ඕනෑ යකෙක් එළවනවා ඕනෑ ලෙඩක් සුව කරනවා
ඩෙන්න ඩෙනා... නා... ඩෙන... ඩෙන...
ඩෙන්න... ඩෙනෝ...
අනාදිමත් කලක සිට අපේ ගම්වලින් මහා රාත්‍රියේ ඇසුණු මේ යක්බෙර හඬ මැකී යන දවස අත ළඟය. මා එසේ කියන්නේ මිනිසුන්ගේ රීරි මාංශ උරා බිව්, ඔවුන් දෙතිස් වධයට ලක් කළ මහසෝනා රීරි යකා මස් මාංශයෙන් තොරව හත් මාළුවට රතු බතට පුරුදු කරන විශේෂ දෙවොලක් ගැන ඇසීමෙනි. සුදුසු වේලාවක් බලා බුදුන් දෙවියන් මතු නොව යකුන් යක්ෂණියන් පුදන ශ්‍රී ලංකාවේ එකම භූත දේවාලයට මම ඉකුත් දා ගියෙමි. කළුතර දිස්ත්‍රික්කයේ වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයට නුදුරු හබරලගහලන්ද ගමේ පිහිටා ඇති සිද්ධ සූනියම් ගම්භාර දෙවියන්ගේ දෙවොල මේ මහා භූත දේවාලයයි.
ඒ ගැන කියන්නට කලින් මට ඔබට කීමට විශේෂ කතාවක් තිබේ. එංගලන්තයේ බකිංහැම් මාලිගයට කිට්ටු තැනෙක කාලයක් වසා තිබුණු කාමර තිස් ගණනකින් යුත් පාළුවට ගිය දෙමහල් මන්දිරයක් තිබිණි. මෙය භූතයන්ගේ පාරාදීසයක් යැයි රට පුරා කතාබහ ඇතිවී තිබීමෙන් එහි හිමිකරුවන්ට මේ මන්දිරය වටිනා මුදලකට විකුණා ගන්නට නොහැකි විය.
මේ අතර අවුරුදු හතක් සහ පහක් වන දියණියක හා පුතකු සිටින සිවිල් ඉංජිනේරු යුවළකට නිවසක් අවශ්‍ය විය. ඔවුහු මේ ගැන රට පුරා විපරම් කළහ. බකිංහැම් මාලිගය කිට්ටුව ඇති මේ හොල්මන් මන්දිරය ගැන ද ඔවුනට ආරංචි ලැබිණ. හොල්මන් නිසාම මේ මන්දිරය මිලදී ගත යුතු යැයි ඒ මාපියෝ තීරණය කළහ. ඉතා අඩු මුදලකට මන්දිරය ලබාගත හැකිවීම ඔවුන් ඒ සඳහා මෙහෙයවූ තවත් කාරණයකි.
මන්දිරය ඇතුළත බිත්ති දුර්වර්ණව තිබුණෙන් ඒවා නැවත පිරියම් කිරීමට ඔවුහු උත්සුක වූහ. මේ ගෙහිමි කාන්තාව ද යකඩ ගැහැනියකම වූවාය. සැමියා රැකියාවට යවා දරුවන් පාසලට පිටත්කර ඇය දිගු ඉණිමඟක් මැද සාලයේ තබාගෙන එහි නැඟුණාය. ඇය අත පින්සලක් හා සායම් බාල්දියක් ද තිබිණ. එය වාරුවෙන් ඉණිමඟ රඳවා ඇය තම පිරියම් කාරියෙහි යෙදුණාය. පාද බිම අතුල්ලමින් මහා අමිහිරි ශබ්ද නඟමින් කෙනෙකු තම ඉණිමඟ පාමුලට පැමිණෙන බව ඇයට දැනිණ.
ඇය පහළ බලද්දී පෙනුණු දසුන තරමක් භයංකර විය. කොණ්ඩය අවුල් වූ දිලිසෙන රතුපාට ඇස් ඇති කටින් සෙම වැගිරෙන වියපත් මැහැල්ලක් දත් විලිස්සා ඇය දෙස බලා සිටියාය. ඇය මොහොතක්වත් සලිත නොවූවාය.
