"අන්න බෙකම්.."
"කමෝන් හෙළ විරුවා.."
"සුද්දට ගහපං මචං ලොවෙත් නැතිවෙන්න.."
"බෙකම් සුපිරි විදියට දීපං හරිය.."
මහා හයියෙන් ලොවෙත් නැති කතාවක් කිව්වේ, ඇම්ඩා කියලා ඒ පැත්ත බලන්නෙ නැතුවම මං හිතාගත්තා. ඌත් මේක බලන්න ඇවිල්ලද හත්තිල්වවේ.. මේ යක්කු ඔක්කොම අද ගෙවල් වලට යන්නැතුව මොන කෙහෙල් ගෙඩියකට මේකෙ රිංගනවද මංදා..
"නවෝද් ඔයාගෙ ඇක්ට් එක.."
හොල්මන් වෙලා වගේ ස්ටේජ් එක උඩ හිටපු මට, දිල්රංගිගෙ කටහඩ හීනියට ඇහුණා. එයා හිටියෙ, සුද්දා විදියට ඇට් කරපු මංගලගෙ කකුල් දෙක ගාව බිම වැටිලා. තොල කට වේලිලා යද්දි, මං දෙබස් මතක් කරන්න ට්‍රයි කලා.. හෝල් එකේ පිරිලා ඉන්න කොල්ලොයි, දිල්රංගිගෙ ඇස් දෙකයි, මට කිසිම දෙයක් මතක් කලේ නෑ. ඒත් මං වීරයා වගේ සුද්දා ඉස්සරහට ආවා. උගුරෙ සෙම හිරවෙලා වගේ වචන එකක්වත් එන්නැතුව තියෙද්දි ඇම්ඩාගෙ විසිල් එක මට ඇහුණා. ගුණසිංහ සර්රුත් පටන් ගන්න නවෝද් කියලා යාන්තමට කියනවා ස්ටේජ් එක කොනෙන් මට ඇහුණා. කරන්න දෙයක් නෑ.. ඕන ඉලව්වක් මං පටන් ගන්නවා.. ඒත් ඇත්තටම මට දෙබස් මතක තිබුනෙ නෑ. සබකෝලයද ඔන්න ඔය වගේ මොකක් හරි අවමගුලක් හින්දා මට දෙබස් අමතක වෙලා. මං උගුර පාදන්න ගත්තා. ඒ සභාවෙන් හීනියට චියර් පාරක් එද්දි ඒ ක්ලැප් එක ටපන් ගත්තෙ ඇම්ඩා ගාවින් කියලා මට තේරුණා. හිතට ගට අරගෙන මං සුද්දට ළංවුණා. මංගලයා ඔරවගෙන වගේ මං දිහා බලන් ඉන්නවා. ස්ටේජ් එකේ බිම වැටිලා, අසරණ දෑසින් දිල්රංගි බලන් ඉන්නවා..
"හායි සුද්දා.. හව්.. ආ... යූ..."
මගේ කටට ඉස්සෙල්ලම ආවෙ ඒ වචන ටික. එකපාරටම මුළු හෝල් එකෙන්ම ලොකු හිනාවක් ආවා. මට තේරුණා කොහේ හරි වැරදුනා කියලා. මං දිල්රංගි දිහා බැලුවා. එයා බිම බලාගෙන හිනාවෙනවා. දැන් කරන්න දෙයක් නෑ. මං ආයෙත් පටං ගත්තා. කොල්ලන්ගෙ චියර් එක මැද්දෙ මං පැනපු ගමන් සුද්දගෙ පිස්තෝලෙ උදුරගත්තා. මංගලයා පැත්තකට තල්ලුවෙලා ගියා. ඒක පුංචි ඈයෝ සෙල්ලමට වතුර විදින ජාතියෙ තුවක්කුවක්. වතුර ටිකක් පුරව ගත්තා නම් ඇම්ඩට විදින්න තිබුණා.
"කමෝන් බෙකම්.. කමෝන්.. දීපං සුද්දට නොකවුට් වෙන්න."
