැනීමට නොහැකි කමින් කවීශ මහත්සේ අසරණ වුණේය.සමාධි අක්කාගෙන් මේ ගැන විමසා සිටින්නට හැකියාවක් ද නැත.කීපවරක්ම දුරකථන ඇමතුම් ගත්තද තවම එය විසංධි කොට තිබේ.අම්මාගේ සහ අප්පච්චි ගේ දුරකථන අංක වලින් උත්සාහ කලද ප්‍රතිඵල යේ වෙනසක් නැත.මොකුත් කරදරයක් වත්ද.
    නින්ද ගියේ කෙටි කාලයකට උනත් කාර්‍යාල යට යා යුතු නිසා කවීශ අකමැත්තෙන් ඇඳෙන් නැගිට්ටේය.එක්වරම හිත මතට ආවේ ඉරේෂා ය.දුරකථන ය ඔබා බැලුවේ ඈගෙන් පිළිතුරක් ඇත්දැයි බැලීමටය.එවරත් ඔහු පරාදය.ඒ වෙනුවට මදාරා නම් ගුඩ් මෝර්නිං අයි හෑව අ සර්ප්‍රයිස් ෆොර් යූ කියා ලියා එවා ඇත.
    හැඳ පැලඳ සූදානම් වන අතර තුරද සිතුවේ ඉරේෂා ව සම්බන්ධ කරගත හැකි විදියක් ගැනය.
    "අම්මෙ අපේ සමාධි අක්කගෙ ඉස්කෝලෙ නම මතකද ?"
    කවීශ අම්මාට වැඳ නැගිටින ගමන් ඇසුවේය.
    "ඔව් මොකද්ද අටබාගෙ කනිෂ්ඨ විද්‍යාලය වගේ එකක් ඒක මොකටද"
    "නෑ අපේ ඔෆිස් එකට ආව ගම්පොල කොල්ලෙක් උගෙ අම්මත් ටීච කෙනෙක් ඒකයි"
    බොරු කොහේ තිබී කටට එනවාදැයි දන්නේ නැත
    "කොල්ලෙක්ද කෙල්ලෙක්ද "
    අප්පච්චි ද කොහෙන්දෝ කතාවට හවුල් වුණේය .
    "ඔන්න කිව්ව ඉතිං "
    කවීශ අප්පච්චි ටද වැඳ නික්ම ආවේ අටබාගේ අටබාගේ කියා මතුරමින් එය අමතක වේ යැයි බියෙනි.කාර්‍යාල යට ගිය පසු බලා සිටියේ අට පසුවන තුරුය .හෙමින් සීරුවේ විවේක කාමරයට එපිටින් වූ මිදුලට ගිය කවීශ දුරකථන ඇමතුමක් ගත්තේය.
    "ආයුබෝවන් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය මා ඔබට උදව් වන්නේ කෙසේද"
    වයින් කර තැබූ රොබෝවක සේ ලියන භාශාවෙන් කතාකරන ඇයගෙන් කවීශ උදව් ඉල්ලුවේය .
    "මට අටබාගෙ ඉස්කෝලෙ නම්බර් එක ගන්න පුලුවන්ද ගම්පොළ තියෙන ඉස්කෝලයක් "
    "එහෙම පාසලක් ගැන නම් සටහනක් නෑ මහතමයා අටව්වෙල කියල පාසලක් නම් තියෙනව"
    "ආ හරි හරි ඒක දෙන්නකො"
    වහා දුරකතන අංකය සටහන් කරගත් කවිශ අනෙක් අතට ඇමතුමක් ගත්තේය.
    "හෙලෝ මට ඉරේෂා මිස්ට කතා කරන්න පුලුවන් ද"
    "ම්ම් කවුද දන් නෑ මේ කොයි ඉරේෂා ද ඩාන්සිං එක්කෙනාද ඉංග්ලිශ් එක්කෙනාද "
    උභතෝකෝටික ප්‍රශ්නයකි .
    "ම්ම්ම්.."