“අපි කවුරුත් ඉන්න ගෙදරනෙ. ලස්සනට තියා ගනිමු. එහෙම නේද? අම්මේ? ඇය ගණනකට නැතිව ඒ මැහැල්ලගෙන් ඇසුවාය. ඇගේ කතාවෙන් අවතාරය තුෂ්ණිම්භූත වන්නට ඇත. ඇය ගස්සා තවත් අමිහිරි හඬක් නඟා ආවාට වඩා වැඩි වේගයකින් මුළුතැන් ගෙය දෙසට යන්නට හැරුණාය. “ඇයි තරහා වෙලා යන්නෙ. කී දෙනෙක් ගෙදර ඉන්නව ද? මං අහන්නෙ කන්න දෙන්න.” ඉණිමඟ මත මෙතෙක් රැඳීහුන් ගෙදර හිමිකාරිය උස් හඬින් නැවත ඇසුවාය. අවතාරය නොහැරී තවත් හඬ නඟා එක් අතක් ඔසොවා ඇගිලි හතරක් දිගුකර පෙන්වූවාය. මේ කතාව ඔබ විශ්වාස නොකළත් සැබෑම සත්‍යයකි.
ඉන්පසු ඒ සිවිල් ඉංජිනේරුවරයාත් සිවිල් ඉංජිනේරුවරියත් මුලින් කී අවතාරවලට තම ගෙදර පසුපස තැනක තමන් භුක්ති විඳින ආහාර කොටසක් පිඟන් හතරකට දිනපතා බෙදා තැබුවාය.
ඔවුන් මැද සාලයේ සෝපාවේ අසුන්ගෙන සිටින විට තවත් කිසිවෙකු එහිම අන් තැනක අසුන් ගත්තාක් මෙන් සෝපානයේ එම කොටස ගුලි ගැසුණේය. එම ලකුණින් කියවුණේ කවුරුන් හෝ එහි බර වූ බවයි. එවිට ඔවුහු “ඔයත් අපිත් එක්ක ඉන්න ආවාදැයි” සිනාවී ඇසූහ. සමහර විට මේ මන්දිරයට අමුත්තකු පැමිණි විට පොත් රාක්කයේ ඇති සමහර පොතක් ඉගිලවිත් අමුත්තාගේ මුහුණ ඉදිරියෙහි එහි පිටුවලින් තටු ගසා නැවත තිබුණු ආකාරයෙන්ම පොත් රාක්කයට යයි. අමුත්තා බියපත් වූවත් ගෙදර අය කීවේ “ඒ අපේ යහළුවෙක්” කියා පමණි. ටික කලකට පසු මේ භූතයින් ගෙදර වැසියන් සමඟ සමීප කුළුපග මිතුරන් බවට පත් විය.
ගෙදර හිමිකරුගේ දරුවා පාසල නිමවී පාසල් බසයෙන් එන විට අතරමඟදී එම වාහනය ක්‍රියා විරහිත විය. රියදුරු මාපියන්ට දක්වන්නටත් පෙර ගෙදර දරුවන් රැගෙන ආච්චි අම්මා කෙනෙකු මේ මන්දිරයට පැමිණි බැව් කියැවේ. ඒ ආච්චි අම්මා මුලින් තමා ඉණිමඟෙහි දුටු ආච්චි අම්මා බව දරුවන් කී තොරතුරු අනුව ගෙදර හිමිකාරිය තීරණය කළාය. මෙවන් සිද්ධි බොහොමයක් පසුව ඒ නිවසින් ආරංචි විය.
වචනයේ බලයෙන් බොහෝ අවි ආයුධ ඇතිව තමන් නසන්නට එන ඕනෑම හමුදාවක් පවා නැවැත්විය හැකි යැයි මහත්මා ගාන්ධි තුමා වරක් ප්‍රකාශ කළේය. බුදුන් වදාළ මෛත්‍රි කරුණා ගුණයෙන් යක්ෂයින් පවා දමනය කළ හැකි බව ඉහත කතාවෙන් පෙනේ. මුලින් කී දෙවොල ද මේ ප්‍රතිපත්තියේම පිහිටි බව කීම අතිශයෝක්තියක් නොවේ.
මෙය මිථ්‍යාවට ඔබ කැඳවන වෙළෙඳ දැන්වීමක් නොවේ. බුද්ධ බලය මෛත්‍රි බලය දෙවියන්ගේ ආශිර්වාදය පිළිබඳ කතාවකි. කට්ටඩියන් කූට උපක්‍රම වලින් මිනිසුන් ගසා කෑ යුගයට තිත තබන කතාවකි.