"ඊට පස්සෙ කෙල්ල ගනින්.. ලොවෙත් නෑ එතකොට.."
සභාවෙන් විවිධ ආරාධනා ගලා එනවා.. මං පිස්තෝලෙ සුද්දට ඒම් කලා.. මංගලයා බයෙන් වගේ මූණත් හදාගෙන පස්සෙන් පස්සට ගියා..
"අඩෝ සුද්දා.. හෑන්ඩ්ස් අප්.."
දෙබස් මෙලෝ දෙයක් මට මතක නෑ.. මමම රචනා කරගත්තු දෙබස් මට ඔහේ ගලාගනෙ ආවා..
"අඩෝ සුද්දා.. කිව්වම අහලා හෑන්ඩ්ස් අප්.. බේබි හෑන්ඩ්ස් අප්.."
මං ඉංශ්‍රීසි සිංදුව පටන් ගනින්දි කොල්ලො හූ කිය කියා හිනා වෙන්න ගත්තා.. සුද්දට හිටපු මංගලයටත් පැලෙන්න හිනා.. දිල්රංගි අත්දෙකෙන්ම මූණ වහගෙන හිනාවෙනවා.. මටත් හිනා ගියා..
"නවෝද්.. මොනවද මනුස්සයෝ ඔය කියවන්නේ..? මේක ප්‍රහසන නාට්ටියක් නෙමෙයි.. දෙබස් මතක නැද්ද.. එම්මා ජාති ද්‍රෝහිය.."
හිනා හඩ මැදේදෙ ගුණසිංහ සර්ගෙ කටහඩ සද්දෙට ගලාගනෙ ආවා.. මං ආයෙත් පිස්තෝලෙ මංගලට දිලා මුල ඉදලම පටන් ගත්තා. දැන් ඉතිං දෙන්නම්කෝ ඇග රිදෙන්න.. සබකෝලයත් ගියානේ..
කොල්ලන්ගෙ හිනා සද්දෙයි, කෑගැහිලියි අඩු වෙද්දි මං දෙබස් පටන් ගත්තා. දිල්රංගිට නම් තාමත් හිනාද කොහෙද..? ඒ ඇස්වලට කදුළුත් ඇවිල්ලා..
"එම්බා.. පරදේශක්කර සුද්දා තා දැන් දෙවියන් සිහිකර ගනුව.."
මංගලගෙන් පිස්තෝලෙ උදුරගෙන මං ඌට වෙඩි තිබ්බා.. තුන්පාරක් විතර වෙඩි තිබ්බා. ඉමාන්ගෙ මියුසික් වලින් ඩිෂුම් සද්දෙ ප්ලේ කරලේ නෑ.. තවත් පාරක් කොකා ගස්සන ගමන් ඉමාන් දිහා බැලුවා.. එතන මොකක් හරි ප්‍රාමාද දෝශයක්.. තවත් බලන් හිටියොත් ආයෙත්කොල්ලො හිනාවෙන්න ගන්නවා.. මං ඉක්මන් උනා.. මගේ ඉනේ පටලවන් හිටපු ලී පිහිය අතට ගත්තා. දැන් දෙන්නම් ජමනාරං වෙන්න..
"ඔයා බයවෙන්න එපා සීදේවි.. පිස්තෝලෙ පත්තු නොවුනට මං මේ පර සුද්දව එලොව යවන්නම්.."
