‘පාස්කු ප්‍රහාරයට’ යුක්තියක් කවදාවත් නොලැබෙන්නේ ඇයි?
පාස්කු ප්‍රහාරය ගැන අප කළ ගවේෂණය 2020 දී ‘සතිඅග අරුණ’ට ලීයන්න පටන් ගත්ත. එහි දෙවැනි ලිපිය පළ වුණාට පස්සේ කොළඹ සිටි ඉංදියානු මහ කොමසාරිස් පත්තරේට තර්ජනය කළා. පත්තරේ හිමිකරු ඉංදියානු තර්ජනය කීවම අපි මෙහෙම කිව.
“ ඉංදියානු මහකොමසාරිස්ට පුළුවනි අපි ලියන දේට උත්තර දෙන්න”
එතකොට මෙහෙම උත්තරයක් ලබුණේ..!
“ පත්තරේට උත්තර නෙවෙයි, උඹට මහපාරේදී හොඳ උත්තරයක් ලැබේවි...!”
ගවේෂනය වාර්තා කිරීම එතනින් නැවතුනා.
ඊට පස්සේ අපේ ගවේෂණය, නාටකීය වාර්තා චිත්‍රපටයක් හැටියට හදන්න පටන් ගත්ත. එහෙත් කොරෝනා වසංගතය හා රටේ ආර්ථිකය කඩාවැටීම නිසා එම තිර නාටකය ලිපි ගොණු අස්සේ යටටම ගියා.
මේ සටහනේ අරමුණ ඒ අවුරුදු තුනක් පැරණි කතාව කීම නෙවෙයි. අසල්වැසි බලවත් රාජ්‍යයක් සමඟ ජීවත්වීමට ඉගෙනීම අත්‍යාවශ්‍ය බව කීම. ජේ.ආර්. [ජයවර්ධන]ගේ ජිවිත කතාවේ තියෙනව, එයා 1940 ඉංදියානු කොන්ග්‍රසයේ සමුළුවකට ගිය තොරතුරු. ඔහු වාර්තා කරණ ආකාරයට ‘සීලෝන ජාතික කොන්ග්‍රසේ’ නියෝජිතයො හැටියට ‘රාම්ගාර්’ [බිහාරය] සමුළුවට යන්නේ. එහිදි ඔවුන්ට ගාන්ධි [මහත්මා] හමුවෙනව. මේ පරම ඉංදියානු ජාතිකවාදියා ලංකාවේ නියෝජිතයන් හමුවු විගස අහන්නේ ලංකාවේ සිටින ඉංදියානුවන්ගේ ඉරණම ගැන....!
පාස්කු ප්‍රහාරයේ අභ්‍යන්තර කතාව හොයන්න කලින් අපි 30 අවුරුදු ඊළාම් යුද්ධයේ අප මත පැටවූ ආකාරය සෙවිය යුතුයි. අද රට බංකොලොත්වීම හිටපු පාලකයන්ගේ හොරකම් නිසාම සිදුවීමක් බව පිළිගනිම ‘සිංහල බෞද්ධ ජාතිකවාදින්’ගේ බලවත් ජයග්‍රහණයක්. එහෙම කියන්නේ ඔවුන්ට ‘බුද්ධගයා කොකිසයි’, ‘දළදා කැවුමයි’, ‘හිංගල බුද්ධාගම් කිරි බතයි’ එකම පිඟානේ තියාගෙන වළඳන්න පුළුවන් වෙන නිසා. 30 අවුරුදු සිවිල් යුද්ධයකට හිර වූ රටක් බංකොලොත් වී නතර වුනොත් ඇති. මිනිස් ජීවිතවල වටිනාකම් අතැරල ගත්තොත් 30 අවුරුදු යුද්ධයේ වියදම ඩොලර් බිලියන 200ක් බවට ගණන් හදල තියෙනව. මේ යුද්ධය දෙමළ හා සිංහල ජනයා මත පැටෙව්වේ කවුද? 1978 වෙද්දී පීඩාවට පත් දෙමළ තරුණයන්ට ආයුධ, පුහුණුව හා මුදල් දුන්නේ කවුද? ඩික්සිත්ට [ජේ. එන්. - කොළඹ ඉංදියානු මහකොමසාරිස් - 1984 -1989] අනුව 1985 වෙද්දී ‘ඊළාම්’ සටන්කාමී සංවිධාන 36 රටේ තිබුණ. මේවාට හේතුව සිංහල පාලකයෝ මුළින්ම කලේ තමට හා නෑයන්ට බෙදා ගැනීම. දෙවනුව තමන්ගේ පාක්ෂිකයන්ට බෙදා දීම. මේ නිසා මුල් යුගයේ පීඩාවට පත් සිංහළු සමසමාජ ව්‍යාපාරයට ගියා. පස්සේ ජවිපේ [ජනතා විමුක්ති පෙරමුණ]ට එකතු වුණා. දෙමළු ඊළාම් ව්‍යාපාරයට ගියා. අසල්වැසි බලවතා ඒක අපුරුවට තමන්ගේ වාසියට යොදා ගත්ත.
