"ඔන්න උඹලා මේ දවස් වල එන්නෙ නැත්තං මං වැඩේ සිකුරාදට දාගන්නම්.."
සාරංග එහෙම කිව්වට ඌ කියපු වැඩේ මොකක්ද කියලා අපි දැනගෙන හිටියෙ නෑ.
"සිකුරාදා පිස්සු කරන්න බෑ බං, එදාට විභාගෙනේ.."
"මේක එහෙම වැඩක් නෙමෙයි බං. මං අළුත් එවුන් කට්ටියට කිව්වා කේක් ගේන්න කියලා. උන් ෂුවර් එකට ගෙනෙකි. මං කියන්නං සිකුරාදා ගේන්න කියලා."
සාරංගයා නම් අළුත් එවුන්ව හොදට බයිට් කරනවා. ඒත් අපේ සෙක්ෂන් එකේ කට්ටියට රැග් කරන්න කවුරුවත් ගියේ නෑ. ඉස්කෝලෙ ඇරෙන්න කලින් මං සංජුලාව ආර්ට් ක්ලාස් එකට මාරු කරන වැඩේ නන්දනී මිස්ට කියලා කලා. නැත්තං අර කෙල්ලො දෙතුන් දෙනාම එකතු වෙලා අපේ අම්මට පීනසේ හදවනවා. ගෙදර යන්න කලින් අපි සචීව බලන්න නැටුම් ශාලාව පැත්තෙ යද්දි හංසි මාව දැකලා ලා හිනා පාරක් දාලා ගියා. අපි දවස් දෙකක් එන්නෑ කිව්වම සචීගෙ මූණ ඇඹුල් උනා. අපි ගෙදර ඉදන් පාඩම් කලාට කෙල්ල අක්කා වෙනුවෙන් ප්‍රැක්ටිස් කරන්න එපැයි.
"උඹ කිසි දේකට බය නැතුව ප්‍රැක්ටිස් කරපං. අපි උඹටත් එක්ක පාඩම් කරන්නම්. පුළුවන් උනොත් අචීව බලන්න අපි එන්නම්.."
විහග සචී ගාවට ගිහින් කියද්දිත් කෙල්ලගෙ මූණ හරි නෑ වගේ.
"කමක් නෑ, ඔයාලා එහෙනම් හොදට පාඩම් කරන්නකෝ.."
කෙල්ල ඒක නං කිව්වෙ දුකෙන් වගේ. අපිට කියන්න බැරි අවුලක් තියෙනවද දන්නෙත් නෑ. ඒත ඔය ගෑණු ළමයි ලේසියෙන් හිතේ තියෙන දේවල් කියන ජාතියෙ අය නෙමෙයි. ඉස්කෝලෙ ඇරිලා මං විහග එක්ක පාරට යද්දි නිරෝධ මගේ ළගට දුවගෙන ආවා. විහග ඒක වැඩිය ගණන් ගන්නෙ නැතුව උගේ බයික් එක අරන් එන්න කොමියුනිකේෂන් එක පැත්තට ගියා.
"රන්දු මං අනිද්දා රෑට උඹ එක්ක පාඩම් කරන්න එහෙ එන්නද..?"
නිරෝධගෙ මූණ හැටියට ඌ එන්නෙ පාඩම් කරන්න විතරක් වෙන්න බෑ.
"කිසි අවුලක් නෑ වරෙං.. මටත් තනියෙම පාඩම් කරන්න කම්මැලියි.."
"හැබැයි විහගට කියන්න එපා බං.. මට උඹත් එක්ක ටිකක් කතා කරන්නත් ඕන.."
කොහොමටත් කොල්ලා කියාගන්න බැරි දෙයක් හිතේ තියන් දුක් විදිනවා කියලා මට හිතුනෙ අද ඊයෙ නෙමෙයි. මේ රන්දුත් ඉතිං යාළුවන්ට ඕන සපෝට් එකක් දෙන්න එවරෙඩි.
"ඕකේ මචං.. එනවා නම් පරක්කු වෙන්නැතුව වරෙං.."
එහෙම කියලා මං විහග එක්ක ගෙදර ආවා.