දිල්රංගි දිහාට හරිලා, එහෙම කියාගෙන මං ආයෙත් මංගලයා දිහාට හැරිලා පිහියෙන් ඇනගෙන ඇනගෙන යනවා වගේ ඇක්ට් කලා. ගුණසිංහ සර් උනත් මේ වෙලාවෙ ස්ථානෝචිත අහවල් එකෙන් මං ක්‍රියා කරපු හැටි දැකලා සතුටු වෙයි. ඒත් කරුමෙ කියන්නෙ, මං සුද්දට පිහියෙන් අනින පාරක් ගානේ, ස්ටේජ් එකේ බෆල් වලින් ඩිෂුම් ඩිෂුම් සද්දෙ එන්න ගත්තා. ඉමාන්ට දැන් තමයි මියුසික් සෙට් වෙලා තියෙන්නේ. කොල්ලො ඒ පාර තමයි බඩවැල් එළියට එනකල්ම හිනාවෙන්න ගත්තේ.. ස්ටේජ් එකේ හිටපු අපි හැමෝටමත් හිනා. මං බැලුවෙ ගුණසිංහ සර්ට තදවෙලද කියලා.. මොන.. සර්ටත් හිනා..
නාට්ටියෙ පලවෙනි දවසෙ පලවෙනි රිහසල් එක ඔහොමයි ඉවර වුණේ. මං ගුණසිංහ සර්ට කියලා ආවේ, ජීවිතේට ආයේ ස්ටේජ් එකක් පැත්ත පළාතක එන්නෑ කියලා. ගුණසිංහ සර් මුකුත් කිව්වෙ නැති වුණත්, ආපහු එද්දි ඇම්ඩා නම් කිව්වේ, උගේ ජීවිතේට දැකපු සුපිරිම රංගනයථ මගේ හෙල විරු රංගනය කියලයි. ඌ ඒ වගේ පැලෙන්න හිනාවුණේ ඉදපුණාට පස්සෙ අදලු..
*******************************
හවස ගෙදර එනකොට තාත්තා කලින්ම ඇවිල්ලා හිටියා. අද ෂෝර්ට් ලීව් එකක්වත් දාලා ඇවිල්ලද මංදා. හැබැයි මූ නම් ඒ තරම් හොද තත්වයෙ නෑ. අම්මගෙ මූණෙත් වැහි වලාකුලු දෙක තුනක්ම පායාලා තියෙනවා මං දැක්කා. මොකද අප්පේ මේ කවදාවත් නැතුව.. දෙන්නා මොකකට හරි රංඩුවක්වත් කරගත්තද..? ඒත් ඉතිං.. මගේ මතකයෙ හැටියට එහෙම දෙයක් අවුරුදු ගානකින් වෙලා නෑ. රංඩුවක් වෙනව නම් ඉතිං.. මාව බෙදාගන්න බැරුව තමයි..
"තාත්තා අද කලින්ම ආවද..?"
ආලින්දයට වෙලා මූණත් හතරැස් කරගෙන ඉදපු තාත්තාගෙන් මං මෙනසක් නැතුවම ඇහුවා..
"ඔව්.. මං කලින්ම ආවා.."
තාත්තා ඒක කියපු තාලෙ මට ඇල්ලුවෙ නෑ.. නිකං ගහගන්න වගේනේ හත්තිලව්වේ..
"අම්මේ.. කන්න මුකුත් නැද්දෝ..?"
පොත් ටික මේසේ උඩට අතාරින ගමන් මං කෑගැහුවා. ඒ සද්දෙට හරි, වෙන මොනව හරි දේකට හරි අම්මයි, තාත්තයි දෙන්නම මගේ කාමරේට එබුණා..
"පුතා... අපි ඔයා ගැන කොයි තරම් විශ්වාස කරනවද කියලා ඔයා දන්නවා නේද..?"
අගක් මුලක් නැතුව, ආරාධනයක්, ප්‍රවේශ පත්‍රයක් නැතුවම තාත්තා කතාව පටන් ගත්තා. මොන කෙහෙල් ගෙඩියක් වෙන්න එනවද..? බඩේ බඩගිනන තිබුණත් මං ටිකක් විතර සංසුන් උනා. තාත්තාගෙ කතාවට මං ඔලුව වැනුවා..
"අම්මටයි, මටයි කොයි දේටත් ඉන්නෙ ඔයා විතරයි.. අපේ හැම බලාපොරොත්තුවක්ම ගොඩ නැගිල තියෙන්නෙ ඔයාව මුල් කරගෙන.."
