දහතුන්වන පරිච්ඡේදය
වාහනය වේගයෙන් ඉදිරියට ඇදේ .ඉරේෂා කවුලුවෙන් පිටත බලා සිටියා විනා කාත් සමගවත් කතාවට නොගියාය.අම්මා හා අප්පච්චි පසුපස අසුනේ හිඳ මොනවාදෝ මුමුණන හඬ ඇසුනත් ඈ නෑසුනා සේ සිටියාය.ඉන්දික උදව්වට ආවේ හිතේ තව අරමුණක් ද ඇතිවය.පෙරදා අප්පච්චි බේරා ගැනීමට ඔහුට කතා කිරීමෙන් කරගත්තේ මෝඩකමකි.එදා ඇතිවූ භය නිසා ඒ තීරණය ගත්තද ඉරේෂා අද ඒගැන දහස් වර පසුතැවුනාය .දුකට කාරනාව නම් අම්මාත් දැන් ඉන්දිකගේ පැත්ත ගැනීමය.දරුවකු ජාතක කරන්නට පින් නැති තමා දීගයක දීමට නොලැබෙතැයි ඈ දුක් වනවා ඇත.වැලේ ගෙඩි වැලට බර නැතැයි කීවද දැන් තමා පවුලට බරකි.කඳුළු ආවේ එලෙස සිතුණු නිසාවෙනි.
ඉන්දික ට ඉරේෂා ළඟින් වාඩි වී යාමට උවමනා වුවත් මාමා සිටි නිසා මදක් පසුබැස්සේය.දිනක් වෙන එකියක සමඟ සිටියදී මාමාගේ අතට අසුවූවා මතකය.බෝතලයක් හෝ ගෙනවිත් දී ඔහුද දිනාගත යුතුය.
“කොහොමද නංගි අමාරුවක් නෑ නේද”
ඉරේෂා කිසිත් නොකියා නෑසුනා සේ උන්නාය.අම්මා පසු පස සිට ඇඟිල්ලෙන් ඇන්නේ ඈ සිතාමතා ඔහු මගහරින්නට වෙරදරන වග දන්නා නිසාය.අප්පච්චි මේ කාරනාව ට කැමති කරවාගන්නා හැටි තමා දන්නේය.හරි හමන් හේතුවක් නැතිව ඉන්දික ප්‍රතික්ෂේප කරන්නට ඉඩදිය යුතු නැත.
“අර ඉන්දික පුතා මොනවද අහනව?”
“ඉතිං අහගන්න කියන්න..අම්මාගෙත් විකාර වැඩ”
ඉරේෂා ඉන්දික ට නෑසෙන සේ පසුපස බලා කීවේ හිතේ කේන්තිය උත්සන්න වූ නිසාය.
“ලොක්කි උඹ ගානට වැඩියි..මෙච්චර උදව් කරන මනුස්සයා එක්ක වචනයක් කතා කලා කියල ඇගෙන් ඇටයක් යන් නෑනෙ.අනික ඔය හිතේ තියන ඒවම කෙරෙයි කියල හිතන්න එපා”
අම්මා මේ ලෙසින් කතාකරතැයි ඈ නොසිතුවාය.අප්පච්චි ට දුක හිතුනේ ඉරේෂා ඉකිලන විටය.
“මේ කෙල්ලට පාඩුවෙ ඉන්න දෙනව ..ලෙඩා දුකා වෙච්චි එකීට වද දෙන්න හදනව”
අප්පච්චි අම්මාට කිව්වේ ඇස් රවා ගෙනය.
“ඇයි නැන්දෙ මොකද ප්‍රශ්නෙ”
ඉරේෂා හඬා වැටෙනු දුටු ඉන්දික ඇසුවේය .
“නෑ මේ දුවගෙ බඩ පොඩ්ඩක් රිදෙන්න අරන්”
“වාහනෙ නවත්තන්න ද?”
“නෑ නෑ මට අමාරුවක් නෑ යමු ඔහොම”
ඉරේෂා කියවාගෙන ගියාය.
කවීශ අපහසුවකින් තොරවම තම ඉදිරිපත් කිරීම කල අතර කලින් සූදානම් නොවූ බවක් පෙනෙන්නට තිබුණේ නැත.මදාරා දිගින් දිගටම පසුවූයේ සිතේ කුහුලෙනි.කවුද මේ ඉරේෂා ..මාණ්ඩලික රැස්වීම සාර්ථක ව අවසන් වූ පසු කවීශ ට මදාරා ගෙන් කැඳවීමක් ලැබිණි .
“වෙල් ඩන් කවීශ .. දැට් වොස් අ ග්‍රේට් ප්‍රසන්ටේෂන් ,අන්ප්රිපෙයාඩ් බවක් නම් තිබ්බෙ නෑ..”