    "අද කොහොමත් ඉංග්ලිශ් එක්කෙනා නම් ආවෙ නෑ අනිත් එක්කෙනාට දෙන්නම්"
    "ඔව් ඔව් ඩාන්සිං ටීච තමයි"
    කවීශ සැකයේ වාසිය උරගා බැලුවේය.
    විනාඩි දහයක් පමණ ගියපසු දුරකථන ය ගන්නවා ඇසුනි.
    "හෙලෝ කවුද මේ"
    ඒ අහිංසක හඬ හඳුනාගැනීම අපහසු නැත.
    "ඇයි අක්කෙ ෆෝන් ඕෆ් කරගෙන මම කොච්චර ට්‍ර්‍යි කලාද"
    දෙවියනේ කවීශ මල්ලි.
    "මොකුත් කරදරයක් නෑ නේද ?"
    "අනේ නෑ මල්ලියෝ ෆෝන් එක් බිම වැටිල කැඩුන"
    ඔබෙන් දුරස් වෙන්නට උවමනා බව කියා කියන්නට හිතට ලෝබය.ඇයි රත්තරනේ මාව අසරණ කරන්නේ.
    "ඉතිං වෙනකාගෙ හරි එකකින් කියන්න තිබ්බෙ නෑ..මම ඔයා ගැන හිතුවට ඔයාට මං ගැන ගානක්වත් නෑ නේද"
    ඔය චෝදනාවෙන් මිදෙන්නට බැරිය .ඒත් මේ හිත දන්නේ නම් ඔබ මට සමාව දේවි.
    "එහෙම කියන්න කෙනෙක් නෑ මල්ලියො සමාවෙන්නකො ඉතිං"
    "ඔයත් අපේ බොසී වගේ තමා ඔක්කොම කරල සොරි කියන්න නම් දන්නව..නපුරි"
    "හරි හරි තරහ ගන්න එපා මම ෆෝන් එක හදාගත්තම කියන්නම්"
    "බුදු සරණයි අක්කියො මට බය හිතුනා "
    මේ ආදරය මට දරන්නට බැරි තරම් බරය.මේ තරම් වෙහෙසක් දරා මාව ඇමතීමට තරම් ...මට එච්චරටම ආදරෙයිද?"
    "සොරි පැටියෝ බුදු සරණයි !"
    හිතේ සතුටක් තැවරී ඇත්තේ කා නිසාදැයි කියන්න ට උවමනා නැත.අනාගතය හෝ අතීතය ගැන නොසිතා මේ මොහොත ඈ විඳගත්තාය.කවීශ යනු පැතීමට සුදුසු පිරිමියෙකි.ජීවිතේ සියුම් නිල අල්ලා සුවපත් කිරීමට දක්ෂයෙකි.මාද ඔබට ඔබ මට තරම් ආදරේ වග කියන්නෙ කෙලෙසද.
    ***
    කවීශ ඇතුලු කාමරයට ආවේ සතුටු සිතිනි.ඒ ලෙංගතු ආමන්ත්‍රණයට තමා කවදත් කැමතිය.පිරිමි සිත් සුවපත් කරන්නට ගෑනු මිමිනුම කට උවත් පිලිවන.
    "අප්පොච්චියේ මේ ඉන්නෙ කවීශ සර් අන්න මැඩම් අහනව"
    කාර්‍යාල සහයක විජිත දිව විත් පණිවුඩය කියා යන්නට ගියේය.පෙරලෙන්නට යන්නෙ තවත් බාල්දියකි කවීශ සිතුවේය.බොසා ගේ විධානයක් නිසා නොගොස් සිටීමටද නොහැකි ය.
    මූණටම හමුවූයේ රවීය.
    "අඩෝ මචාං බොසීගෙ ඇදුම දැක්කද පිස්සු හැදෙයි"
    "ඒ මොකෝ බං මොකුත් නැතුව ඇවිත්ද"
    "නෑ බං එහෙනම් හිත හදාගන්න තිබ්බ අද හොඳ ට් ඇඳගෙන ඇවිත් "
    රවී ඇසක් වසා ඉඟි කොට යන්නට ගියෙන්.ඔහු නොපෙනී යනතෙක් බලා සිට කවීශ මදාරා ගේ කුටියට ගියේය.