"මං ඒක දන්නවා තාත්තා.."
"ඒක දන්නවා නම් ඇයි අපිට බොරු කරන්නේ..?"
"බොරු කරා..? මං මොකක්ද ඔයාලට කරපු බොරුව..?"
මොන හෙණ ගෙඩියක් පාත්වෙන්න හදනවද කියලා මට නම් තේරුනේ නෑ.. අපේ පංතියෙ මොකෙක් හරි වහුකුනෙක් ගින්නක්වත් දුන්නද මංදා.. මාව ගෙදරින් එළියට ඇදලා දාන තරමේ..
"හොදයි... ඔයා මට ඇත්තම කියන්න ඕන.. ඔයා අද කොහෙද ගියේ..?"
"මං ඉස්කෝලෙනේ ගියේ තාත්තේ.."
"ඉස්කෝලෙ ගියපු එක හරි.. හවස ඔයාට ෆුට්බෝල ප්‍රැක්ටිස් තිබිලා නෑ. ඔයා දවල් ගෙදරවත් එන්නෙ නැතුවයි, කොහේ හරි ගිහින් තියෙන්නේ.."
වෙලා තියෙන දේ මට එක තත්පරේට ඔලුවට වැටුණා. තාත්තා ඔෆිස් ඇරිලා, ග්‍රවුන්ඩ් එක පැත්තෙන් එන්න ඇති.. අම්මයි, තාත්තයි දෙන්නම හිතන් ඉන්න ඇත්තෙ අද මට ෆුට්බෝල් ප්‍රැක්ටිස් කියලා.. මේකා ප්‍රැක්ටිස් යන්නෙත් නැතුව දාර සයිස් වලක් බැහැලා ඇති කියලා..
"කොහේවත් ගියේ නෑ.. මං ගියා නාට්ටියක රගපාන්න.."
"නාට්ටියක්..?"
"ඔව්.. නැත්නම් ඉතිං ස්කූල් යුනිෆෝම් පිටින් කොහේ යන්නද..? මං නියමෙට රගපෑවා අම්මා.."
එතන ඉදල අද නාට්ටියෙ වෙච්ච දේවල් මං එක දිගට කියවගෙන ගියා. අම්මයි, තාත්තයි ඇස්වලින් කදුලු එනකම්ම මහා සද්දෙට හිනාවෙන්න ගත්තා. අර පිහියෙන් අනිද්දි, ඩිෂුම්, ඩිෂුම් සද්දෙ ආපු එක කියද්දි තාත්තා කවදාවත් නැති විදියට, අපි හිනාවෙනවා වගේ හූ තිය තියා හිනාවුණා..
කොහොම හරි දෙන්නා දෙමහල්ලො පැය භාගයක් විතර ඇතිවෙනකල් හිනාවෙද්දි, මට ඒ පැය භාගෙ කුසේ ගින්දරෙන් ඉවසගෙන ඉන්න බැරි උනා.. ඒකෙත් මටම තමා අලාභෙ..
**********************************
වැහිබර කලුවකුත් එක්ක මහා ප්‍රයිඩ් රයිස් දන්සැල දවස උදාවුණා. ඉස්කෝලෙ ඇරුණ ගමන්ම මං ඇම්ඩා හම්බවෙන්න ගියා..
"බෙකම්.. යමුද එහෙනම්..?"
මාව දැක්කා විතරයි ඇම්ඩගෙ කට, කන්දෙක දිහාට ගියා. පොතේ හැටියට නම් මූ වේල් දෙකක්වක් කාලා නෑ..
"යන්න තමයි ආවේ.. මේ කරන උදව්වලට මට කළගුණ සලකපං"
"කළගුණ සැලකීමටනේ බං.. බෑග් එක උස්සලා උඹට දුන්නේ."
"ඒ ඉතිං.. අත්වැරදීමකින්නේ.."