ගෙදර හිටපු දවස් දෙකට මං පහුගිය මාස දෙක තුනටම වඩා වැඩියෙන් පාඩම් කලා. අපේ අම්මලා මේ දවස්වල ටීවී එක උනත් දැම්මෙ ප්‍රවෘත්ති බලන්න විතරයි. අපේ අක්කත් සැරෙන් සැරේට බෙල්ල දාලා බැලුවෙ මං ඇත්තටම පාඩම් කරනවද නැත්නම් නිදිද කියලා බලන්න වගේ. බදාදා හවස් වෙද්දි මං නාලා කාමරේ එහෙම පිළිවෙලකට අස් කරලා තිබ්බෙ නිරෝධ පාඩම් කරන්න එනවා කියපු නිසා. ඌ අපේ ගෙදරට ආවෙ හවස පහට විතර.
"මං හිතුවා උඹ කලින් එයි කියලා.."
මං එහෙම කිව්වෙ ඇත්තටම නිරෝධ එනකල් මං ගොඩක් වෙලා මිදුලෙ බලන් හිටපු නිසා.
"මං අද ඉස්කෝලෙ ගියා. ඒකයි පරක්කු උනේ.."
"අපි කට්ටියම කතා වෙලානේ ගෙදර ඉන්න තීරණය කෙරුවෙ. එහෙම එකේ උඹ මොන මගුලකටද ඉස්කෝලෙ ගියේ..?"
මට මූ එක්ක මාර තරහක් ආවේ. වචනයක් කිව්වොත් ඒක ඒ විදියට තියෙන්න ඕන. අපිට එකක් කියලා මූ හොරෙන් ඉස්කෝලෙ ගිහින්. හැබැයි මගේ ප්‍රශ්නෙට උත්තරයක් නෑ. මේකා බිම බලාගෙන ඉන්නෙ වැරැද්දක් කලා වගේ. වගේ කිව්වට වගේ නෙමෙයි. මූ කලේ වැරැද්දක් තමා. ඒත් ඉතිං මිනිහෙක් ගෙට ගොඩ උන ගමහන් ඇගට කඩා පනින එක හොද නෑනේ. මං ඌත් එක්ක කාමරේට ආවා.
"උඹට කියන්න තියෙන එවා අපි පස්සෙ කතා කරමු. ආ ටවල් එක. දැන් ගිහිං වොෂ් එකක් දාගෙන වරෙන්.."
එහෙම කියලා මං උගේ ඇගට තුවාය දැම්මා.
"උඹට ඇදුමක් ඕනෙද..?"
"එපා බං මං ගෙනාවා.."
නිරෝධ බාත්රූම් එකට ගියාට පස්සෙ මං අම්මට ගිහින් තේ ලෑස්ති කරන්න කිව්වා. අද පාඩම් කරන එක කෙසේ වෙතත් රෑට ඇහැරිලා ඉන්න නම් වෙනවා. නිරෝධ ඇග හෝදගෙන ඇවට පස්සෙ අපි තේ බිලා ආයෙ කාමරේට රිංගුවා.
"උඹේ වැඩ මාර නීට් නේ රන්දු. උඹ පිස්සු නටන විදියට මං හිතුවෙ නෑ මේ තරම් පිළිවෙලට වැඩ කරනවා කියලා.."
නිරෝධ කාමරේ හැම අස්සක් මුල්ලක් දිහාම හොදට බලලා කිව්වෙ පුදුමෙන් වගේ. මගේ කාමරේ මේ තරම් පිළීවෙලට තියාගන්න අපේ අක්කත් මට හෙල්ප් කරනවා කියලා මූ දන්නෑ. ඒත් මට ඕන වෙලා තිබුණෙ ඒක ගැන කියන්න නෙමෙයි. මේකා අද තකහනියක් ඉස්කෝලෙ ගිය එක දැනගන්න.
"මට ඉස්සෙල්ලා කියපං උඹ ඇයි අද අපි කවුරුවත්ම නැතුව ඉස්කෝලෙ ගියේ කියලා.."