    කවීශ යන විට මනා ලෙස ඔසරියකින් සැරසුනු කාන්තාවක් එහි උන්නාය.
    "සර්ප්‍රායිස්..."
    කියා මදාරා වටයක් කැරකුනාය.සාරියට ගැලපෙන සේ ය්න්තමට තැවරූ වත්සුනු මුහුණ ට ආලෝකයක් එක්කර තිබේ.වෙනදාට වඩා ලගන්නා බවක් ඈ තුළ පෙනේ.
    "කොහොමද මේ ඇදුම හොඳද"
    "ගෑණු ළමයෙකුට මීට වඩා හොඳ ඇඳුමක් නෑ ..ඉට් ලුක්ස් ග්‍රේට් ඔන් යූ"
    "තෑන්ක්ස් කවීශ "
    ඇස් තෙමුනේ සතුටටය.ළඟට දිව විත් තුරුලු වී තෑන්ක්ස් කියන්නට උවමනා උනත ඈ සිතින් පමණක් එලෙස කලාය.
    නව වෙනසට කවීශ කැමතිය.මට ඒ ඉහටත් උඩින් ඇතිය.

    රැය දහවල් පුරා කල්පනා කලේ තමා වෙනස් වූ වග කවීශ ට පෙන්වන්නේ කෙසේදැයි කියාය.අම්මා ඔසරියකින් සැරසී උන් ඡායාරූපය දැක්කේ අහම්බෙනි.වසර ගනණාවකින් තමා සාරියක් ඇඟ දවටා නැත.මැදියම් රැය වනතුරු ගත වූයේ හරි හැටි ඔසරි අඳින්න්ට පුරුදු වීමටය.අම්මාගේ අල්මාරි ඇද අලුත් සාරියක් සොයා ගැනීම අපහසු වූයේ නැත.අම්මා ළඟින් හිඳ සාරි ඇන්දූ හැටි ඈ මතක් කලාය.උදේ පාන්දර ම කවීශ ට කෙටි පණිවුඩය ක් තැබුවේ නව පෙනුමින් ඔහු පුදුම කරන්නට සිතාගෙනය.
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    හත් වන පරිච්ඡේදය

    කවීශ සියලු ලිපි ලේඛන සහ අනෙකුත් කළමනා කාරයේ දමාගෙන කලින්ම පිටත්වූයේ මහනුවර ටය.තමා ඉදිරිපත් කල ව්‍යාපෘති යෝජනාව මහනුවර ශාකාවේද ආරම්භ කිරීමට තීරණය කෙරුනු නිසා ඒ පිළිබඳව පැහැදිලි කිරීම සඳහා දේශනයක් පැවැත්වීම කවීශ ට භාර කෙරිනි.මදාරා උදෑසනින් ම කතා කොට සුභ පැතුම් ගෙනාවේය.
    "හෙලෝ කවීශ ගුඩ් මෝර්නිං ."
    "ගුඩ් මෝර්නිං මැඩම් "
    "විශ් යූ ඕල් ද බෙස්ට් මයි ඩියර් බ්‍රේක් අ ලෙග්"මයි ඩියර් කීවේ කවීශ ට මොනවා හෝ හිතෙන්නට කියාය.ඉක්මන් විය යුතු නැත කලින් සිදුවීම නිසා ඔහු තවමත් තමා සමඟ තරහින් සිටිනවා වන්නටත් පිලිවන .