"අන්න.. අන්න.. උඹ ඔය හදන්නෙ මගේ වැඩේ කන්ඩෙම් කරන්න.. ඒවා කැතයි බෙකම්.. ඔය බෑග් එක ඇතුළෙ සමින්දිගෙ යට ඇදුමුත් තිබුණලු නේද..?"
හප්පට ඩෙන.. මේකා ඒ අවිධිමත් ආරංචිය දැනගත්තෙ කොහොමද දෙයියනේ.. පුදුමයි.. මෙච්චර දවසක් ඕක මුළු ඉස්කෝලෙ පුරා ප්‍රසිද්ද නොවිච්ච එක..
"මං දන්නෑ නාලක.. මං ඒක ඇරලා බැලුවෙ නෑ.."
"හෙහ්... උඹ මටත් මොත්තෙ දාන්නයි යන්නේ.. උඹ නම් නිකං ඉදියි.. අර රෝස පාට සමින්දිව හිතේ මවාගෙන යට ඇදුම් ටිනත් තුරුලු කරන් නිදාගන්න ඇති.."
"ෂිහ්.. කැත කතා කියන්න එපා බං.. උඹ හිතුවද මං මානසික අසහාන කාරයෙක් කියලා..?"
"තව ඉස්සරහට එහෙම වෙයි.."
ඕන බලපංකෝ.. මුගේ ගද කතාවෙ හැටි.. මං සමින්දිගෙ ඇදුම් තුරුල් කරන් ඇතිලු.. ටිකින් පැතුමයි, බලයයි අපේ ළගට එද්දි මං වටපිට බැලුවා..
"කෝ මහේල....?"
"ඌ පොඩි ගමනක් ගියා.."
"මොකක්...?"
"ඔව්... පස්සෙ විස්තර කියන්නම් කිව්වේ.."
පැතුමගෙ කතාවට මට තදවුණා. මෙච්චර දවසක් ප්ලෑන් කරලා, වේල් දෙකක් විතර බඩගින්නෙ ඉදලා සිරාවටම කන්න සෙට්වෙන වෙලාවෙ මූ නෑ.. දෙයියන්ට ඇරෙන්න, කාටද අප්පා මේ අවනඩු කියන්නේ..?
"ඌට මොකක්ද පැතුම් මේ හිටපු ගමන් හැදුන වසංගත රෝගෙ..? අනික ඌ මාව කිසිම විදියකින් දැනුවත් කෙරුවෙ නෑනේ.. ඉතිං බලපං ඌ යාලුවෙක්ද කියලා.."
"හරි බෙකම්.. උඹ කලබල වෙන්නෙපා.. ඌට බඩේ අමාරුවක් හරි වෙනත් පස්ස පැත්තෙ අමාරුවක් හරි ක්ෂනිකව හැදෙන්න ඇති.. අනික ඉතිං අපි වගේ යුග පුරුෂයො කීප දෙනෙක් ඉන්දෙද්දි, උගේ ප්‍රයිඩ් රයිස් පිගාන ගැන උඹ වදවෙන්නෙ ඇයි..?"
පැතුමගෙ කතාවෙත් ඇති වැරැද්දක් නෑ.. මේ වගේ අමරණිය අවස්ථාවක හිත සවුත්තු කරගන්න ඕනෙ නෑ.. අනික ඉතිං මේ බෙට් එකෙන් පරදින්නෙ එසේ මෙසේ කෙනෙක් නෙමේනේ අප්පා.. කොන්වන්ට් එකෙ හෙඩ් ප්‍රිපෙට්නේ.. කොහොමද හත්තිලව්වේ ඇගට දැනෙන ඇග කිලිපොලා යන ආස්වාදයි.. ඇග දනවා.. මස් කකියනවා..
"පැතුමා.. උඹේ බෙලෙක්ක සද්දෙ නවත්තපං.. මෙතන උඹට වැඩිය උගත් පුරවැසියො කිප දෙනෙක් ඉන්නවා.. අද බාලයා කිරි සප්පයා වගේ හිටපං.. මහ පඩියා වගේ වෙන්නැතුව.."