"කෝ බං උඹලගෙ අක්කත් ගෙදර ඉන්නවද..?"
මං අහපු දේට මූ කිව්වෙ, යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ කතාවක්. අනික මූ ආවෙ අපේ අක්කව බලන්න වෙන්න බෑ. අපේ අක්කා කරපු උපාධියට අමතරව බී.ඒ එක කරන්නෑ කියලා මට ෂුවර්.
"ඇයි උඹ හිතුවෙ අක්කා පැනලා ගියාද කියලා..? එයා ඇති කාමරේ.. මේ උඹ කියන්න හදන්නෙ අපේ අක්කා ගැන දෙයක් නෙමෙයි නේද..?"
"උඹට පිස්සුද..? මං එහෙම ඇහුවෙ අපි කතා කරන දේවල් එයාට ඇහෙයිද කියලා දැනගන්න.."
"ඒ ගැන බය වෙන්නෙපා. එයාගෙ කාමරේ තියෙන්නෙ උඩ තට්ටුවේ.."
"අපි දැන් පාඩම් කරමු බං.. කට්ටිය නිදා ගත්තම මං උඹට කියන්නම්.."
මේ කතාව එසේ මෙසේ හුටස්පරයක් වෙන්න බෑ. සමහර විට මුගේ පපුවට අනංගයගෙ හීය වැදිලද දන්නෙත් නෑ. මං කොයි තරම් ඇහුවත් මේ යකා මට විස්තරේ කියන්න ගත්තෙ රෑ කෑම කාලත් පැයකට විතර පස්සේ.
"මොනාද බං උඹ ගිය සදුදා ඉදලා ඕක කියන්නං කියලා හගේ ඔළුවත් එක්ක වචල් කරලා තියෙන්නේ. දැන්වත් කියපංකො ඔය අටමගලෙ.."
"මේක උඹට කචල් වෙන්න තරම් දෙයක් නෙමෙයි. මේක මගේ පෞද්ගලික දෙයක්.."
බලහල්ලකො මුගේ කතාව. මෙච්චර කාලෙකට අපි කට්ටිය අතර කිසිම පෞද්ගලික කතාවක් තිබිලා නෑ. අර බස්වල ගහලා තියෙන විදියට අප පෞද්ගලික හෙවත් පොදුයි වගේ තමයි අපේ වැඩ. මේකා කියන මගුලක් කියන්නෙත් නෑ තටමනවා. තව ටිකකින් ගෙදර මිනිස්සුන්ට විතරක් නෙමෙයි මටත් නින්ද යනවා.
"දැන් උඹ ඕක මට අද කියනවද...?"
"මචං මේකයි.. මං.. මං.. කෙල්ලෙක්ට ආදරේ කරනවා.."
දවස් ගානක් හිර කරගෙන හිටපු එක මූ කියලා දැම්මා. සුනිල් මස්සිනා මල් හතයි ආ.. කියලා කටට ආවත් මං නිකං හිටියෙ මුගේ කෙල්ල කවුද කියලා දැනගන්න කල්. තාම අපේ සෙට් එක දීග ගිය එවුන්ට ඉන්නෙ දිනූකයි, අචිනියි විතරයි. විහගයා එහෙම විසිපස්වෙනි වතාවටත් ප්‍රථම ප්‍රේමය වගේ තාම දකින දකින කෙල්ලට ට්‍රයි.
"කියපං ඉතින් ඉතුරු ටිකත්. කවුද ඔය වාසනාවන්ති අලුත් නැවේ කෑල්ලක්ද..?"
"නෑ බං වෙන කෙනෙක්. උඹ හොදටම දන්න කෙනෙක්. උඹත් එක්ක ගොඩක්ම කිට්ටු කෙනෙක්.."
මල කෙලියයි කිව්වලු. මූ කියන විදියට ඔය කෙනා අපේ අම්මා හරි අක්කා හරි වෙන්න ඕන. මොකද මං හොදටම දන්න කියන ස්ත්‍රී පරාණ දෙකකට ඉන්නෙ ඒ දෙන්නා විතරයි.