    "තෑන්ක්ස් මැඩම් "
    ඉරේෂා අක්කා තවමත් දුරකථන ය හදාගෙන නැති සෙයකි.එසේ නැතිනම් මා මගහරින්නට එසේ කීවාද.අනවශ්‍ය ලෙස ඇගේ ජීවිතේ අත පොවන්නට නොයා යුතුය .ඈ තෝරාගත් ආදරය ඇයට හිමිවිය යුතුය.එක අතකට තමා කරන්නේ වරදකි.වරින් වර ඉරේෂා අක්කාට කරදර කිරීමෙන් ඇයට ද ප්‍රශ්න ඇතිවී ඇතුවා වන්නට පුලුවන .පිරිමි කවුරුත් තම පෙම්වතිය තවත් පිරිමි යකුට සමීප වනවාට කැමති නැත.පවුල් ජීවිත රැකෙන්නේත් බිදෙන්නේත් ඒ ආත්මාර්තයේ කෙලවර වලට පිරිමි ගිය විටදීය.ඒ නිසා ඈ කතාකරන තුරු ඉවසා සිටිනවා හැර කල හැක්කක් නොමැත.නුවරට යන තුරුම කවීශ කල්පනා කලේ දේශනය ගැන නොව ඉරේෂා අක්කා ගැනය .කඩුගන්නාව පසුකරද්දී කවුලුවෙන් පිටත බැලුවේ පුරුද්දටය .නෙතට රසඳුනක් වූ කඳු පෙල පෙර වාගේම නිසොල්මනේ මීදුමට තුරුලු වී සිටී.
    දේශනය සංවිධානය කර තිබුණේ මහවැලි රීජන්ට් හෝටලයේ ය.විධායක ශ්‍රේණි නිළධාරීන් සහ දෙවන පෙල නිළධාරි මඩුල්ල වෙනුවෙන් දේශනය පැවැත්වූ අතර සියලු දෙනාගේ ප්‍රසාදය දිනා ගැනීමට කවීශ ට අපහසු වූයේ නැත.
    ***
    ඊයේ සිටන් පටන්ගත් මාසික වේදනාව වෙනදාටත් වඩා තදින් දැනෙන බවත් වැඩි රුධිර ප්‍රමාණයක් පිටවන බවත් ඈට දැනුනි.එනමුත් යොදාගෙන ඇති රුධිර පරීක්ෂණ වලට ඉදිරිපත් විය යුතු නිසා ඈ අපහසුවෙන් වුවත් සූදානම් වී ආවාය.වෙනදා මෙන්ම තනියට ආවේ අම්මාය.
    රසායනාගාරයට රුධිර සාම්පල ලබා දීමෙන් පසු එවායේ වාර්තා ලැබීමට කල් ගතවන බැව් දැන්වූ නිසා මගට බැස්සේ අරමුණකින් තොරවය.
    "තේ එකක් වත් බොමු"
    "යමුකො අම්මා පහළ කඩයක් තියේ මම දන්න"
    ඉරේෂා පෙරගමන් ගත්තාය.
    ඩෙවෝන් ,කේඑෆ්සී මග හැරියේ සිතාමතාම ය.අම්මාට කටට රසට මොනවා හෝ අරන් දීමට උවමනා වුවත් ඒ සඳහා ලොකු මුදලක් වියදම් කල නොහැක.
    කවුරුන් හෝ අතින් අල්ලාගත් නිසා ඉරේෂා එක්වරම තිගැස්සී ගියාය.
    "ඉරේෂා අක්කා කොහෙද මේ"
    කවීශ මල්ලී..ඈ පපුව ට අත තබාගත්තාය.හඬන්නටද සිනා සෙන්නටදැයි සිතා ගත නොහැකිය .පුරුදු කඳුළු ම එවරත් තනියට ආවේය.
    "ඔහොමත කෙල්ලන්ගෙ අත් වලින් අදිනවද කොල්ලො පාර මැද්දෙ"
    "අනේ සොරි අක්කා දුරදිම අඳුන ගත්තා ඔයා කියල...කොහෙද මෙහෙ"
    "බ්ලඩ් ටෙස්ට් වගයක් කරගන්න ආව මල්ලි...මේ ඉන්නෙ අපේ අම්මා ..අම්මා මේ කවීශ මල්ලි සමාධි ගෙ මස්සිනා"
    "කොහොමද අම්මා"
    කවීශ ඈ දෙසට හැරී ඇසුවේය .
    "හොඳයි දරුවො"
    සිනාසෙමින් ඈ පිලිවඳන් දුන්නාය.