ඇම්ඩගෙ මැදිහත් වීමෙන්, පැතුමගෙ චොර චොරේ නැතිවෙලා ගියා. හැබැයි බලයගෙ මූණෙ නම් තිබ්බෙ ගැටලු සහගත පෙනුමක්.. ඌ මොවම හරි කල්පනා කරන හැඩයි..
"මොකෝ චමිල්...?"
"බෙකම්.. උඹ අපේ තාත්තා වගේ.. එක කුසේ උපන්න දහෝදරයා වගේ.. හොද එකා වගේ අපිව දැනුවත් කරපං මේ ප්‍රණිත ආහාර වේල ගැනීමේදි අපි හැසිරිය යුතු පිළිවෙල.."
බලයගෙ ප්‍රශ්නෙ නම් හොදයි.. ඒත් ඌ අර තාත්තල සහෝදරයො ගාව කියපු දේ මට තේරුණේ නෑ. කිව්වට ඌටත් ඒක තේරිලා නෑ කියලා ඒ මූණ බලපු ගමන් නම් මට තේරුණා..
"උඹ ඒක අහපු එක නම් හොදයි.. උඹල තුන්දෙනාම ග්‍රවුන්ඩ් එකේ කොට්ටම්බා ගහ ගාව ඉන්නෝනෙ.."
"ඉතිං බෙකම්.. එතන කෑම කන තැනක් නෙමේනේ.."
පැතුමා ආයෙත් මොන්ටිසෝරි ප්‍රශ්නයක් ඇහුවා..
"හිටපංකො වහුකුනෝ කියනකල්.. මගේ ට්‍රැවලින් බෑග් එකත් උඹලා ගාව තියාගන්නෝන.. තේරුණාද..? මං සමින්දිත් එක්ක කතා කරලා ඉවර වෙලා සිග්නල් එකක් දෙන්නම්.. එතකොට බෑග් එකත් අරන් උඹලා එන්නෝන.."
මං උන් තුන්දෙනාටම උපදෙස් දුන්නා. කරන වැඩේ හරියට කරන්නෝන.. නැත්නම් මුංගෙ තියෙන කෑදරකමට මොනවයින් මොනව වෙලා නතරවෙයිද මංදා.. අනික මං මේ ඇග කිලිපොලා යන ගමනට සහභාගි කරවගත්තේ, ඒ ඒ පන්තිවල ඉන්න නහර කාරයො තුන්දෙනා.. ඒ පන්තියෙන් ඇම්ඩා. බී පන්තියෙනන් බලයා. සී පන්තියෙන් පැතුමා. අන්තිමට උං තුන්දෙනාගෙම අප්පා මෙච්චි මම..
මේ පට්ට දවාලෙත් ග්‍රවුන්ඩ් එකේ අතරින් පතර ඉස්කෝලෙ ළමයි පිරිලා. අනේ ඇත්තට මේ තරම් අව්වට කරවෙන්න මුංගෙ හිතේ මොන ආසාවක් ඉපදිලාද මංදා..
අපේ ඉස්කෝලෙ අපතයො තුන්දෙනා කොට්ටම්බා ගහ ගාව නවත්තලා, මං පැවිලියන් එක පැත්තට ආවා. සමින්දි අක්කා අද ඒවිද කියන ප්‍රශ්නෙ මගෙහිතෙ හතර පස් සැරයක්ම කැරකුණා..
"නවෝද්.."
මට වැඩි දුරක් යන්න හම්බවුණේ නෑ. ඉන්කිගෙ කටහඩ පැවිලියන් එකේ වම් පැත්තෙන් ඇහුණා. මං පොත් මිටියත් වම් අතට අරගෙන පැවිලියන් එකට ඇතුළු වුණා. හප්පට සිරි.. මේ මොකද මේ..? පැවිලියන් එක ඇතුලෙ ඉන්කියි, සමින්දි අක්කයි, තව එයාලගෙ ඉස්කෝලෙ ගෑනු ළමයි දෙන්නෙකුයි. තත්පරයක් දෙකක් යනකල් මට මුකුත් හිතාගන්න බැරිවුණා. ඒත් එකපාරටම ඔලුවට මොකකින් හරි පතබෑවා වගේ, මෙයාලා එනපොට මට තේරුණා. කට්ටියම එහෙනම් ඇවිල්ලා තියෙන්නේ මගෙන් ලන්ච් එක ගන්න වගේ..