"එයා තමයි බං... උඹ මේක අපේ සෙට් එකේ කාටවත් කියන්නෑ නේද..?"
දැන් නම් මේ රන්දුගෙ යකා ටොප් ගියර් එකටම නගිනවා. කියන රෙද්දක් තේරෙන්න කියන්නෙත් නෑ.
"උඹ එපා කියනවනම් මං නොකියා ඉන්නම්. හැබැයි මට මුළු සීන් එකම කියපං.. මොන රෙද්දක්ද තටම තටම ඉන්නේ.."
"එයා සචිනි.."
නිරෝධ එක පාරම ඒක කියපුවාම මගේ ඔළුවට කරන්ට් එක වැදුනා වගේ උනා. ඒත් ඒකට හේතුව මටම තේරුණේ නෑ. හැබැයි නිරෝධ කිව්වා වගේ අපේ සෙට් එකේ කෙල්ලො හතර දෙනාගෙන් මං වැඩිපුරම ආශ්‍රය කලේ සචිනිව. ඒ වගේම සචිනිත් අනිත් අයට වඩා මං එක්ක එකතුයි කියලා මං දන්නවා. නිරෝධ ඒ කතාව කියපුවම මගේ හිතට දුකක් ඉරිසියාවක් වගේ කියන්න නොතේරෙන මොකක්දෝ දෙයක් දැනුනා. සචී කියන්නෙ ගොඩක් ලස්සන වගේම ගොඩක් හුරතල් කෙල්ලෙක්.
"මොකෝ බං උඹට උනේ..?"
"නෑ බං මට පුදුම හිතුනා.. දැන් ඔය කතාව සචී දන්නවද..? එයා උඹට කැමතිද..?"
"ඒක තමයි ප්‍රශ්නෙ. මං තාම මේක එයාට කියලා නෑ. මං අද ඉස්කෝලෙට ගියේ කවුරු නැතත් එයා ප්‍රැක්ටිස් වලට එනවා කියලා දන්න නිසා.."
"ඉතිං සචීව හම්බවුනාද..? උඹට අද ඕක කියන්න තිබුනනේ..?"
"පොඩි කාලෙ ඉදලා බං බොලං කියලා ආශ්‍රය කරලා එක පාරටම ඒ මූණ බලාගෙන ඔය වගේ කතාවක් කියන්නෙ කොහොමද..?"
ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. මට දැනගන්න ඕන කරන ප්‍රධානම දේ සචී නිරෝධට කැමතිද කියන එක.
"උඹේ හිතට ඔය වගේ දෙයක් දැනුනෙ කවද ඉදලද..? උඹ ඕක සචීට අගවලවත් නැද්ද..?"
"හිතිලා නං දැන් මාස ගානක් වෙනවා. ඒත් මං මොන විදියට දැනෙන්න ඇරියත් ඒකි තේරුනේ නැති ගානට ඉන්නවනේ.."
"දැන් උඹ කියපං ඕක කියන්න ඇයි මාවම තෝර ගත්තෙ කියලා. මගෙන් මොනවද කෙරෙන්න ඕන..?"
මං වරකට දෙක බැගින් කෑමට පෙර සහ පසු වශයෙන් මුගෙන් ප්‍රශ්න අහගෙන ගියා. හැබැයි වෙන වෙලාවක වගේ විහිළු කරන්න පුළුවන් විදියෙ මූඩ් එකක් මගේ ළග තිබුණෙ නෑ.
"සචී උඹත් එක්ක ගොඩක් ෆිට් නිසා උඹට බැරිද මට සචීගෙ කැමැත්ත අරන් දෙන්න..?"
නිරෝධ කියන විදියට අරං දෙන්න තිබුණා කෙල්ල කැමැත්ත අල්මාරියෙ දාලා අරන් තියලා තිබුණා නම්. ඒත් මේක ඊට වඩා සීරියස් ගේමක් නේ. අනික මූ මාස ගාණක් තිස්සෙ අපේ සචීට අපිටත් හොරෙන් ලයින් පාර දාලා කියලා ඇහුවාම පුදුමත් හිතුණා.