    "මම මේ ලෙක්චර් එකක් කරන්න ආව අක්කා ගෙදර යන්න කලින් පොතක් ගන්න කියල ආවෙ දැන් කොහෙද යන්නෙ අක්කල"
    "තව වෙලා යනව කිව්ව මල්ලි රිපෝට්ස් දෙන්න ඒ ටික අරගෙනම යන්න ඉන්නව"
    "එහෙනම් මොනා හරි කාල ඉම්මු එන්නකෝ අම්මට බඩගිනිත් ඇති"
    ඔහුට කෑම ගන්නට ඉඩදී බලා සිටින්නටද නොහැක අතේ එතරම් මුදලක්ද නැත.
    "කමක් නෑ මල්ලි අපි මොනවහරි ගන්නම් මල්ලි කාල එන්න"
    "අනේ මේ මට කන්න ඕනවට නවේ කිව්වෙ මැට්ටි"
    කවීශ ගේ මුහුණ අඳුරු වනු ඉරේෂා දුටුවාය.අම්මෝ කේන්ති යන තරම් කොච්චි කරලක් වගේ වසයි.
    "යමු යමු"
    ඈ සිනාසෙමින් පසු පස්සේ වැටුනාය.කවීශ මල්ලී හැසිරෙන්නේ පව්ලේ කෙනෙකු වගේය .මා වෙනුවෙන් කරන දේවල් මට මහමෙරක් තරම්‍ ය.
    නගරයේ නම්දැරූ හෝටලයකින් තිදෙනාම දිවා ආහාර ගත් හ.
    "මොකෝ අයියා ආවෙ නැත්තෙ"
    ඒ ප්‍රශ්නය එල්ල වන තුරු ම ඉරේෂා සතුටින් උන්නාය.මූණ කලු වී දෙනෙත් රතුවී ආවේය.
    "ඒක ඉවරයි මල්ලි.."
    "කොච්චර දෙයක් ද "කවීශ නොකී කතාවය .ඔබේ ආදරය වෙනුවෙන් මම ආත්මාර්තකාමී වෙමි.
    "සමාවෙන්න අක්කෙ මම දැනගන ඇහුව නෙවේ"
    "ඒකට කමක් නෑ මල්ලි "
    ඈ කඳුළු අතරින් සිනාසීමට වෙර දැරුවාය.
    රිදවා හැර ගිය පිරිමියකු වෙනුවෙන් හඬා වැටිය යුතු නැත.
    කවීශ ට තව විස්තරය දැන ගැනීමට උවමනා උනත් මේ එයට වෙලාව නොවන බව සිතා නිහඬව උන්නේය.
    කඳුළු පිරි තරු දෑස් දෙස කවීශ ආදරෙන් බලා සිටියේ හිස සිඹ තුරුලේ හොවා සනසන්නට බැරිකම නිසාය.
    කවුන්ටරය ට මුදල් ගෙවා තව කෑම පාර්සල් දෙකක්ද රැගෙන කවීශ එනු ඉරේෂා දුටුවාය .ඔය පපුවේ හිස හොවා හඬන්නට ඇත්නම්.
    "මේක නංගිටයි තාත්තා ටයි "
    "අනේ පිස්සුද කොල්ලො ඔහොම වියදම් කරන්නෙ"
    "ඔයාල දෙන්න හොඳට කාල ගෙදරට නිකම්ම යන්න පුලුවන් ද "
    ඔහු ක්‍රියා කරන්නෙ හොඳට සිතා බලාය.තමාව වගකීමක් කරගෙන කටයුතු කරන අතර තුර තම පවුලේ අය ගැනත් සිතන හැටි.බන්දුල කවරදාකවත් මෙවන් ක්‍රියාවක් කලා මතක නැත.ඔහුත් කවීශ මල්ලීත් යනු හාත්පසින් වෙනස් චරිතයන්‍ ය.
    "දැං මුණගැහුන එකේ අර ගෙදරත් බලලම යමු"
    දැන් නම් මේ යෝජනාවට බෑ කියන්නට බැරිය.ඉරේෂා බියෙන් උන්නේ අම්මා මොකුත් කියාවි යැයි සිතාය.
    කවීශ කාරයෙන්ම පොඩිමමා ගේ නිවසට ගොස් අදාල කටයුතු ලක ලෑස්ති කර දුන්නේය.