"ඔයාලා හිතුවටත් වැඩිය කලින් ඇවිල්ලනේ.. ඒත් මොකද මේ දෙන්නෙක්...?"
මං කෙලින් කතා කෙරුවෙ සමින්දි අක්කට. එයා හිට තැනින් නැගිටලා මගේ ළගට ආවා. කොන්වන්ට් එකේ යුනිෆෝම් එකට එයාගේ මාර ලුක් එකක් තියෙන්නේ.. එතන හිටපු කෙල්ලො තුන්දෙනාට එයත්තෙක්ක හැරෙන්වත් බෑ. ඒ තරම් ගති..
"තවත් දෙන්නෙක් එක්කරගෙන එන්නෝනනේ.. එහෙමනේ එදා කතා වුණේ.."
"ඒ කිව්වේ..?"
මගේ ප්‍රශ්නෙට සමින්දි මට තවත් ලංවුණා. එයාගෙ ලස්සන ඇස් දෙක වගේම, කහපාට කම්මුල් මං හොදට දැක්කෙ ඒ වෙලාවෙ. තොල් දෙක ගැන නම් කතා කරලා වැඩක් නෑ.. රෝස පාටයි. නිකට ගාව යාන්තමට දෙකට බෙදිලා. පිස්සු හැදිලා.. නන්නත්තාර වෙලා බෙකම්, මරණාසන්න වෙනවා මෙහෙම ගියොත් නම්.. මං හිත ගල් කරගත්තා. නැත්නම් බෑ.. මේ ඉන්නෙ මගේ පරම සැතිරිය.
"බෙට් එක පාරාද කෙනො ඉන්කිටයි, තව යාලුවො තුන් දෙනෙකුටයි ලන්ච් අරන් දෙන්න ඕනනේ.."
"ඉතිං ඔයා පරාද හින්ද මං මගේ යාලුවො දෙන්නෙක් එක්කරගෙන ආවා. එයාලත් මං වගේම ජීවිතේට ඔයාලගෙ ස්කූල් එකේ අයගෙන් එකෙන් ලන්ච් එකක් අරගෙන නෑ"
ඒකත් එහෙමද..? බලන්න අප්පා ගැනු ළමයි හිතල තියෙන දුර.. ඔයා ඔහොම නෙමෙයි, මුලු කොන්වන්ට් එකම අරන් ආවත මේ බෙකම් ලන්ච් එකක් දෙන්නෙ නෑ..
"දැන් අපි කොහේටද යන්නේ..?"
මං මුකුත් නොදන්න කිරි සප්පයා වගේ ඇහුවා. සමින්දිගෙ මූණට ආවෙ මහා අමුතු හිනාවක්. ඒකෙන් අර එච්චර වෙලා තිබ්බ සුන්දරත්වය ඈතටම ගහගෙන ගියා..
"ම්.. අපි යමු චයිනීස් ෆුඩ් සෙන්ටර් එකට..."
එහෙනම් ඒකයි කතන්දරේ.. චයිනීස් ෆුඩ් සෙන්ටර් එක කිව්වේ, හයිෆයි පොරවල් සාමාන්‍යයෙන් යන එන තැනක්.. මේ අපි වගේ සාමාන්‍ය ජනතාව යන එන තැනක් නෙමෙයි.. එතනින් වේලක් කෑවොත් තව වේල් දෙකක් විතර බඩගින්නෙ ඉන්න වෙනවා සල්ලි නැතුව. අන්න ඒ වගේ හෙණ ගහන තැනකට තමයි සමින්දි යන්න ලෑස්ති වෙලා තියෙන්නේ..
