කවීශ උදෑසනින් ම සූදානම් ව ආවේ ඉරේෂා අක්කා දැක ගැනීමේ බලවත් ආශාවෙනි .අදත් කාර්යාල යට යන්න ලැබෙන්නේ නැත.ඒත් කරන්නට දෙයක් නැත.මේ මොහොතේ ඈ අසල සිටිය යුතුමය.කවීශ දැඩි සත්කාර ඒකකය වෙත යන විට අම්මා දොර අසල සිටියාඅ.අම්මා මෙතන නම් ඉරේෂා අක්කා ළඟ කවුද .අම්මා සමඟ සිනාසුනද ඇගේ එතරම් සුහද බවක් නැතැයි කවීශ සිතුවේය .
“අම්මා ගියාද ඇතුලට”
“ඔව් මම ගිහින් ආවෙ අපේ නෑදෑ කෙනෙක් ගියා දූව බලන්න”
අම්මා තමා කෙරේ මොනවා හෝ හිතේ තියාගෙන ඉන්නා බව කවීශ දනී.ඒත් ඒ ගැන විමසා සිත අවුල් කරගන්නවාට වඩා මේ විදිය හොඳය.විනාඩි පහලොවකටත් වඩා බලා සිටියත් ඇතුලට ගිය් කෙනා එන පාටක් නැත.කීප වරක් කර ඔසවා බැලුවද අඳුරු කර ඇති කණ්නාඩියෙන් තම මුහුණ ට වඩා යමක් පෙනෙන්නේ නැත.මොන ලබ්බක් කරනවද ලෙඩා බැලුව්නම් එන්නෙ නැතුව.කවීශ සිතින් බනිමින් සිටියේ නෑයාටය.
“අඩෝ මොකද මෙතන ලෙඩා බැලුවේ නැද්ද”
සපුමල් ආවේ වෙලාවටය.
“පාස් එකයිනෙ බං “
“අනේ මගුල මට කතා කරන්න එපෑ..මෙන්න මෙහෙ වරෙන්”
කවීශ සපුමල් පසුපසින් කුටියට ඇතුළු විය. කවීශ ඉරේෂා අක්කාගේ ඇඳ සොයා පියමැන්නේ බලාපොරොත්තු සහගතවය .දුටු දසුනින් සිත ගැස්සී ගියේ ය.නිළ ඇඳුමින් සැරසුනු අයෙක් ඇගේ හිස අතගාමින් ඈ අසල ඇත.හදේ ගැස්ම වැඩිවී ගියේ ඉබේටමය .මේ ඉන්නේ ඉන්දික නැමැත්තා විය යුතුය.
අම්මා නවාතැනට ගිය මොහොතේ පටන් කල්පනා කලේ දහවල් සිදුවූ සිදුවීම ගැනය.කවීශ සහ ලොක්කී අතර ආදර සම්බන්ධ යක් ඇතුවාට සැක නැත.බන්දුල රණ්ඩු ඇතිකර ගන්නට ඇත්තේත් මේ අරභයා වන්නට පිලිවන .එසේ නොවන්නට මේ තරම් ඉක්මනින් සම්බන්දයක් ඇතිවිය හැකිද.නොගැලපෙන උන් ලං කරගෙන දුක් විඳි අතීත පාඩම් ඇත.කවීශ ගෙන් උදව් ගත්තා කියා මේ කටයුත්තට ඉඩ දිය නොහැක.පිහිය රත්තරං කියා බෙල්ල කපා ගැනීමේ සිරිතක් නැත.විසදුම ලොක්කී කවීශ ගේ සිතින් ඉවත් කිරීමය.
නැන්දා කියූ ලෙසට ඉන්දික උදේ ලෙඩුන් බලන වෙලාවටම මහනුවරට ආවේය.නිළ ඇඳුමින් ආ නිසා රෝහලට ඇතුළු වීමට කරදරයක් නැත.නැන්දා ගොස් ආවාට පසු ඉන්දික ඉරේෂා වෙතට ආවේ ය.වෙනදාට මෙන් නොව ඉරේෂා මලානිකව ගොසිනි.