“තෑන්ක්ස් මැඩම් ..මම කලින් ඉදන්ම මේකට රෙඩි වෙලා හිටියෙ ඒත් සොෆ්ට් කොපි එකයි හරිම ස්ටැටික්ටික්ස් නෑ කියල දැක්කම එක්සයිට් උනා “
“එහෙමද නැත්තම් අර කෝල් එකෙන් පස්සෙ මොනව හරි උනා ද..”
“හිතේ ප්‍රශ්නයක් තිබුණා ඒක විසදුනා “
“කවුද යාලුවෙක් බලන්න හොස්පිටල් ගියා කියල මිස්ට.වීරසිංහ කිව්වා එයාට හොඳද දැන්..සොරි මම නිකමට ඇහුවෙ පර්සනල් දෙයක්නම් මට කියන්න එපා”
“ඉට්ස් ඕකේ මැඩම් .. ගර්ල්ව හොස්පිටල් නතර කරල හිටියා දැන් හොඳයි “
එම වදන් දෙසවන විදගෙන හදවතට ඇතුලුවුවා සේ මදාරා ට දැනුණි ..ගර්ල් ..කලින් නොසිටි ග්‍රර්ල් කෙනෙක් මතුවූයේ කොහෙන්ද..උගුර සිරවී යනවා සේ දැනේ මීළගට එන්නේ කඳුළු ය .කවීශ ට ඒ බවක් නොපෙන්වා සිටීමට ඈ වෙර දැරුවාය.
“ඕකේ යූ කැන් ලීව්”
මදාරා ගේ වෙනස කවීශ හඳුනාගත්තත් කිසිත් නොකියාම ඔහු නැගිට ආවේය.ඈ තමා කෙරේ හැඟීමක් දරා සිටි බව නොරහසකි .එහෙත් තමාගේ සිත තුළ කිසිදා එවන් අදහසක් පහළ වී නොමැත.දැන්වත් ඈ තමා කෙරේ බලාපොරොත්තු තබා නොගනීවි.හැමදේම වෙන්නේ හොඳටය.
ඉරේෂා කිසිත් නොකාම නින්දට වැටුනේ ගතේ තෙහෙට්ටුවත් හිතේ වේදනාවත් නිසාවෙනි .කවීශ මල්ලී ට කෙටි පණිවිඩයක් තැබුවේ නිවසට ආ බව පවසමිනි.අම්මා අප්පච්චි සහ ඉන්දික සාලයේ කතාබස් කරමින් සිටිනු ඇසේ.තිදෙනා එක්ව මගේ ආදරය බිඳින්න කුමන්ත්‍රණ කරනව ඇති.ජීවිතේ මේ යැයි කියා සතුටක් ලැබුණේ කවීශ මල්ලීගේ ආදරය නිසාවෙනි .ඔහුගේ උණුසුම් පිරිමි හිත ළඟ මියෙනා තුරු හිඳින්නට පැතුමක් ඇත.ඔහු සමීපයේ ඉන්නා විට හිතට දැනෙන්නේ තමා ආරක්ෂිත බවකි.ගැහැනියක ට ජීවිතේ අවශ්‍ය ආදරයත් ආරක්ෂාවත් නොවේද.
“ඉන්දික පුතා තාමත් අපේ දුව ගැන හිතාගෙන ඉන්නව ද?”
අම්මා අසන්නෙ ඉන්දික ට තේ කෝප්පයක් පිළිගන්වන ගමන් ය.
“ඒකේ වෙනසක් නෑ නැන්දෙ නංගි කැමතිනම් මම හෙට උනත් කැමතියි කැන්දන් යන්න”
අප්පච්චි කතාවට සවන් යොමාගෙන සාලයේ උලුවස්සට හේත්තු වී ඈත බලා සිටියේය.විවාහය යනු හොඳින් සිතා බලා ගත යුතු තීරණයකි.බටහිර රටවල මෙන් නොව ශ්‍රී ලංකාවේ සමාජ සංස්කෘතික රාමුව තුළ විවාහය යනු ගැහැනියකගේ අනාගත ජීවිතය ම තීරණය කරන සාධක යකි.බැන්දායින් පසුව පිරිමි හදාගන්නවා යැයි සිතීම විහිලුව කි.සුරාවත් ,වෛශ්‍යාවත් ,සූදුවත් පිරිහීමේ දොරටුය.මේ කෙසේ වෙතත් කවා පොවා උස් මහත් කල පලියට දරුවන්ගේ ජීවිත අරභයා තීරණ ගැනීමට දෙමාපියනට තනි අයිතියක් පවරා නැත.