    "පොඩී එන බවක් කීවනම් කෑම වත ලෑස්ති කරනව"
    පුංචි නැන්දා කීවේ පිරිසට තේ පිළිගන්වමින්‍ ය.
    "අපි කාල ආවෙ"
    පොඩි වේලාවක් ආගිය තොරතුරු කතා කරමින් සිට ඔවුන් පිටත් වන්නට සූදානම් වූහ.
    "මගෙ පුතේ තොට ඩීල් එක මතකයි නේද..මොනා උනත් උඹේ ඇහැනම් පට්ට ඈ.."
    කවීශ පසෙකට කැඳවාගෙන ගිය පොඩිමාමා කීවේ ඉඟි කරමිනි.
    "ඔන්න මගුලක් කියවනව අපේ අක්කගෙ යාලුවෙක් මනුස්සයෝ"
    "අක්කගෙ යාලුවෙක් නම් උබෙත් යාලුවෙක් කරගන්න කියලයි මම කියන්නෙ..සීදේවි කෙල්ලනෙ...තෝ ද මට කොලේ වහන් නැතුව හිටපං කන්න බොන්න අරං දීල කාරෙකේ දාං ගෙවල් පෙන්නන්ඩ එන්නේ අක්කගෙ යාලු කමට වෙන්න ඇති"
    "හරි හරි මොනා උනත් ඕව අපේ අම්මට එහෙම කියන්න ඕන දේවල් නෙවේ හොඳද"
    "ආ බ්ලැක් ලේබල් ඈ කට වැහෙන්නෙ ඒවට විතරයි"
    පිරිස සිනාසී සමුගත්තේ අදාල දිනට එන්නට පොරොන්දු වෙමිනි.කවීශ ඉරේෂා අක්කලාව බස්නැවතුමේ බස්සවා එන්නට පිටත් උනේය.
    "බුදු සරණයි පුතේ "
    තම දෙපා ළඟ පහත් වූ කවීශ ට අම්මා ආශිර්වාද කලාය.
    "බුදු සරණයි මල්ලි බබෝ පරිස්සමෙන් "
    පරිස්සමෙන් ගෙදරට යන්නට ඒ සුභ පැතුම හොඳටෝම ඇතිය.ආදරේ හරි පුදුමාකාරය.
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    තවමත් තමා හා කවීශ අතර ඇත්තේ වෘත්තීය මට්ටමේ සබඳතාවක් පමණක් වීම මදාරා ට හිස රදයක් වී තිබේ.කතා බහ කරන වචනයෙන් පවා පරිස්සම් වී කවීශ ඒ දුරස් බව සුරකිමින් සිටී.මේ පවුර බිඳගෙන ඔහුට ලංවිය හැකි ක්‍රමයක් පිළිබඳව ඈ නිරන්තරයෙන් කල්පනා කලාය.උදේ හවස කතා කලත් ලෙංගතු බවක් නම් නැත.ෆේස්බුක් ආදී සමාජ ජාලා කිසිවක පෙම්වතියක් ගැන සටහනක් නැත.
    "හෙලෝ කවීශ වැඩක් ද"
    "නෑ කියන්න මැඩම්"
    "උදව්වක් ඉල්ලගන්න කතා කලේ මට මේ ගැන වෙන කියන්න කෙනෙකුත් නෑ ඩැඩීට හොරෙන් කරන්නත් ඕන කවීශ "
    සියදිවි නසා ගැනීමේ මෙහෙයුම ක් වෙන්න ඕන.ජොබට ආයිබෝං කියල තමා එහෙනම් කරන්න වෙන්නේ.කවීශ හිතින් මිමිනුවේය.
    "මම අහගන ඉන්නෙ මැඩම් කියන්න"
    "මට අම්මා බලන්න ආසයි කවීශ ..අම්මා කුරුණෑගල ආරණ්‍යයක ඉන්නෙ නම දන්නව ඒත් හොයාගන තමයි යන්න වෙන්නෙ ඩැඩී දැන ගත්තොත් ප්‍රශ්නයක් වෙනව,මගෙ යාලුවෙක් නෑ මෙහෙම ගමනක් එක්ක යන්න ..ඔයාට පුලුවන් ද මගෙත් එක්ක එන්න"
    තමා වැටුනේ ලෝක අමාරුවකය.අම්මා වැනි සංවේදී මාතෘකාවක් අරබයා ඈ බොරුවක් පවසනවා වන්නට බැරිය.ඈ කියන කාරනා අනුව උදව් නොකරත් බැරිය.එහෙත් එවැනි ගමනක් යන්නට තරම් අපි සමීප නැත සමීප වීමේ උවමනාවක්ද නැත.