උදරයේ කැපුම් තුවාල වල වේදනාව වරින් වර දැනේ .කවීශ මල්ලී එන්නේ කොයි වෙලාවේදැයි බලා සිටියේ පාන්දර සිටන් ය.දුරකථන භාවිතය තහනම් නිසා ඔහු ඇමතීමටද ඉඩක් නැත.ඊයේ ඒ උණුසුම් සුරත මත නින්දට වැටුනා සිහිනයෙන් මෙන් මතකය.අම්මා හයටම ආවත් කවීශ මල්ලි නැත.අම්මාගෙන් ඔහු ගැන අහන්නට යෑමත් නුවණ ට හුරු නැත.
“දන්න කෙනෙක් එයි ඔයා බලන්න “ අම්මා කියාගෙන ගියාය .
කවීශ මල්ලි වෙන්න ඇති.ඒත් එහෙම කියන්න ඕනෙ නෑනෙ.ඉරේෂා කල්පනා කරමින් සිටින අතරේ ඈතින් එන රුව හඳුනාගැනීම අපහසු වූයේ නැත.මේ යකාට කීවෙ කවුද .දෙයියනේ කවීශ මල්ලි ආවොත් මොනවා හිතයි ද.
“ආ ලොක්කි කොහොමද දැන් “
ඈ සිනා නොවී බැරි කමට සිනා සුනාය.
“දැන් නම් හොඳයි තුවාල ටිකක් රිදෙනවා “
“බලන්න අයි සී යූ දාල නෙ නතර උනේ මේ හොස්පිටල් වල හැටි මම දන් නැද්ද “
ඉන්දික කියූ විට අවට සිටිය හෙද නිළධාරීන් කීප දෙනෙක්ම ඔහු දෙස බලනවා ඉරේෂා දුටුවාය.හිතට කේන්ති ආවත් ඈ ඉවසා සිටියා ය.වාට්ටුවට ඇතුළු වූ මොහොතේ පටන් තමාට සැලකූ හැටි ඈට මතකය.දැඩි සත්කාරයට දමන්නට උනේ වෛද්‍යවරුන් ගේ වරදක් නිසා නොවේ.ඉන්දික කතා කරන්නේ කිසිත් නොදැනය.
“එහෙම එකක් නෑ මෙහෙ සර්විස් එක හොඳයි “
යන්නෙ නැද්ද අප්පා..ඈ නොකීවාය
“ආයෙ මොනව හරි උනොත් පොලිස් හොස්පිටල් යමු මම එක්ක යන්නම්”
දිව්යලෝකයටවත් ඔයා එක්ක නම් එන්නෙ නෑ..ඉරේෂා සිතුවාය .
“ආ හරි අයියෙ”
“දැං කවද්ද ඩිස්චාජ් කරන්නෙ”
“ඒකනම් දන්නෙ නෑ”
ඉරේෂා ට උවමනා මේ කතා ව ඉවර කිරීමට උවත් ඉන්දික නික්මයන බවක් නැත.
“මම දවල්ට එන්නම් එහෙනම් “
“අනේ කරදර වෙන්න එපා අයියෙ”
“මොන කරදරයක් ද පැටියො”
මම තමුසෙගේ පැටියා උනේ කවද්ද .
“මොකක්ද කිව්වෙ”
ඉරේෂා ගෙ වෙනස ඉන්දික හඳුනා ගත්තේ ය.
“හරි හරි මම් ගිහින් එන්නම් “
යන්නට හැරී ඉන්දික ඉරේෂා ගේ හිස මත අත තැබුවේ ය.ඈ ගස්සා ඉවත බලා ගත්තේ මෙය ප්‍රශ්න ඇතිකර ගැනීමට සුදුසු ස්ථානයක් නොවන නිසාය .මේ හැමදේම කරන්නේ අම්මා ය.කලින් කියා ගිය විදියට ඉන්දික ගෙන්වා ගන්නට ඇත්තේ අම්මා විසිනි.