මෙහිදී තමාට වින කරන යකුන් එළවීමට ප්‍රේතයන්, භූතයන්, කුම්භාණ්ඩයන් පළවා හැරීමට ලක්ෂ ගණනින් මුදල් ඉල්ලන්නේ නැත. ඔබට වැය වන්නේ බෝධි පූජාවට හා බුද්ධ පූජාවට අවශ්‍ය තෙල් මල් පහන් හඳුන්කූරු පමණකි. යකුන් එළවන්නට නම් හත් මාළු පිදේනිය හා රතු බත් අවශ්‍යයය. සූනියම් දෙවියන්ට පළතුරු වට්ටියක් හා බුලත් කීපයක් මත දේවාලයේ දියුණුවට සුළු පඬුරක් තැබිය හැකිය.
ගම්භාර සිද්ධ සූනියම් දෙවොලේ කපු මහතා ඩබ්ලිව්. කේ. සොයිසා මහතා ගෙන් ඉතිරිය අසමු. “මං ඉස්සෙල්ලම කළේ ලේක්හවුස් පත්තර නියෝජිත රැකියාවක්. 89 දී භීෂණය නිසා ඉතිරි වූ නියෝජිතයන් දහහතර දෙනාගෙන් කෙනෙක් මම. මට දැන් අවුරුදු 62 යි. මේ සේවාවට බැහැලා දැන් අවුරුදු 23 ක්.
මං පුංචි දවසෙ ඉඳන්ම ගම්භාර දෙවියන්ට ආදරෙයි. ගෙදර ආහාරයට පාන් දෙකක් ගේන තැනේ දී පාන් ගෙඩියක් ගෙනවිත් අනෙකෙන් මං සූනියම් දෙවියන්ට පහන් පත්තු කළා. මුලින්ම මේ ඉඩම පර්චස් දහයක් මං ගත්තෙ ගෙවීමේ ක්‍රමයට.
පර්චස් එකට රුපියල් හාරසියයි. අද මේ ඉඩම පර්චස් පනහක් වෙලා. අන්තිම පර්චස් දහය ගත්තෙ රුපියල් හැත්තෑ දහස ගණනේ. මුල් කාලයේ මේ පැත්තෙ ලයිට් නැහැ. මං කළුවරේ. රාත්‍රියේ ගම්භාර දෙවියන්ට පහන් පත්තු කරද්දි මිනිස්සු මට පිස්සා කිව්වා. මගේ පැත්තට ගල් කැට කැබැලිති ගැහැව්වා. දැන් ඒ මිනිස්සුම මගේ ප්‍රධාන දායකයෝ වෙලා.
මගේ බෝධිය ළඟ මුලින්ම මම බෝධි පූජාව කරනවා. බුද්ධ මන්දිරයේ බුද්ධ පූජාව තබනවා. ඊළඟට මගේ ඉෂ්ට දෙවියා ගම්භාර සූනියම් දෙවියන්ට පූජා තබනවා. කතරගම පත්තිනි විෂ්ණු වගේ ප්‍රධාන දෙවිවරු හැමටම මං උදේ හවා වෙනම කුටිවල පහන් තබනවා.
පින් පෙත් දෙනවා. ඒ විතරක් නෙමේ මහා භද්‍රකාලී සොහොන් කාලි කඩවර විතරක් නෙමේ මහ සොහොන් දේවතාවට රීරියකා දේවතාවට භූත පින්වතුන්ට මං කෑම බීම තියනවා. පැන් කෝප්ප තබනවා. හඳුන්කූරු මල් පහන් පුදනවා. බුදුන්ට දෙවියන්ට වගේම යකුන්ටත් මම මෛත්‍රි සහගතයි. සල්ලි බලාගෙන නෙමෙයි වැඩ කරන්නේ. කැමැති නම් දේවාලයට සුළු පඬුරක් තිබ්බට කමක් නැහැ.
මේ අවුරුදු විසිතුනට මං යකුන්, ප්‍රේතයන් දස දහස් ගණනක් එළවා ඇති. මේ විශ්වයේම ඉන්න භූතයෝ මගේ භූත කාමරයට මං කැඳවනවා. ඒ අයට උදේ හවා පින් පෙත් දෙනවා. ඒ ආත්ම සුවපත් කරන්ඩ. මිනිසුන්ගේ ආත්මයට සැනසිල්ල දෙන්න මං කැපවෙලා ඉන්නවා.