"උඹ මෙච්චර දවස් අගවලත් ඒකි නෝ ආන්ස්වර් නම් මං කෙලින්ම අහන්නම්. හැබැයි ඕවා සේරම ලබන සතියට කල් දාන්න වෙනවා. ඒකිට ඔළුව අප්සට් කර ගන්නෙ නැතුව විභාගෙටයි නැටුම් තරගෙටයි යන්න අපි ඉඩදෙන්න ඕන.."
"උඹ කියන්නෙ ඕක අහපුවාම සචිනිට අප්සට් යයි කියලද..?"
ඕක අහලා මං මේ තරම් අප්සට් ගියානං සචී කොයිතරම් අප්සට් වෙයිද කියලා මට හිතාගන්න බැරි උනා.
"නෑ නෑ කෙල්ලට මේ ටිකේ තියෙන ප්‍රෙෂර් එක වැඩියි නේ. ඉතිං අපි ලබන සතියෙ කියමු. උඹට සචීව දවස් දෙකක් බලන්නෙ නැතුව ඉන්න බැහැ නේද..?"
නිරෝධ අද ඉස්කෝලෙ ගියා කියපු කතාව මතක් වෙලා මං ඇහුවා.
"දවස් දෙකක් නෙමෙයි බං එක දවසක් නොදැක ඉන්න බැහැ. ඊයෙ හවසත් දිනූක අචිනිව බලන්න යනවා කිව්වම මං ඌ එක්ක ගියා. අපිට හැම සෙනසුරාදා ඉරිදටත් සචීව ක්ලාස් එකේදි හම්බවෙනවනේ.."
ඕනම හයිරං කාරයෙක් ආදරේ ඉස්සරහ බොළද වෙනවා කියන එක නිරෝධගෙ කතාවෙන් තව දුරටත් ඔප්පු උනා. අපි දෙන්නා රෑ එකත් පහුවෙනකල්ම කලේ සචී ගැන කතා කරපු එක. මේ වෙද්දි කෙල්ල නිදි නැතුව දිගට හරහට හචිං යවනවා ඇති.
කතා කරලා ඉවරවෙලා, පාඩම් කරන්න හැදුවට දෙන්නටම පාඩම් කරන්න තරම් හිතක් තිබුණෙ නෑ. අපි හෙට ඉස්කෝලෙ යන්න ඕන නිසා නිදාගන්න ඇදට ආවා. ටිකක් වෙලා යද්දි නිරෝධට නින්ද ගියාට මගේ නින්ද නම් අහලකවත් තිබුණෙ නෑ. නිරෝධගෙ කතාවෙන් පස්සෙ මගේ මුළු හිතේම හොල්මන් කලේ සචිනි.
මේ අවුරුදු දහ අටටම මං කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටියෙ නෑ. මං ආශ්‍රය කරපු කෙල්ලො හතර දෙනාගෙන් වැඩි පුරම ළං වෙලා හිටියෙ සචිනිට. ඒ ලෙවල් වලදි මහේෂයි සචිනියි විතරක් අපේ පංතියට ආපු එකෙන් ඒ බැදීම තවත් වැඩි උනා. පස්සෙ ඉස්කෝලෙදි පංති යද්දි උනත් මං පුළුවන් හැම වෙලාවෙම එයාලව පරිස්සම් කලා. හැබැයි යාළුකම, සහෝදරකම ඇරුනම වෙන දෙයක් මට දැනුනද කියලා මංවත් දන්නෙ නෑ. දිනූක අචිනි එක්ක යාළු උනාම මට මේ විදියෙ දෙයක් දැනුනෙ නැතිව සචිනි ගැන විතරක් ඊරිසියාවක් දැනෙන්නෙ ඇයි..? මගේ හිත මටත් හොරෙන් සචිනිට ආදරේ කලාද..? කියන ප්‍රශ්නෙත් මගේ හිතට ආවා. ඒ එක්කම මට මතක් උනේ නෙත්මිව. හැබැයි අද ඊයෙ අදුනගත්තු නෙත්මි මොන වගේ කෙල්ලෙක්ද කියලා මං තාම දන්නෑ. සමහර විට නෙත්මිට ගමේ කොල්ලෙක් ඉන්නත් පුළුවන්. අනික එයාගෙ රූපෙ ගැන ආසාවක් හිතුනට මට එයා ගැන ආදරයක් දැනිලා නැහැ. ඒ වගේද සචිනි, මං පුංචි කාලෙ ඉදලා දන්න හොද ගතිගුණ තියෙන ලස්සන කෙල්ලෙක්. ඉතිං ඒ වගේ කෙනෙක් මගේ හොදම යාළුවෙක්ට ලැබෙන එක ගැන සතුටු වෙන්න ඕන උනත් මටනං පුංචි සතුටක්වත් ඇති වුනේ නැහැ. හැබැයි දැන් මේ රන්දු පරක්කු වැඩියි. කල්පනා කර කර ඉදලා මට නින්ද ගියේ පාන්දර.
