හය වෙනි දිනටත් හිරු උදාවිය. තවම වෙඩි තබමින් අපි යුද පෙරමුණේ ඉදිරියට ඇදුනෙමු.
"සර් ට වෙඩි වැදිලා" සැනෙන් අශුභ ආරංචියක් සවන් පත් සිදුරු කළේ ය.කපිතාන් විජේකෝන්ට වෙඩි වැදී තිබුණි.
"බඩී මා ළඟින්ම වරෙන්" මම සගයාට පැවසුවෙමි. එක් වරම මගේ වම් ඇලයට වැදුණු දරුණු පහරකින් මා කැරකී බිම ඇද වැටුනෙන් කිසිත් සිතාගත නොහැකිව අන්ද මන්ද වී මෙන් බලා සිටියදී සගයා මා ළගට දිව ආවේය. ඔහු මා දෙසද මා ඔහු දෙසද බලා සිටියේය.
"කෝප්රල් ඔහොම්ම ඉන්න. කලබල වෙන්න එපා" යැයි පවසනු සිහිනයෙන් මෙන් ඇසුණි. වහාම මාද පිටුපසට යැවුනි. බොහෝ දෙනෙක් තුවාල ලබා සිටියදී මාද ඒ ගණයට වැටීම ගැන දුකක් දැණුනේ අන් අය මා දමා දිගටම සටන් කරනු ඇතැයි සිතුන නිසාය.
"අජන්ත අමාරු ද?" සුපුරුදු කටහඬක් ඇසුනි.
අමාරුවෙන් දෑස් හැරි මා ඉදිරියේ සිටියේ දෙවන අණ දෙන නිලධාරි මේජර් ජයවි ප්‍රනාන්දු ය. ඔහුට ආචාර කරන්නට විදියක් නොමැති වීම ගැන එවෙලෙහි මා ලතැවුන නමුත් ඔහු මා හරවා, "දඟලන්න එපා" යැයි පවසා "ෆීල්ඩ් ඩ්‍රෙසින්" එකක් දමා, මා අසරනව ඔහු දෙස බලා සිටියදී, මගේ උරහිසට තට්ටුවක් දමා නැගිට යන්නට ගියේය.
පැය බාගයක් ගත නොවී ය. මම ඉබේ පියවෙන දෑස් හැර ඉන්නට උත්සාහ කෙළෙමි.
"කෝප්රල්, මාත් ආවා" හඳුනන කට හඬක් ඇසී මම හැරී බැලුවෙමි. ඒ මුහුන හැඬුම්බර ද, සිනාමුසු ද සිතාගත නොහැකි විය.
"බඩී..." යැයි පවසමින් අසීරුවෙන් සිනාසෙන්නට තැත් කෙළෙමි. ඔහුද එසේ කරනු පියවෙන ඇසි පිහාටු අතරින් මම දුටුවෙමි.
වහා අප අනුරාධපුර රොහලට රැගෙන ආ අතර එතැනින් කොළඹ ට මාරුකර එවුනි. එහිදී හඳුනන බොහෝ දෙනෙකු මුනගැසුණි.
"කෝප්රල් කොහේ ගියත් අපේ කට්ටිය ඉන්නවා නේද?"කටකාර බඩියාට මෙතරම් තුවාල වී සිටියදීත් කට පියාගෙන සිටීමට බැරි ය.
අපේ බොහෝ දෙනෙකු හතේ වාට්ටුවේ නතර වී සිටියෝය. ඔවුන් බලා සිටියේ යුධ බිමේ සිට කවරෙකු හෝ පැමිනෙන තෙක් ය. ඒ අන් කවරක් වත් නිසා නොව යුධ බිමේ නැවුම් තොරතුරු දැන ගැනීමේ නො ඉවසිල්ලෙනි. රූපවාහිනියෙන් හා ගුවන් විදුලියෙන් හරි හැටි තොරතුරක් දැන ගැනීමට අපහසුය. දින අටක් පමණ අපි එහි නො ඉවසිල්ලෙන්, වේදනාවෙන්, අපහසුවෙන්(විටෙක විහිලුවක් කර සතුටින්) බලාපොරොත්තු සහගතව බලා සිටියෙමු.
"අපි අල්ලා ගත්තා" සතුටු දායක සුභාරංචිය සියලු දෙනා සතුටින් උද්දාමයට පත් කළේය.නමුත් ආරංචිය පැවසූ සෙබලා ජයග්‍රාහී විලාසයෙන් අත් ඔසවා දකුනු ඇලයේ අලුත දැමූ මැහුම් තුනක් කඩා ගත්තේය.
අද ආපසු හැරී බැලුවෙමි...
දශක දෙකකට ඉහත අතීතය...
එදා මා ඉතාමත් තරුණ වියේදී
යුධ බිමේ ගෙවූ කටුක ජීවිතය හා ජවයෙන් එඩියෙන් යුතුව
එකම අරමුනක් කරා පියනැග්ග අපූරුව....
අසීරුම අවසිථා වලදී එකට එක්ව එකා මෙන්
එකම සතුරු කැලකට එරෙහිව යුධ වදින්නට අප වාසනාවන්ත වූ හැටි...
පුදුමයි....
ඒ එකමුතුකම උස් පහත් කමක් නොමැතිව
අපේ මනුස්ස කම වෙනුවෙන් කැප වූ හැටි....
ඒ සියල්ලටම වැඩියෙන්...
එදා සිට අද වන තෙක්
මේ බලකාය වෙනුවෙන් මගේ සිතේ පැසවන ආදරය....
-ලුතිනන් අජන්ත රාජපක්ෂ
උපුටා ගැනීම- කිසි විටෙකත් සතුරාට යටත් නොවෙන මා කෘතියෙන්
අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා
ශ්‍රි ලංකා යුද්ධ හමුදා විශේෂ බලකාය