මේ ඔක්කොම කරන්නේ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්ට. නව ග්‍රහ පූජාව මම වෙනම කරනවා. අවුරුද්දට සැරයක් ගිනිමැළයක් ගහලා ගිනි පෑගීමත් කරනවා. මගේ දුවයි පුතයි දැන් දෙන්නම තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවෝ. ඒ අය වෙනම ක්ෂේත්රවල හිටියත් මගෙන් පස්සේ මේ සේවාව කරන්න පුතා කැමැති වේවි. එයා අවුරුද්දට සැරයක් ගිනිමැළය පාගන්ඩ නම් දැනටත් එනවා.
ඔබතුමාගේ ගම්භාර දෙවොලේ හාස්කම් එකක් දෙකක් කිව හැකිදැයි මම අසමි.
මගේ සේවාවට මිනිස්සු මට ඉඩකඩම් දීලා තියෙනවා. කිසිම බලාපොරොත්තුවක් නැහැ. නිර්වාණය දකිනකම් මරණින් මතු දේව ආත්මයක් පතන මට ඒවා ගැන ලොකු හැඟීම් නැහැ. එහෙත් මහත්මයෙක් කොබෙයිගනේ ප්‍රධාන පාරට යාබදව මට ඉඩම් අක්කරයක් දුන්නා.
මං ඒකෙත් ගම්භාර දේවාලයක් හැදුවා. සඳුදා, අඟහරුවාදා වැඩ කරන්නේ එහෙ. බදාදා සෙනසුරාදා ඉරිද මෙහෙ ඉන්නවා. එක දවසක් කොබෙයිගනේ දේවාලය හදන්න මට වැලි නැහැ. වැලි ගෙනයාම තහනම් යුගයක් ඒක.
මං ගම්භාර දෙවියන්ට දේවාලය හදන්න වැලි නැහැ කිව්වා. පොලීසියෙන් අල්ලන නිසා හොර පාරෙන් රෑට වැලි ලොරි එක දෙක යනවා.
දවසක් මේ වැලි ලොරියක් දේවාලය ඉදිරිපිටම කැඩිලා. පොලීසියෙන් අල්ලාවි කියලා බයට ඒ දේවාලයේ මුරකරුවාගෙන් ඒ රියදුරා අහලා වැලි ටික මෙහි වත්තෙ බාන්න ද කියලා. ආයෙත් ගෙනියන්ඩ. මුරකාරයා මට දැනුම් දුන්නා. මාත් ඉක්මනට ගියා. ගිහින් කීවා මේක එවල තියෙන්නෙ ගම්භාර දෙවියෝ.
දැන් ඔයා කාර්මිකයො දාලා හැදුවට ලොරිය ‘ඉස්ටාට්’ වෙන්නෙ නැහැ නේද? දේවාලයට මුදලකට වැලි ටික දෙන්ඩ කියලා මං කිව්වා. මිනිසා වැලි ගෙනාපු ගාණටම මට දුන්නා. පුදුමය කියන්නේ ගනුදෙනුව අහවර කරලා මොහොතක් ගියේ නැහැ ලොරිය පණගැන්වුණා. සූනියම් දෙවියෝ මතු බුදු වන කෙනෙක්. එතුමා බුදු වන බෝධිය වීර ගහටත් මං පුදනවා. මගේ බලාපොරොත්තුව එතුමාගෙන් බණ අහල නිවන් දකින්ඩ.
තව එක සිද්ධියක් කියන්නම්. මට තියෙන්නේ පෙට්‍රල් කුඩා වාහනයක්. ඒක ඩීසල් වාහනයකට මාරු කරන්ඩ පුළුවන් කිව්ව හන්ද මං නුවර ගියා. වාහන විකුණන තැනකට. මගේ වාහනය කලින් යැව්වා. ගියාම කිව්වා ඩීසල් වාහන ඕන නම් සල්ලි අරන් එන්ඩ කියලා.
කලින් කී කතාව වෙනස් වුණා. මං කපු මහත්මයෙක් කියලා එයා දන්නවා. මං බැරිම තැන මගේ වාහනය ඉල්ලුවා. ඒ මනුස්සයා ඒක විකුණලා ඉවරයි කිව්වා. මට අවශ්‍ය වුණේ මගේ වාහනයවත් ලබා ගන්න. එයා ඒක හැංගුව ද දන්නෙත් නැහැ. මං පැත්තකට ගිහින් වාඩිවෙලා මහසෝන් දේවතාවටයි රිරීයකා දේවතාවටයි කිව්වා මං අද ගෙදර යනවා නම් යන්නේ මගේ වාහනයෙන්. යම් විදිහකින් බස් එකෙන් ගෙදර ගියොත් මීට පස්සෙ කවරදාවත් ඔබ වහන්සේලාට මල් පහන් පුදන්නෙ නැහැ කියලා.
