කැනඩාවෙදි වෙනස්වෙන්න!
කැනඩාවට එන්නට අපේක්ෂා කරන හුඟදෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි , මම ඉන්නේ මේ වෘත්තීයේ , මට පුළුවන් වේද ඒ වෘත්තියේම රැකියාවක් හොයා ගන්න කැනඩාවෙදි“ කියන එක. මේ ප්‍රශ්නයට පිළිතුරක් ඔබට සොයා ගන්න මෙන්න මේ ඇත්ත උදාහරණ ටික බලන්න,
මේ කැනඩාවෙදි පෞද්ගලිකව මට හමුවන මගේ මිතුරන් කිහිප දෙනෙක්ගේ සත්‍ය කතා,
BBC රූපවාහිනියේ වසර හතක අත්දැකීම් ඇති උපාධිධාරී Videographer කෙනෙක් දැන් කැනඩාවෙ වෛද්‍ය පර්යේෂණාගාර සහායකයෙක් විදියට සේවය කරනවා.
ලංකාවේ ජේෂඨ වෛද්‍යවරයෙක් විදියට වසර දොළහක් සේවය කළ කෙනෙක් , කැනඩාවේ සාත්තු සේවකයෙක් ලෙස සේවය කරනවා
ලංකාවේ කොළඹට කිට්ටුව ප්‍රධාන පාසල හිටපු උප-විදුහල්පතිනියක් , කැනඩාවේ වියපත් ප්‍රජාව ඉන්නා ආයතනයක පවිත්‍ර කරන්නියක් ලෙස කටයුතු කරනවා
ඉන්දියාවේ ප්‍රධාන රෝහලක හෘද සැත්කම් පිළිබඳව ජේෂ්ඨ ශල්‍යෙවෙද්‍යවරයෙක් අද ටොරොන්ටෝවේ ටැක්සි රියදුරෙක් ලෙස සේවය කරනවා.
පකිස්තානයේ ගුවන් නියමුවරයෙක් ලෙස සේවය කළ අයෙක් ටොරොන්ටෝව කිට්ටුව මැක්ඩොනල්ඩ්ස් එකක් කවුන්ටරේ වැඩ කරනවා.
ලංකාවේ කොළඹ කිට්ටුව ප්‍රධාන රජයේ රෝහලක වාට්ටුභාර හෙද සොයුරියක් ලෙස කටයුතු කළ ඇය , අද කැනඩාවේ ටිම් හෝරටන් තේ කඩේක තේ දානවා.
ලංකාවේ උසස් තාක්ෂණ ආයතනයකින් ඉගෙන , ඉංජිනේරු වෘත්තියේ සිටි කෙනෙක් කැනඩාවේ නිවෙස් අළුත්වැඩියා කරන නුපුහුනු සේවකයෙක් ලෙස මුදල් උපයාගන්නවා.
මේ අතරේම ලංකාවේ වෛද්‍යවරියක් , කැනඩාවෙදි වෛද්‍යවෘතියට ඇතුළු වීමේ සුදුසුකම් ලබා ගෙන එම වෘත්තියම කරනවා,
ලංකාවේ ඉංජිනේරුවෘත්තියේ සිටි අයෙක් , කැනඩාවේ ඉංජිනේරු සේවාව තුල කටයුතු කරනවා.
තව එමටයි ,
දැන් කළබලවෙන්න එපා, බොහොමයක් නෙගටිව්නේ කියල, මේ සමහරු තමන්ගේ වෘත්තියට ඇතුළු වීමට අවශ්‍ය විභාග කරන අතරේ මේ රැකියාවල ඉන්නේ. සමහරෙක් නැවත පෙර රැකියාවන් ගැන නොසිතා ලැබුණු රැකියාව කැමැත්තෙන් කරගෙන ඉන්නවා. තවත් බොහෝ අය කැනඩාවෙ අවශ්‍ය විභාග සමත්වෙලා , සුදුසුකම් සම්පුර්ණ කළත් “තමන්ගේ රස්සාව“ හොයන්න මහන්සිවෙලා , ඇති වෙලා තියෙන රස්සාවක් කරගෙන “නිදහසේ “ ඉන්නවා. මේ අතරේ සමහර ඔය කිසි දෙයක් ගැන ලොකුවට හිතන්නේ නැතිව කැනඩාවේ තිබෙන “අවස්ථා“ ප්‍රෙයා්ජනයට අරගෙන ඊට ගැලපෙන විදියට අළුත් රැකියාවක වෙනස් වෙලා ජීවිත් වෙනවා. ඔන්න ඔහොමයි කැනඩාවේ ඇත්ත
නමුත් කියන්න ඕන මේකයි , කැනඩාවට එන්න ඉස්සර මැවෙන හීන, සහ මවාදෙන හීන ඒ විදියටම හැබෑ නොවෙන්න පුළුවන්. නැත්නම් එය සැබෑ කරගන්න කළක් යන්නට පුළුවන්. අන්න ඒ නිසා “ඇත්ත දැනගෙන එන්න“. කටුණායකින් ගුවන්යානයට නගිත්දිම ලංකාවේ තිබුණු “රැකියාවේ තත්ත්වය“ , “ජේෂ්ඨබව“, මං තමා සියල්ල දන්න කෙනා“ වගේ බර ලොකුකම් , මගේ වාහනේ දොර වහන්නත් minor staff ඕන “ කියන වගේ “හිස් ලොකු කං“ , ලංකාව පැත්තට හලල “නිදහස් මනුස්සයෙක් වගේ“ එන්න. කැනඩාවට ගොඩ බහින්න “මම එන ඕනම දේකට මුහුණ දෙන්න ලැහැස්තියි කියාගෙන“ , ආකල්ප වල මේ වෙනස ඇති කරගන්න. ඔබට වරදින්නේ නැහැ කැනඩාවෙදි!