"රන්දු... නැගිටපං.."
මං ඇස් ඇරලා බලද්දි නිරෝධ නැගිටලා ලෑස්ති වෙලත් ඉවරයි..
"කීයද බං වෙලාව..?"
"තාම හයයි. මං ගෙදර ගිහින් ලෑස්තිවෙලා ඉස්කෝලෙ යන්නත් ඕනෙනේ. උඹ තව ටික් වෙලා ඉදලා ලෑස්ති වෙයං.. මං ඇහැරෙව්වෙ යනවා කියන්න.."
මූ ඊයෙ හවස ආවෙ අයියගෙ චැලියෙ නිසා ඉක්මනට ගෙදර යන්න පුළුවන්. අනික සචී බලන්න ඔන් නිසා අද යන්නම එපැයි. මට නම් ඇස් දෙක ඇරගන්න බැරි තරම් නිදිමතක් තිබුණේ. මං නැගිටින්න කලිං අපේ අම්මා මූට තේ හදලත් දීලා. ඌ ගියාට පස්සෙ මං ආපහු ඇදට පැන්නා. දන්නෙම නැතුව මට ආපහු නින්ද ගිහින්.
"පොඩි පුතා ඔයා අදත් යන්නෙ නැද්ද..?"
අම්මා කාමරේට ඇවිත් කතා කරද්දි මං උඩ ගිහින් ඇහැරුනේ. ඔරලෝසුව බලද්දි හතයි වෙලාව. දැන් ලෑස්තිවෙලා යන්න කොහොමත් වෙලා මදි.
"මගේ ඇගට ෆිට් නෑ වගේ අම්මා. මං ගෙදර ඉන්නවා.."
මං එහෙම කිව්වට මගේ ෆිට් එක නොතිබුනේ ඇගේ නෙමෙයි හිතේ. ඉසකෝලෙට ගිහින් සචීගෙ මූණ බලන්න බැරි ගතියක් මට දැනුණා. ඒ අතරෙ අම්මා මගේ නළලට අත තියලා බලනවා උණද කියලා. මං එයා දිහාට හැරිලා ඇස් ඇරලා බැලුවා.
"ආ... ඔයාලා ගොඩක් රෑ වෙනකල් පාඩම් කලාද.. ඇසුත් රතු වෙලා.."
"මට නිදියන්න ඕන අම්මා, ඔයා යන්න එපා.."
එහෙම කියලා මං අම්මගෙ ඉන වටේට අත්දෙක දාලා එයාගෙ ඔඩොක්කුවට ඔළුව තියාගත්තා. රෑ එළිවෙනකල් හිතේ තිබුණ දුක කදුලක් වෙලා පිටවෙලා අම්මගෙ ඇදුමට උරාගත්තා. ඒත් අම්මා ඒක දැක්කෙ නැති එක හිතට ලොකු සහනයක්. නැත්තං ලෙඩක් හැදුනත් අඩන්නෙ නැති පොඩි පුතාගෙ ඇස් වලට කදුලු එන්න හේතුව ඇහුවොත් මට දෙන්න උත්තරයක් නැති වෙනවා. ඇත්තටම මං ළග ඒකට උත්තරයක් නෑ. දිග හුස්මක් පිට කරපු අම්මා ටික වෙලාවකට පස්සෙ මං ළගින් නැගිටලා ගියා. විනාඩි පහක් යන්න උනේ නෑ අපේ අක්කත් ඉස්කෝලෙ යන්න ලෑස්ති වුන සාරිය පිටින්ම කාමරේට දුවගෙන ආවා. අම්මා නිව්ස් එක පත්තරේ දාලා වගේ.
