හිට්ලර් ගියා... චැප්ලින් ආවා... ලංකාවට ඇඩ්‍රස් නෑ...
“මේ කවුද ? මොනවද කරන්නෙ ?“....... 87 වසරේ රට පුරා එක රැයින් ඇලවූ පෝස්ටරයක දැක්වුණේ එවැනි කියමනකි. එය කවුරුන් ඇලවූවේද, කුමක් අරබයා ඇලවූයේද යන්න එදා මුළු රටම සොයන්නට විය. ඇත්තෙන්ම එය එවක ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ආර්.ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ අංගයක් බැව් ජනතාව දැනගත්තේ පසුවය.
තවත් කළෙක රටපුරා පෝස්ටරයකින් කියවුනේ, “ලක්දිව විකිණීමට අලෙවි නියෝජිතයන් ඕනෑ කර තිබේ“ යන්නයි. ඒ, ‘ලක්දිව‘ පුවත්පත එළිදැක්වීමට පෙර සිදුකළ පූර්ව ප්‍රචාරයක් වුවද, පෞද්ගලීකරණය ඉතා දැඩිව ක්‍රියාත්මක වූ එකල උක්ත වාක්‍යයට වෙනත් අර්ථයක්ද නිතැතින්ම ගැබ්ව තිබූ බව මගේ මතයයි.
ඉන් අනතුරුව දේශපාලන, කලාත්මක, භාණ්ඩ හෝ පුද්ගල පූර්ව ප්‍රචාරනයේදී මෙවැනි ප්‍රචාරන විධි විවිධ අවස්ථාවන්හි භාවිතා විණි.
දැන් රටට යම් කුතුහලයක් ලබාදෙමින් ප්‍රචාරය වන එවැනි වාක්‍ය ඛණ්ඩයකි....“හිට්ලර් ගියා, චැප්ලින් ආවා... ලංකාවට ඇඩ්‍රස් නෑ“ යන්න. මාගේ නිගමනය වන්නේ මෙය බොහෝ විට චිත්‍රපට හෝ නාට්‍යයකට අදාල පූර්ව ප්‍රචාරයක් ය යන්නයි.
එම පූර්ව ප්‍රචාරය කලා ඉසව්වක් වෙනුවෙන් වුවද, මෙරට වත්මන් තත්වයට සමපාත කිරීමට වුවද යම් කෙනෙකුට හැකියාවක් නැත්තේද නැත.
මෑත අතීතය දෙස බලන කල, මෙරට ජනතාව ඒකාධිපති පාලනයක් ඡන්දයෙන් පහකළේය. ඒ අනුව, ‘හිට්ලර් ගෙදර ගියේය‘. එහෙත් රටම බලාපොරොත්තු වූ යහපාලනයක් වෙනුවෙන් නව නායකයෙක් හා රජයක් පත් කර ගත්තේය. එය, ‘චැප්ලින් කෙනෙකුගේ පැමිණීමක් ලෙස මා තවමත් නොසිතමි. එහෙත් නෙක නෙක විඩගම්, පුරාජේරු, කයිවාරු හා තොරොම්බල් හැරුණු විට වැදගත් යමක් සිදු වෙමින් නොමැති බව ජනතා විශ්වාසයයි. ඒ අනුව, මේ වන විටත් ලංකාවට ඇඩ්‍රස් නැති බව නම් නොකියාම බැරිය.
එබැවින්, “හිට්ලර් ගියා.... චැප්ලින් ආවා.... ලංකාවට ඇඩ්‍රස් නෑ..“ යන්න ප්‍රහසනමය ඉසව්වක පූර්ව ප්‍රචාරයක්ම වේවා යන්නත්, එය වත්මන් දේශපාලන සන්දර්භයට නොගැලපේවා යන්නත් මාගේ පැතුමයි. !!!