ළදරු පාසලේ සිට SAITM හරහා චැනලින් දක්වා……
Cited from Waruna Jayasinghe s wall..
ළදරු පාසලේ සිට SAITM හරහා චැනලින් දක්වා……
==========
ඇමතිවරුන්ගේ සිට බුකියෙහි 'චරිත' දක්වා බොහෝ දෙනෙකුගේ තර්කයක් වනුයේ SAITM අහෝසි කරන්නේ නම් ළදරු පාසල්, ටියුෂන්, වෙනත් පුද්ගලික උපාධි සහ චැනලින් වැනි සියළු පෞද්ගලික සේවා ද අහෝසි කල යුතු බවයි. බැලූ බැල්මට මෙය සාධාරණ ප්‍රකාශයක් බවත් පෙනේ.
ඇත්තටම මේවායේ වෙනස්කමක් ඇත්තේ ම නැද්ද?
1: ළදරු පාසල් -
පාසලට ඇතුලු කර ගැනීමේදී ළදරු පාසල් ගියාද නැද්ද යන්න අදාල නොවේ. ප්‍රාථමික විෂය නිර්දේශයේ ඇතැම් කොටස් මොන්ටිසෝරියේ දී ඉගෙනගෙන සිටිය යුතු යයි සැලකෙන්නේ ද නැත. එනිසා මොන්ටිසෝරි යැවීම හෝ නොයැවීම තනිකර ඔබේ තීරණයකි.
2. ටියුෂන් :
විභාග සඳහා අතිරේක තල්ලුවක් ටියුෂන් වලින් ලැබේ. නමුත් විභාගය පවත්වන්නේ රජය මිස ටියුෂන් මාස්ටර් නොවෙන නිසා, ටියුෂන් ගිය හා නොගිය දෙපිරිස ම ඇගයීමට ලක්වන්නේ එකම මට්ටමකිනි.
(SAITM හැඳින්විය හැක්කේ ටියුෂන් මාස්ටර් ම විභාගයක් පවත්වා, මොන්ටිසෝරි ක්‍රමයට වෛද්‍ය වෘත්තියට බඳවා ගැනීමක් ලෙස ය.)
3. පුද්ගලික (IT වැනි) උපාධි සහ පුද්ගලික වෛද්‍ය විද්‍යාල:
මේවා අතර වෙනසක් බොහෝ දෙනාට නොපෙනෙන නිසා, උදාහරණයකින් දක්වමි.
මම ප්‍රමිතියකට නැති IT උපාධියක් ලබා ගනිමි. ඔබ මට රැකියාවක් දෙයි. මම පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ, software ලියමි. මා ලියන software වැඩකට නැති බව ඔබට වැටහෙයි. ඔබ මා රැකියාවෙන් දොට්ට දමයි..
එනම් පාරිභෝගිකයා , තත්ව පරීක්ෂකයා හා හාමිපුතා යන තිදෙනාම එක් අයෙකි. නැතහොත් විෂය පිලිබඳ හොඳ දැනුමක් ඇත්තවුන් වෙති.
මම SAITM වෛද්‍ය උපාධිය ලබා ගනිමි. තත්ව පාලකයා වන SLMC එය ප්‍රමිතියකට නැති බව කීවත්, නීතිය එය පිලිගන්නා ලෙස නියෝග කරයි. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය මට රැකියාවක් ලබාදී, වනාතවිල්ලුව රෝහලට පත්කර යවයි. මම එහි රෝගීන්ට පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ බෙහෙත් දෙමි. පුද්ගලික සේවයේ ද නියැලෙමි. මගේ වරදින් ඔවුන්ගේ ලෙඩ උත්සන්න වූවත්, ඔවුහු ඒ බව නොදනිති. කුඩා රෝහල් වල සිටින්නේ වෛද්‍යවරුන් එක්කෙනෙකු හෝ දෙදෙනකු නිසා, ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ට ද මගේ මෝඩකම් නොපෙනේ. එනිසා මම යහතින් සිටිමි.
එනම්, පාරිභෝගිකයා, තත්ව පරීක්ෂකයා හා හාම්පුතා එකිනෙකාගෙන් ස්වායත්ත වෙති. තත්ව පරීක්ෂකයාගේ තටු කපා ඇති අතර පාරිභෝගිකයාට තත්ව පරීක්ෂණය ගැන දැනුමක් හෝ අධිකාරි බලයක් නැත. රැකියාව තුලදී සියලු කණිෂ්ඨ වෛද්‍යවරුන් තත්ව පාලනයට ලක් කිරීම සඳහා යාන්ත්‍රණයක් හෝ සම්පත් හාම්පුතාට නැත.
මම දිගටම බෙහෙත් දෙමි. දිනක ඔබත් මගෙන් බෙහෙත් ගැනීමට පැමිණෙයි. මගේ බෙහෙත වැරදී ඔබ මිය යයි. ඔබේ නෑයන්ගේ පැමිනිල්ල මත SLMC මගේ ලියාපදිංචිය අහෝසි කරයි. නමුත් මියගිය ඔබට දැන් ඉන් ප්‍රයෝජනයක් නැත. මගේ මිතුරෝ තවදුරටත් මා මෙන් බෙහෙත් දෙති.
4. චැනලින් :
මම රජයේ රෝහලක සේවය කරමි. සේවා කාලය අවසන් වූ පසු, එක්කෝ කොත්තු ගැසීමට, නැතහොත් චැනල් කිරීමට මට නිදහස ඇත. දන්නා ශාස්ත්‍රය නිසා මම චැනල් කිරීම තෝරා ගනිමි. විකිණීම සඳහා මා ලඟ මගේ දැනුම හා පුහුණුව ඇත. එය මිලට ගැනීම සඳහා ඔබ පැමිණෙන්නේ, රජයේ රෝහලේදී එය නොමිලේ ලබා ගැනීමට වඩා මුදල් ගෙවා ලබාගැනීම ඔබට පහසු හෝ වටිනා නිසාය. මිල වැඩි බවක් හෝ ගෙවන මුදලට වටිනාකම නොලැබෙන බවක් සිතන්නේ නම්, රජයේ රෝහලෙන් හෝ වෙනත් වෛද්‍යවරයෙකු ගෙන් එම සේවය ම ලබා ගැනීමට පාරිභෝගිකයා ට සම්පූර්ණ අයිතිය හා නිදහස ඇත.
========
මේ අනුව පැහැදිලි විය යුත්තේ සියල්ල එක ගොඩට දැමීමට තැත් කලත්, පාරිභෝගිකයාට තේරීමක් හෝ විකල්පයක් නැති වන්නේ SAITM හරහා බවය.වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය දැඩි ව පාලනය නොකළොත්, ප්‍රතිඵලය භයානක වන බව ය.
තර්කය නිර්මාණය කල අය මේ සත්‍යය නොදන්නවා යයි නොසිතමි. නොදන්නාකමින් එය පිලිගත් අයෙක් වේ නම්, මේ ඔවුන් සඳහා ය.