කවීශ කියූ පරිදි මදාරා රථය නැවැත්වූ වාය.ගමන පිටත් වන්නට පෙර තිබු සතුට හොරු අරන් ගොසිනි.යන ගමන ගැනද දැන් ඇත්තේ නොකැමති ගතියකි.සිතේ වේදනාවෙන් කිසිදෙයක් කල නොහැකිය.
මදාරා ගේ මුහුණ අඳුරු වී ඇති සැටි කවීශ ට පෙනුනත්,කිව යුත්තේ කුමක්දැයි කියා සිතාගත නොහැකිය.උදේ පාන්දරම යන්නට යන ගමන හිත නොහොඳ කරගෙන යන්නට බැරිය.
“මැඩම් මොනවද කන්නෙ”
මදාරා කිසිත් නොකියා ඉවත බලා සිටියාය
ගෑණු හුරතල් කරන්නත් උනානෙ මගුල කවීශ මුවින් නොබැන කෑම ඇනවුම් කලේය.
ඉරේෂා අක්කා සිහිවූයේ දැන් ය.හිතට නැගුනේ වරදකාරී බවේ හැඟීමකි .වහා ඈව ඇමතුවත් ඈ පිළිතුරු දුන්නේ නැත.දෙවරක්ම උත්සාහ කලද ප්‍රතිචාරය එලෙසම විය.ඊයේ කරදරයක් උනා කියූ කෙල්ල අද දුරකථනය වෙත නොඑන්නේ මන්දැයි සිතූ කවීශ ට බියක්ද දැනිණි .
හෝටලයේ සේවක කොලුවකු කෑම වේල බන්දේසියක් මත තබාගෙන විත් ඔවුන් හිඳ සිටි මේසය මත තැබුවේ ය.
“මොනවත් බොනවද”
ඊටත් ඈගෙන් ප්‍රතිචාරයක් නැත .කවීශ ට කේන්ති ගියේ වේටර් කොලුවා ඉදිරියේ සවුත්තු වීම ගැනය.
“බොන්න මොකුත් එපා මල්ලි”
වේටර කොලුවා පිටව ගියේය.
අම්මපා මේ ගෑණුන්ගෙ නරි කෝලං
“මැඩම් මම සොරි කියල කිව්වනෙ මොකක්ද වෙලා තියෙන්නෙ මූණ කොරහක් වගේ හදාගෙන ඉන්නෙ.මම යන්නද යන්න”
කවීශ අසුනින් නැගිට්ටේ කේන්තියෙනි .සැබෑවටම තිබුණේ මේ ගමන නෑවිත් ඉන්නටය.කරගත්තේ වරදකි ඉල්ලං නා ගන්නවා කියන්නේ මේවාටය.
“අනේ කවීශ මට බනිණ්න එපා..ඉඳගන්න ප්ලීස්” ඈ කවීශ ගේ අතේ එල්ලුනාය.
නාටක රඟදැක්වීමට අනවශ්‍ය නිසා කවීශ ඉඳගත්ත ද ඈ අල්ලාගත් අත අත්නෑරම සිටියාය.
“ප්ලීස් අත ගන්නවද”
අම්මෝ තියෙන නපුරු කම .අතිං ඇල්ලුවට ගෙවෙනවද .ඈ තම සුරත ලිහිල් කලාය.
“උදෙට තේ එකක් නොබී කන්න පුලුවන් ද”
“කලිං අහපුවම බකංනිලාගෙන හිටියෙ එහෙනම් “
“ඒ ඉතිං පොඩ්ඩක් ගණන් උස්සල හිටියෙ මහත්තයා ට කේන්ති යනවද බලන්න”
මදාරා කවීශ ගේ මූණ ට එබුනාය .
දෙන්න හිතෙනව හොම්බට එකක්..කවීශ ඒ දෑස මගහැර ඉවත බලාගත්තේය.මේ සම්බන්දය දුර දිග යනවා වැඩිය.