විනාඩි දෙකක් ගියේ නැහැ අර වාහන ආයතනයේ හිමිකරුට දුරකථන ඇමතුමක් ආවා. මිනිහා කලබල වෙලා මගෙන් උදව් ඉල්ලුවා. එයා එයාගේ වාහනයේ මාවත් දාගෙන ගෙදර දිව්වා. එයාගේ නෝනා තුන්මුනින් දහඩිය දාගෙන දත කට මූට්ටු වෙලා බිම වැටිලා ඉන්නවා. මගේ යටි සිත දන්නවා සිද්ධිය. මං දේවතාවන් සිහි කරලා ඔළුවට බුලත් කොළයකින් අත තිබ්බා විතරයි නෝනා නැඟිට්ටා. මහත්තයා මගෙන් සමාව ඉල්ලලා මගේ වාහනය මට ගෙදර යන්න ලබා දුන්නා.
මේ විස්මිත කපු මහතා ගේ වික්‍රම ගැන පරිච්ඡේද ගණනාවක් ලිවිය හැකිය. එහෙත් මින් සේවාව ලැබු කිහිප දෙනෙකුට ඉඩ දීම සුදුසු යැයි මට සිතේ.
නුවරඑළියේ යෝජිත රජයේ රෝහල අධීක්ෂණය කරන ව්‍යාපෘති ඉංජිනේරු ධම්මික නුවර රෝහලේ හෙදියකව සිට දැන් රැකියාවෙන් ඉවත්ව ඇති තම බිරියත්, පුංචි පුතාත් සමඟ එහි පැමිණ සිටියේය. ඔහු කී කතාව අපූරුය.
මගෙ පුතාට දැන් වයස 04 යි. අවුරුදු 2 පමණ කාලෙ ඉඳන් එයාට ගුද මාර්ගයේ අමාරුවක් තිබුණා. ශරීර කෘත්‍යය කටයුතුවලට යනකොට ලේ වහනය වෙනවා. ප්‍රතිකාර ගන්න නොගිය තැනක් නැහැ. සුපිරි පෞද්ගලික රෝහල්වලට ලක්ෂ ගණන් ගෙව්වා. වැඩක් වුණේ නැහැ. කපු මහත්තයා හම්බ වෙලා රතු බත් පූජාව තියලා ගම්භාර දෙවියන්ට පලතුරු වට්ටියක් පූජා කරලා ඉල්ලා සිටියා විතරයි දරුවා ගෙදර ගිය ගමන් “ටොයිලට්” යන්න ඕන කිව්වා. එදා ඉඳල ලෙඩේ සුවයි. මෙතෙන කෙරෙන දේ ඔය මොනම වෛද්‍ය කර්මයකින්වත් කරන්ඩ බැහැ. ඒ නිසා කෘතගුණ සලකන්ඩ අපි මෙහෙට තාමත් එනවා. කපු මහත්තයගේ සුව දුක් බලන්ඩ.
නාගොඩ පොල්වත්තේ එරංගගේ මව ගැන ඔහු කී කතාව විස්මිතය. නම් ගම් හෙළි කිරීමට ඔහු මඳක් මැළි විය. මෙහි පළ වන්නේ ඊට සමාන නමකි. අපේ අම්මාට අවුරුදු පනහයි. පිළිගන්නවා ද? තොවිල් 14 ක් නටලා තියෙනවා. කට්ටඩියෝ කරන්නේ අවුරුද්දකට ලෙඩේ හිර කරන එක විතරයි.
ලක්ෂ ගණන් ගන්නවා. ලෙඩා දුම්මල වලින් පුච්චනවා. අම්මාව පුටුව යටින් රිංගවනවා. මේ වගේ දස වධ දුන්නත් භූතයා ඇයට නැවත වැහෙනවා. අපට යාන වාහන ඉඩකඩම් තිබුණා. ඔක්කොම විකුණලා අම්මාට තොවිල් නැටුවා. මේ වගේ පින්වත් කපු මහත්තයෙක් අපි දැකලම නැහැ. එතනට ගිහින් රතු බත් පූජාව තිබ්බා විතරයි අම්මා දැන් හොඳ සනීපෙන්. අවුරුදු ගණනක් ගෙවුණත් භූතයා ආවෙ නැහැ.
පොතුපිටියේ නිරෝෂා හා ඇගේ සැමියා වසන්ත කියන්නේ ද මෙවැනිම කතාවකි.
