අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් SF ලොක්කාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ වී තිබෙනවා.
අනුරාධපුර , දහයියාගම මංසන්ධියේදී ‘SF ලොක්කා’ හෙවත් ඉරෝන් රණසිංහ නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 7 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලීසිය පවසයි.
ඝාතන සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ වෙඩි තැබීම සඳහා සැකකරුවන් යතුරු පැදියකින් පැමිණ ඇති බවට ද තොරතුරු ලැබී ඇති බවයි.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී එම මෝටර් රථයේ ඔහුගේ පෙම්වතියද සිට ඇති අතර, වෙඩි ප්‍රහාරයෙන් ඇයට හානියක් සිදුව තිබුණේ නැහැ.
පොලීසිය සඳහන් කළේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී මෝටර් රථයේ වේගය අඩු කළ අවස්ථාවේදී මෝටර් රථය ඉදිරිපස යතුරුපැදිය නවතා එම පුද්ගලයා විසින් ටී 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
මෝටර් රථය ඉදිරිපසින් වෙඩි තැබීමෙන් පසු එම පුද්ගලයා රියදුරු අසුන ආසන්නයට පැමිණ තවත් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබෙනවා. විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එලෙස වෙඩි ප්‍රහාර හතක් පමණ එල්ලවී ඇති බවයි.
ඊයේ දහවල් දහයියාගම මංසන්ධියේ දුම්රිය හරස් මාර්ගය අසළ සිදුවූ වෙඩි තැබීමෙන් ‘SF ලොක්කා’ හෙවත් ඉරෝන් රණසිංහ ජීවිතක්ෂයට පත්විය.
එස්.එෆ් ලොක්කාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්, අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ ඊයේ දිනයේම පොලීසියට නියෝග කළා.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