"ඇයි මල්ලි ඔයා අසනීපෙන්ද..?"
එයා ඇවිත් මගේ අත් දෙකෙන්ම අල්ලගනිද්දි මට අක්කා ගැන ලොකු ආදරයක් දැනුනා..
"මං අද නිවාඩු දාන්නම් මල්ලි. අපි දවල් වෙලා බෙහෙත් ගන්න යං.."
මගේ පුංචි වෙනසකට අපේ ගෙදර හැමෝම කලබල වෙලා තව ටිකකින් තාත්තත් එයි මොකද කියලා බලන්න. ඒ නිසා මට ලෙඩක් නෑ කියලා පෙන්නන්න මං ඇදෙන් නැගිට්ටා.
"මට අමාරුවක් නෑ අක්කේ.. ඊයෙ රෑ වෙනකල් පාඩම් කරපු නිසා නිදි මතයි.."
"ඔය ඇත්තමද කියන්නෙ මල්ලි..?"
"ඔව් හලෝ ඔයා වැඩට යන්න.. තව ටිකක් නිදා ගත්තම මේක හරියයි.."
ඒත් අක්කා මං ළගින් නැගිටලා ගියේ අකමැත්තෙන් වගේ. එයා ගියාට පස්සෙ මං මූණ හොදන්න ගියා. නැත්නම් අපේ අම්මා තව පැනඩෝල් පෙත්තක් හරි පොනවනවා. තාත්තයි, අක්කයි වැඩට ගියාට පස්සෙ මං කෑම කාලා පොතකුත් අරන් මිදුලෙ බංකුව ළගට ගියා පාඩම් කරන්න. අටහමාර විතර වෙද්දි අම්මා කතා කලා කෝල් එකක් කියලා. මං ෆෝන් එකට ගියේ මේ උදේ පාන්දර කතා කරන්නෙ කවුද කියලා හිතාගන්න බැරිව.
"හෙලෝ.."
"හෙලෝ රන්දු ගුඩ් මෝනිං.! මං සචිනි.."
මං මහහරින්න හිතං හිටපු කෙනා උදේම කතා කරද්දි මට ලොකු අමුත්තක් දැනුණා.
"ගුඩ් මෝනිං සචී.! ඔයා ඉස්කෝලෙ ගියේ නැද්ද..? කොහේ ඉදලද ඔයා කතා කරන්නේ..?"
"මං ඉස්කෝලෙ ආවා රන්දු. ඔයා ඇයි ආවෙ නැත්තේ..? මං ඔයාට කතා කරන්න ඕන නිසා බොරුවක් කියලා එළියෙ කොමියුනිකේෂන් එකට ආවා.."
ඉස්කෝලෙට බොරු කරලා එළියට ඇවිත් මේ රන්දුට කතා කරන්න තරම් සචීට තියෙන අවශ්‍යතාව මොකක්ද කියලා මට හිතාගන්න බැරි උනා.
"ඇයි සචී මොකක්ද කේස් එක..? "
"රන්දු හෙට විබාගෙට මං එන නිසා නැටුම් ප්‍රැක්ටිස් වලට එනන් බැරි වෙනවනේ. ඒත් කුමුදු මිස් හංසි අක්කට කිව්වා අනිද්දා නුවර යන්න ඕන නිසා හෙට දවසම ප්‍රැක්ටිස් කරන්න කියලා. මං ඔයා එනකල් හිටියෙ හංසි අක්කා එක්ක කතා කරලා මොනවා හරි කරන්න කියන්න.."
"හරි හරි සචී.. මං හංසිට කෝල් කරන්නම්.. ඔයා එළියෙ ඉන්න එපා. ඉක්මනට ඉස්කෝලෙට යන්න.."