“අපේ ලොකු දුව පන්තියේදී මුලින්ම කලන්තෙ දාලා වැටිලා තිබුණා. එයාට තනිකම් දෝෂයක් කියලා හැමෝම කිව්වා. ඒත් අපි කළේ බටහිර ප්‍රතිකාර. මොන ජගතෙකුටවත්
ළමයාව සුවපත් කරන්න බැරි වුණා. ලොකු ලොකු පෞද්ගලික ඉස්පිරිතාල කිව්වේ ළමයාගේ මොළයේ නහරවල ආබාධයක් කියලයි. නොයෙකුත් බෙහෙත් බිව්වා සනිප වුණේ නැහැ. කපු මහතා ළඟට ගියා විතරයි අනේ දුව සුව වුණා. සල්ලි බලාපොරොත්තු වෙන්නැති මහා පින්වතෙක්.
අවුරුදු 65 වෙන බළන්ගොඩ පුංචි මැණිකෙ මට කතා කළාය. මං දැන් මෙතනට එන්නෙ අවුරුදු ගණනාවක් තිස්සේ. මගෙ දෙපා ආබාධයකට මට වයස 54 දී මෙහාට ආවේ. මගේ ගෙදර තිබුණ කරදර සියල්ලම නැතිවුණා.
කපු මහතාගේ රතු බත් පූජාව ආරම්භ වී ඇති නිසා මම එදෙසට දුවමි. මහාසෝන් දේවතාවාට රතු බත් පුදද්දී නුවරින් ආ දැරියක් ආවේෂ වූවාය. ඇය මෙතැනට යොමුකර තිබුණේ දළදා මාලිගාවේ පත්තිනි දේවාලයේ කපු මහතාය. ආවේෂ කළ ඇයට කපු මහතා මෛත්‍රියෙන් කතා කළේය.
“මේ අහන්න භූත ඇත්තෝ, මේක ගම්භාර දෙවියන්ගේ තැන. ඔබට කොයිතරම් සමාජය අවනම්බු කරනවා ද? දුම්මල ගහනවා ද? පුටුව යටින් රිංගවනවා ද? මහ මුහුදෙ දාලා බෝතල්වල හිර කරලා ආත්මයට හිරිහැර කරනවා ද? අපි මේ කිසි දෙයක් කරන්නෙ නැහැ. මෙහි කෙරෙන බුද්ධ පූජා, බෝධි පූජා පින් අරගෙන හොඳ ආත්මයකට යන්න. මෙහෙ නවතින්න මං දෙන කෑම බීම වලින් යැපෙන්න අවසානයේ මාත් එක්ක ගම්භාර දෙවියන් බුදු වෙන කාලෙදි අපි එක්කාසු වෙලා උන් වහන්සේගෙන් බණ අහලා නිවන් දකිමු.
මෙසේ කපු මහතා කියද්දී ආවේෂ වූ ආත්මය ආතුරයා අතැර යයි. මෙවැනි සිදුවීම් මේ ස්ථානයේ බහුලය. නව ග්‍රහ පූජාව ද බහිරව පූජාව ද මෙහිදී සිදුකිරීම තවත් සුවිශේෂයකි. රවිට කටු ඉඹුල් ගහ ද, සඳුට දිවුල් ගහ ද, කුජට කොළොන් ගහ ද, ගුරුට බෝ ගහ ද, සෙනසුරුට නුග ගහ ද, බුධට කොහොඹ ගස ද, සිකුරුට මඟුල් කරඳ ගහ ද, කේතුට බිම් කෙසෙල් ගස ද, රාහුට වැටකෙයියා ගස ද සිටවා ඒ ඒ ග්‍රහයන්ට මල් පහන් පුදා ශාන්ති කර්ම කරන දිවයිනේ වෙනත් දේවාලයක් මා දැක නැත.
තවත් බොහෝ දේ කිව හැකි වුවද ඔබ මෙහි පැමිණ මෙහි සත්‍ය අසත්‍යතාව සොයා ගැනීමට මම ඉඩ තබමි. යකුන් ප්‍රේතයන් කුම්භාණ්ඩයන් ආදි ඕනෑම කෙනෙක් බුද්ධ බලයෙන් මෛත්‍රියෙන් දිනාගත හැකි බව මේ දෙවොලෙදි මා ප්රත්යක්ෂ කළ වැදගත්ම කාරණයයි.
උපාලි සමරසිංහ
ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්න