“මේ කලබලේ ඕවට ඉක්මන් වෙන්න ඕනෙ නෑ ලොකූ සනීප වෙනකල් පොඩ්ඩක් ඉම්මු අපි”
අප්පච්චි හඬ අවදිකලේ බොහෝ වේලා කල්පනා කිරීමෙන් පසුවය.තමා හා සාඛච්ඡා නොකරම තම බිරිඳ තීන්දු තීරණ ගැනීමත් වැරදිය.
“එහෙම හදිස්සියක් නෑ මාමෙ..කලින් වතාවෙත් ඉතිං නංගිගෙ අකමැත්ත නෙ තිබුණේ “
“අපි බලමුකො “
අම්මාගේ දෑසේ ඇත්තේ බලාපොරොත්තුවකි .
මදාරා නියමිත වේලාවටත් කලින් කාර්යාල යෙන් පිටව ආවේ තවත් එතැන රැඳෙන්නට තරම් මානසිකත්වයකින් නොසිටි නිසාය.අම්මා බලන්නට ගිය දවසෙ කිව්වේ පෙම්වතියක් නැතැයි කියාය..එච්චර ඉක්මනට කවුරුත් හොයාගත්තෙ කොහොමද ..හිතේ පිරෙන්නේ නම නොදත් ඈ පිළිබඳව ඊර්ෂ්‍යාවකි.නිවසට ගියේ නිදාගන්නට සිතා වුවත් නිදිමතක් අහලකවත් නැත.ඩැඩීලාත් නිවසේ නැති නිසා මුලු නිවසම පාලුවට ගොසිනි.ඈ පියාගේ පෞද්ගලික රටබීම එකතුවෙන් බෝතලයක් ගෙන තම කාමරය වෙත ගියාය.
කවීශ වැඩ නිමවී නිවසට ආවේ හවස් යාමයේය .අතපසු වූ රාජකාරි කීපයක්ම තිබුණු නිසා ඒවා එකලාසයක් කර එන්නට සිදුවිය.ඉරේෂා අක්කා ගෙදර ගොස් ඇතත් ඈව ඇමතීමට නොහැකි වග කියා ඇති නිසා කෙටි පණිවුඩයකින්ම ඈට පිළිතුරු තැබුවේය.ඊට පිළිතුරු නොලද නිසා ඈ නින්දේ ඇතැයි කවීශ සිතුවේය .ඇඳට වැටි මොහොතේම නින්ද ගියේ ගතේ වෙහෙස නිසාමය.
දුරකථනය නාද වූ නිසා නින්දෙන් අවදි වූයේ ඉරේෂා අක්කා යැයි සිතාගෙනය .වේලාව මධ්‍යම රාත්‍රීය ඉක්මවා ඇත.
“හෙලෝ කවීශ ..”
මදාරා ගේ හඬ කවීශ හඳුනාගත්තත් එහි වෙනසක් ඇත.
“යෙස් මෑම්..”
“අයෑම් සොරි කවීශ ..අයෑම් රියලි වෙරි සොරි අයි කාන්ට් හෙල්ප් මයි සෙල්ෆ්..”
“වට්ස් රොන්ග් ආ යූ ඩ්ර්න්ක්”
“අයි හැඩ් අ ලිට්ල් ඊස් ඉට් ටෘ දැට් යූ ආ ඉන් අ රිලේෂ්න්ශිප්..යූ හැව් අ ගර්ල් ෆ්‍රෙන්ඩ් “
“යෙස් අයි ඈම්..”
“වයි ආයූ ඩුඉන්ග් දිස් ටු මී කවීශ ..”
මදාරා හඬාවැටෙන හඬ කවීශ ට ඇසුනත් කුමක් කියන්නදැයි සිතාගත නොහොකිව මදක් සිටියේ ය.
“අයි ලව් යූ කවීශ ..අයි ලව් යූ අ ලොට්..ඩෝන් යූ එවර් ලව් මී ..ප්ලීස් ටෙල් යෙස් ..මට ආදරෙයි නේද “
“මැඩම් මම කවදාවත් ඔයාට ආදරේ කලේ නෑ ඉස්සරහට ත් එහෙමයි අයිම් සොරි ඔයා කොහොමත් මොකුත් කතා කරන්න පුලුවන් තත්වෙක නෙවෙයි ඉන්නෙ දැන් නිදාගන්න අපි හෙට කතා කරමු”
“ප්ලීස් ඩෝන්ට් මිස් අන්ඩස්ටෑන්ඩ් කවීශ සොරි ඔයාට ඩිස්ට්ර්බ් කරානම්”
ඈ නැවතත් හඬාවැටුනාය.