2019 අප්‍රියෙල් පාස්කු ප්‍රහාරය විමර්ෂනය කරන්න ඕන, ඉංදියානු මැතිවරණය සමග එකට තැබීමෙන්. 2019 අප්‍රියෙල් 11 වෙනිද ඉංදියානු මහා මැතිවරණය බටන් ගත්තේ. අවසන් වුණේ 2019 මැයි 23 වෙනිද. හින්දු - මුස්ලිම් ගැටුම් ඇති ප්‍රාන්තවල චන්ද තියන්න කලින් එනම් අප්‍රියෙල් 21 වෙනිද පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්නේ. හින්දුවාදී මෝඩි [නරෙන්ද්ර]ට හින්දු චන්ද ගෙඩිය පිටින් ලැබෙන්නේ පාස්කු ප්‍රහාරයේ පිහිටෙන්. ඉතිහාසයේ මුල් වතාවට භාරතීය ජනතා පක්ෂය ලෝක් සභාවේ ආසන 353ක් අරගෙන ආණ්ඩුවක් පිහිටුවනව 2019 මැයි මාසේ අග. මේව අහම්භ ද?
ඊලඟට පුලස්තිනී රාජෙන්ද්රන් හෙවත් සාරා ජෙස්මින්ගේ ඉරණම. පුලස්තිනි ඉංදියානු රෝ ඔත්තු සේවය දෙන්නේ ලංකා හමුදාවේ බුද්ධි අංශය. ඈ ඊට පෙර සේවය කළේ ඔවුන්ට. එයාගේ පසුබිමේ තියෙන්නේ ඊ.එන්.ඩී.එල්.එෆ්. සංවිධානය. එය කෙලින්ම රෝ ඔත්තු සේවය මෙහෙය වූ ඊළාම් සටන්කාමී සංවිධානයක්. මෙන්න මේ හේතු නිසයි ලංකාවේ පාලකයෝ ‘පාස්කු ප්‍රහාරය’ කීව ගමන් ගලේ පහරපු බළල්ලු බවට පත් වෙන්නේ. මේව ගැන වාර්තා කරන්න තැනක් තියෙන්නේ කොහේද?
අපිට පවරල තියෙන්නේ ‘සාරා ජෙස්මිගේ’ ඩී.එන්.ඒ. සොයමින් කාලය ගත කරන්න.
දැන් තියෙන්නේ අතීතය ගැන වැලපෙන්න නෙවෙයි. අසල්වැසි මහරට ලෝකයේ විශාලම ජනගහනය ඇති රට බවට ගිය සතියේ පත් වුණා. දැනටමත් ලෝකයේ 5 වෙනි ආර්ථික බලවතා. තවත් අවුරුදු 10කින් ලෝකයේ දෙවනි ආර්ථික බලවතා. එහෙම බලවතෙක් සමඟ ජීවත් වෙන්න ඉගෙනීමයි වැදගත්ම දේ. ඒකට රටේ විදේශ සේවයට පුහුණු හා දක්ෂ නිලධාරීන් මිස පාලකයන්ගේ ඥාතීන්පත් කිරිමෙන් විසදුම් සොයන්න අමාරුයි. ‘පාස්කු ප්‍රහාරයට’ යුක්තිය ඉල්ලන්න ඕන අපේ පාලකයන්ගෙන් නෙවෙයි. උන්ව පාලනය කරන හා උන් බලයේ තබන ඉංදියානු මහකොමසාරිස්ගෙන්. ඒක කවදාවත් ඉටු නොවෙන නිසා පාස්කුට යුක්තිය නො ඉල්ලා අනාගත දෙස බලන්න. එබදු විපත් වලකා ගැනීමේ ක්‍රම වේදයක් තනා ගන්න.
නන්දන වීරරත්න
21/04/2023