ඉන්දික පිටත්ව ගිය පසු හිතට දැනුනේ සහනයකි .ඔහුගෙන් ගැලවෙන්නේ කෙසේදැයි ඊලඟට සිතිය යුතුය.ජීවිතේ ඇත්තේ ප්‍රශ්න ම පමණි .කවීශ මල්ලි හා ගෙවුණු ඒ පැය කීපය වුවත් කෙතරම් සතුටින් ගෙවුනාද.මගහැරුණු ඇමතුම මතක් වූයේ දැන් ය.කොල්ල බය වෙලා ඇති.මේ විඩාබර ජීවිතේ හැමදාම ඔබ ළඟින් ඉන්නට ඇත්නම්.
කෑම අවසන් කර වාහනයට ගොඩවැදුනේ තරමක් නිවුණ සිතිනි.දුරකථනය නාද වුන නිසා කවීශ දුරකථනය අතට ගත්තේය.ඉරේෂා අක්කා...කොහේ ගියත් දෙබලකි.දැන් වාහනය තුළ ඉඳන් ඈ හා හරි හමන් විදියට කතා කරන්නටද බැරිය.
“හෙලෝ කියන්න අක්කා .. මොකද උනේ.”
“අපේ අප්පච්චි පොඩි ප්‍රශ්නයක් දාගෙන”
පසුබිමින් ඇහෙන ශබ්දයන් නිසා ඔහු කොහේ හෝ යමින් සිටින බව ඉරේෂා සිතුවාය .
“මල්ලි ඩ්‍රයිව් කරන ගමන් ද “
“නෑ ගමනක් යන ගමන් නම් තමා”
“අපිට කියන්න බැරි ගමනක් ද ?”
මදාරා ඉදිරියේ බොරු කීමටද බැරිය කවීශ පත්වූයේ මහත් අපහසුතාවයකටය.
“මේ අපේ බොස් එක්ක වැඩකට යනව අක්කා”
පසුගියදා තරහකාරයෙකු ලෙස හැඳින්වූ කෙනා සමඟ යන ගමන කුමක්ද.මට නොකියන දේවලුත් තියෙනව එහෙනම්.
“අනේ සොරි මල්ලි තියන්නම් එහෙනම්”
“ඉන්න..”කවීශ කියන්නටත් පෙරම ඉරේෂා දුරකථනය තැබුවාය .ඔහුට කතා කලේ හිත නිදහස් කර ගැනීමටය.ඒ වෙනුවට දරන්න බැරි බරක් හිස මත තැබූ හැටි.ආයෙමත් දුකකි.
මා හිතින් මගේ කරගත්තාට අපි අපේ කියා එළඹි ගිවිසුමක් නැත.ඔබ තවත් ළඳකට ලං වනවා දරා ගන්නට අමාරුය.ආදරේ හැටි එහෙමය.ඔබව කා සමඟවත් බෙදා හදා ගැනීමට මට උවමනා නැත.හිතේ දහසක් හැඟුම් තෙරපේ.කවීශ මල්ලි ට කතාකර මේ කොහේ යන්නේ දැයි කෙලින්ම අසන්නට සිතුනත්.එහෙම අහන්නට මට අයිතියක් තියෙනවද.
ඉරේෂා අක්කා සමග සංවාදය කෙලවර වූයේ හොඳින් නම් නොවේ.ඇයට තරහ ගන්නට පූර්ණ අයිතිය ඇත.අනවශ්‍ය ගමනක පැටලී වැරද්ද කරගත්තේ තමාමය.එක්කො කලින් කියන්නට තිබුණා .ගිය නුවණ ඇතුන් ලවා තියා ඩෝසර් දමා වත් ඇද්දවිය නොහැකිය .
දුරකථනය ත් සමග කවීශ ගේ ගනුදෙනුව මදාරා කෑම ට නතරවූ තැන සිටන්ම නිරීක්ෂණය කලාය.කාට කතා කරනවද.යමක් කියන්නට පෙර අනෙක් පසින් දුරකථනය විසන්ධි කල වගත් එයින් කවීශ දුකට පත්වු වගත් තේරුම් ගැනීමට අපහසු නැත.කවුද ඒ කියා අසන්නට හිතුනත් එය හොඳ නැතැයි මදාරා ඊලඟට සිතුවාය .මම හොයා ගන්නම්කො .