    "අනේ සොරි කවීශ කරදරයක් නම් මම තනියම යන්නම් මම මෙහෙම අහන එකත් වැරදි ඇති...ගර්ල් ෆ්‍රෙන්ඩ්වත් එක්ක එන්න එතකොට අවුලක් නෑනෙ"
    මදාරා තුරුම්පුවක් ඇද්දේය.
    "හිටියනම් එක්ක එන්න තිබුණා "
    එය නොකියා සිටියානම් වඩා හොඳ ය.
    හිතේ සතුට උතුරා ගියේ සුභ ආරංචියට ය.එහෙනම් එන්නකො වස්තුවේ.
    "කමක් නෑ කවීශ මට තේරෙනව ඔයා හිතන්නෙ මොනවද කියල ඉට්ස් ඕකේ සොරි බායි"
    කවීශ දිගටම නිහඬව සිටින නිසා මදාරා කීවේ හිතේ දුකිනි .මුල වරද්දා ගත්තේ තමන්‍ ය දැන් ඒවාට විඳවිය යුතුය.
    ***
    නිවසට ළඟා වනවිට හයට කිට්ටු වී තිබිණ .අද දවසේ නම් ලොක්කී සතුටින් සිටියා ය.එවන් හොඳ පුතෙකු ලබන්නට වාසනාව තිබිය යුතුය.පෙනුම ගතිගුණ ගැන තක්සේරු කරගන්නට ගතවූ පැය ගනණ ඇතිය.තාත්තෙක් වගේ හැමදේම සොයාබලා කල හැටි .ඒ දවස් වල ලොක්කී ලැබෙන්නට සිටියදී සියල්ල තමාට තනියෙන් කරගන්නට වූ හැටි මතකය.කවීශ පුතා ස්වාමියෙකු ලෙස ලබන්නට ගැහැනියක් පිං කර තිබිය යුතුය.
    "ගෙදර ගියාද මල්ලියෝ"
    "ආව අක්කා දැං ටිකක් වෙලා..ඔයාල ගියාද"
    "අපි නම් දැං ආවෙ මල්ලි..තෑන්ක්ස් කරපු උදව් වලට"
    "අනේ මම උදව් කරේ තෑන්ක්ස් බලාගෙන නෙවේ "
    ඔන්න කේන්ති ගියා මේ කොල්ලාව බලා ගන්නට ලේසි වන්නේ නම් නැත.
    "එහෙනම් මොනා බලාගෙනද"
    කට වරද්දා ගත්තානම් හොඳ කතාවක් අහගන්නට සූදානම් විය යුතුය.
    "අර සුදු රවුම් ඒව දෙකක් තියෙන්නෙ ඒව බලාන"
    "ඊයා කියන කතා වල් කොල්ලෙක් මේකා නම්"
    "ආ කවුද දන් නෑ වල් මම කිව්වෙ කම්මුල් දෙක ගැන"
    එවරත් මා පරාදය.සිනා නැගුනේ කිව්ව කතාවටය.
    "යනව යන්න බූරු පැටියා"
    ගතේ වේදනා යටපත්ව යන තරම් හිත සතුටින් පිරී තිබේ.ඔබ මට ගෙනාවේ සිනාවක්ම පමණි .ඔබ ඉල්ලා සිටීනම් මේ ජීවිතය ඔබට දෙන්නම්.
    ඉරේෂා කියන්නේ ආදරය කරන්නට එක්ව ජීවත් වන්නට වටින කෙල්ලෙකි .එවන් එකියක දමා යාමට තරම් බන්දුල මෝඩයෙකු වීම ගැන කවීශ සතුටට පත් වුනේය.ඈ තුටින් සිටින විට ඒ වෙන්වීමට හේතු විමසා හිත රිදවිය යුතු නැත.මේ මෙහොතේ ආදරය ඉල්ලා අවස්තාවාදියකු වීමට බැරිය ඈට තව ටිකක් කල් දිය යුතුය.එතකල් මම වෙනුවෙන් ඉන්නවා නේද.