"කොහොමද යන්නේ..?"
"අපි ත්‍රීවිල් එකකින් යන්නම්.. ඔයත් එතෙන්ට එන්න.."
"හරි මම වෙන ත්‍රීවිල් එකක එන්නම්.."
මං ටිකක් දුකෙන් වගේ කිව්වා. අර කලින් පාරක පිපුණු මුරණ්ඩු හිනාව සමින්දි අක්කගෙ මූණෙ මැදට ආයෙත් ආවා. හරියට නිකං මාව කන්ඩෙම් කලා වගේ..
"මට ඔයා ගැන හරිම කණගාටුයි.."
අර ඩිබෙට් ටීම් එකේ ඉංශ්‍රිසියෙන් කතා කරන වාග් විලාශය පැහැදිලිව පෙන්නුම් කරලා සමින්දි කිව්වා. මගේ පපුව ඇතුළේ, බෘස්ලිගෙ ඉරි පාරවල් තුන හතරක්ම ඇදිලා ගියා..
"ඇයි..?"
"මේ බෙට් එකට ආවෙ ඔයා.. මම නෙමෙයි.. බලෙන් බෙට් එකට ඇවිල්ලා. හතර දෙනෙකුට කන්න අරන් දෙන එක ගැන ඕන කෙනෙකුට කණගාටු හිතෙනවා.."
සමින්දි අක්කා ඒ කියපු දේට නම් ඉන්කිගෙ මූණ සවුත්තු වුණා. මේ කෙරීගෙන යන කතාව කෙල්ලට දිරවන්නෙ නෑ කියලා මට තේරුණා. ඒත් මේ බෙකම්ට නම් දිරෙව්වා..
"මං බලෙන් ආවෙ නෑ.. ඉන්කි මගෙන් උදව්වකුයි ඉල්ලුවෙ.. ඒ උදව්වෙදි මෙහෙම කතාවක් ගෑවිලා තිබුණෙ නෑ.."
"ඒ කිව්වේ..?"
සමින්දිගෙ ඇස් දෙක හීණි වුණා. එයත් එක්ක ඇවිල්ලා හිටපු කෙල්ලො දෙන්නත් හැමදේම නළලෙ තියෙනව වගෙයි හැසිරුණේ. මම නම් දැක්කෙ නළලටත් උඩින් වගේ..
"ඒ කිව්වෙ බෙට් කතාව ආවෙ පස්සෙ නේ.."
"හරි.. හරි.. ඉස්සෙල්ලා හරි පස්සෙ හරි ආවනේ.. ඔයා බෙට් එකත් පරාද උනානේ.. මගේ බෑග් එක ගෙනාවෙත් නෑනේ.. දැන් මොකද කියන්නේ..? අපිට කෑම අරන් දෙන්න සල්ලි නැද්ද ආ..? බලන් ගියාම ඔයාගෙ සද්දෙ විතරනේ.."
සමින්දි හෝ ගාලා කියවගෙන යනවා. එයාගෙ ඒ හැම වචනයකම තිබ්බෙ ලොකු උපහාසයක්. එයාට ඕන වුණේ හැම වචනෙකින්ම මාව රිද්දන්න වගේ.. මං ඉන්කි දිහා ආයෙත් බැලුවා.. එයා හිටියෙ හොදටම අවුල් වෙලා..
"සමින්දි අක්කි.. අපි දැන් මේ කතාව නැවැත්තුවොත් හොදයි.. අපි නවෝද්ට මෙහෙම කතා කරන එක හැරි නෑ. මං එයාගෙන් උදව්වක් ඉල්ලුවේ.."
"ඔයා මොනවද ඉන්කි මේ කියවන්නේ.. ඔයත් එදා හිටියනේ නේද..? එයා කියපුවා ඔයාටත් හොදට ඇහෙන්න ඇතිනේ.. දැන් එයා හදන්නෙ ලැජ්ජාවක් නැති ගානට ලිස්සලා යන්න.."