    තනියම සිනාවෙන ලොක්කී දෙස බලාසිටි අම්මාට සතුටක් දැනුනි.සිනා වෙන විට ඈ ලස්සනය.නෑ පරපුරේ හැඩම එකිය තම දුවනියම පමණි .දරු සම්පත් ඇතත් නැතත් ඈව දීගෙක දෙන්නට බැරි කමක් නැත.
    "මොකද ලොකූ තනියම හිනා වෙන්නෙ"
    "නෑ මේ අර පිස්සගෙ කතාවකට හිනා ගියෙ "
    "මොන පිස්සද"
    "කවීශ මල්ලි.."
    අම්මා තමා ගැන මොනවා හිතනවාදැයි එක්වරම සිතුනෙන් ඈට ලැජ්ජාවක් ඇති විය.
    "ආ ඒ දරුවද අන්න පිරිමි ..තාත්තෙක් වගේ හැමදේම හොයා බලල කරනව මේ පිට එවුන්ට ..ගෑනිට දරුවන්ට හරිම ආදරෙන් සලකාවි දවසක"
    පිට වෙන්නෙ කොහොමද මගෙ මල්ලි කොල්ල.ජීවිතේ දේවල් සිද්ධ වෙන්නේ බුදු දහමට අනුව නම් පව් පිං වලට අනුවය.ඔබව ලබන්නට පිං තියේ නම් අපි එකතු වේවි.නොදුටු අනාගතයකට බියෙන් ජීවත් විය යුතු නැත.ඔබ මගේ ආදරය ඉල්ලන්නට පෙර මගේ අඩු ලුහුඬුකම් කියා දිය යුතුය .ඒ දේවල් එක්කත් ඔබට මට ආදරය කල හැකි නම් මියෙන තුරු ඔබ නමින් පේවී ඉන්නට මම සූදානම් ය .
    ***
    ඉරිදා දිනය නිසා දහවල් වනතුරු නිදාහුන් කවීශ අවදි කලේ අම්මාය.
    "නැගිටිනව කොල්ලො ..අන්න කවුද කෙල්ලෙක් කතා කරල ෆෝන් එක ඔන් කරගන්න කියන්න කිව්ව"අම්මා කීවේ අවලාදයක් ලෙසිනි.
    දෙය්යනේ ඉරේෂා අක්කා අම්මාට කතා කලාද.පිස්සු වැඩනෙ කරන්නෙ.
    "ඊයෙ චාජ් කරන්න බැරි උනා..පණිවිඩයක් කිව්වද කවුරු කියලද කිව්වෙ"
    "මදාර කියල යාලුවෙක් කිව්වෙ"
    "මොකක් ඒ හොල්මන මොකට කතා කරාද"
    "ඒව දන්නෙ ඉතිං කතා කරගත්තු අයනෙ "
    අම්මා කියන්නේ තොල් නොපිට පෙරලා ඇද කරමිනි.
    "කොරගත්තු අය තමා කවුද දන්නවද මදාරා කියන්නෙ , අපේ බොස් ඉද්දමල්ගොඩ මහත්තයගෙ එකම දූ ඉද්දමල්ගොඩ ව්‍යාපාර ජාලයේ අදිපති...ආ දැං හරිද"
    "අප්පොච්චියෝ එහෙම ද ..මට අම්මා කියල කට පුරා කතා කලානෙ කිසිම ආඩම්බරයක් නැතුව..මාත් දුවේ කියලද කොහෙද කිව්වෙ ..සොරි කියල කියන්න දැම්ම කෝල් එකක් අරං ..එක්කො ඕකුන්ගෙ නම් කියල තියන්න ඕන වස ලැජ්ජාවක් උනේ"
    ගෑනු මායම් අම්මපා..කවීශ සිතුවේය.
     
    Last edited: