අද මං ඔයාලට ගෙනාවේ, මීට අවුරුදු ගණනාවකට කලින් සිද්ධ වෙච්ච දෙයක් ගැන පොඩි විස්තරයක්. 'ටයිටැනික් නැවට අද වෙනකොට මොකක් ද වෙලා තියෙන්නේ කියලා', ඕගොල්ලන්ට මේක කියෙව්ව ම දැනගන්න පුළුවන්. ටයිටැනික් ගැන දන්න අය වගේ ම නොදන්න අයත් ඉන්නවානේ... මේ විස්තරේ ඒ දෙගොල්ලන්ට ම දැන ගන්නයි...
සාගර පත්ල ඉතාමත් නිශ්ශබ්ද ය. බරසාර, අලංකෘත නැව මහල්ලෙකු මෙන් වැතිරී හති අරියි. කොළ පැහැති දිය සෙවල බැදුණු නැව් බද අතීරණාත්මකව වට පිට බලයි, මාළු රෑන් රෑන් නෑගම් යන්නට මෙන් පැමිණ නැව් බද උලා කති. දිය බුබුළු නගමින්, වතුර කළඹමින් මුහුදු පතුලට වන් නවීන කැමරා උපකරණ එතැන ඇති කළේ සුළු පාසු කලබයක් නම් නොවේ. වරල් ගස්සමින් මාළු රෑන් නැව් බදෙන් මෑත් වී ඈතට පීනමින් යන්නේ අවලාද නගමිනි.
"විකාර... මොනාට එනව ද මන් දා?"
අති නවීන කැමරා උපකරණ හරහා මා දුටු දසුනෙන් ඇති වූයේ කම්පනයකි. මේ මා දකින්නේ නැවේ පොදු කාමරයක් විය හැකි ය. සුන් මැද වූයේ කාන්තා පාවහන් යුගලකි. මදක් ඈතින් විශාල හිස පීරන පනාවකි. එතැන ම තවත් කුඩා පාවහන් යුගලකි. එපමණක් නොවේ, එතැන කුඩා වූත්, අලංකාරව තිබිණි යැයි සැක කළ හැකි ආකාරයේ අත් කණ්ණාඩියකි.
දැන් එතැන ඇත්තේ කෙටි කතාන්දරයකි. මම කතාව ගෙතීමට සිතා ඇස් පියා ගතිමි. එහෙත්, හාත් පසින් ඇසෙන සමූහ ඝෝෂාව ඒ සියල්ල අවුල් කර දමයි. පැරණි කතාව යට කරමින් දැන් අලුත් කතාවක් මතු වී ඇත.
පෞඪ ටයිටැනික් නැව මෙතෙක් කල් සුන් බුන් වශයෙන් දිය මත තැන්පත් ව තිබූ අතර අවට ලෝකයා සිනමා පට තනමින්, කතාන්දර ගොතමින් ඉන් සියලු ප්‍රයෝජන ලබා ගතී. එනමුත් ටයටැනික් නැවේ සුන්බුන් ද විනාශ වී යන්නට පටන් ගෙන ඇති බවට සාගර විද්‍යාඥයෝ අනතුරු අගවන්නට ගත් විට, යළිත් ලෝකය ම ඒ දෙස බලා කම්පා වූහ. එහෙත් මද වේලාවක් හිද යලිත් තම තමන්ගේ වැඩ පිළිබද අවධානය යොමු කරන්නට වූහ.
මුහුදුබත් වූ පසු ටයිටැනික් නැවේ සුන්බුන් ද විනාශ වී යන්නට පටන් ගැනීම සමග මතු වූයේ තව කොපමණ කාලයක් ඒ සදහා ගත වේද යන සැකය යි. සෑම සියලු දෙනාටම මේ ගැන පළ කිරීමට මතයක් තිබිණි. සාගර විද්‍යා පර්යේෂකයකු වන බිල් ලෑන්ග් ට අනුව නැවේ ඇණිය තවත් අවුරුද්දකින් හෝ දෙකකින් කඩා වැටීමට පුළුවන. සෙසු අනාවැකි අනුව තවත් අවුරුදු සියයක් පමණ නැවේ ඇණිය විනාශ නොවී තිබිය හැකි ය.
උතුරු අත්ලන්තික් සාගර පත්ලේ නිදා සිටින ටයිටැනික් නැවේ සුන්බුන් විනාශ වෙමින් පවතින්නේ කොටස් වශයෙනි. නැවේ බද ප්‍රදේශය වෙතට දිගින් දිගට ම පතිත වන චණඩ දිය වැල්, ලෝහ කා දමන මුහුදු ජීවීන් සහ මිනිසුන්ගේ නොසැලකිලිමත් ක්‍රියාකාරකම් මේ සියල්ලට ම මුල් වී ඇත.
නැව් තට්ටුව, නැවේ අවරය ආදිය ඉතාමත් ඉක්මනින් කඩා වැටීය හැකි බවට දැනටමත් අනාවැකි පහළ කර ඇත. නැවෙහි කුඹ ගස පිහිටි ස්ථානයේ ඇති ආවරණය ආදිය ක්‍රමක්‍රමයෙන් විනාශයට පත් වෙමින් තිබේ.
ටයිටැනික් නැව ගිලෙන විට එහි දෙකට කැඩුණු ආකාරයට ම සාගර පත්ලේ තැන්පත් වී ඇති අතර එමගින් නැවේ ඇණියත්, අවරයත් දෙක ම වෙන් වී ඇත. දිය යට ඡායාරූප ගත හැකි, සියුම් ශබ්ද ආදිය පටිගත කළ හැකි අති නවීන කැමරා උපයෝගී කර ගෙන ලබා ගත් ඡායාරූප හෙළි කර ඇත්තේ මීට පෙර කිසිවකු නුදුටු ටයිටැනික් නැවේ කොටස් ය. මෙමගින් නැවේ කදේ ශක්තියත්, එය දිරාපත් වීමට ගත වන කාලයත් නිර්ණය කළ හැකි වී ඇත.
මුහුදු පතුලේ අසරණ ව වැතිරී සිටින ටයිටැනික් නැවේ දැව කොටස් කා දැමීම හා ලෑටි ගෑම භාර ගෙන සිටින්නේ විවිධාකාර වූ මාළුන් ය. නැවේ කදේ ඇති ලෝහ කොටස් බැක්ටීරියා වර්ග හා ක්ෂුද්‍ර ජීවීන් අයිති කර ගෙන ය. ඒ අතරට විවිධ පුස් වර්ග ද එකතු වී ඇත්තේ කැමැත්තෙනි. විශේෂයෙන් ම ක්ෂුද්‍ර ජීවීන් විසින් නැව් බදට කරනා හානිය කෙතරම් ද යත්, මළකඩ ආදිය නිශ්ශබ්ද ව කරන හානියට සම කළ නොහැකි තරම් ය. මළකඩ ලෝහ වලට වින කරන අතර ම රැස් කමින් අපද්‍රව්‍ය ද එකතු කරයි.
ඒ අතර ම ඉදිරිපස නැව් තට්ටුව ද ඉදිරි වසර 20 ඇතුළත අනිවාර්යයෙන් ම පුපුරා වැටෙන බවට සාගර විද්‍යාඥයෝ පවසති. දැනට ඉතිරි ව ඇති සුන්බුන් අතර තිබෙන ලෝහ අමු යකඩ බවට පත් වීමේ අවදානමක් ද පවතී. වඩාත් නරක ආරංචිය වන්නේ අංශු වශයෙන් දිය වෙමින් පවතින මේ ලෝහ සාගරයට එකතු වීමයි. ඊයම්, ලෝකඩ සහ පිත්තල සාගරයට එකතු කරමින් ටයිටැනික් නැව කරන්නේ නරකක් මිස අනෙකක් නම් නොවේ.
නැවේ සුන්බුන් විනාශ වී යාමට මිනිසුන් විසින් සිදු කළ අනුවණ ක්‍රියා ද බොහෝ සේ බලපා ඇත. නැවේ සුන්බුන් අතර තිබී සංරක්ෂණය පිණිස ලබා ගත් වටිනා දෑ මෙන් ම නීත්‍යානුකූල නොවන ආකාරයෙන් පැහැරගෙන ගිය දෑ ද බොහෝ ය. ටයිටැනික් සිනමා පටය නිර්මාණය කරන ආකාරයේ සිදු වී ඇති යම් යම් සිදුවීම් ද මේ සදහා උදාහරණ වේ. සබ්මැරීන මගින් නැව මතට අනපේක්ෂිත ලෙස පතිත වීමෙන් සිදු වී ඇති හානිය ද අති විශාල ය. 1500 ක් තරම් මිනිසුන් ප්‍රමාණයක් මිය ගිය සොහොනක් බදු ස්ථානය, අතලොස්සක් විසින් විනෝද උයනක් බවට පත් කිරීම කණගාටුදායක බව පවසන්නේ සාගර විද්‍යාඥයෝ ය.
ඉතින් මේ ටයිටැනික් නැවට තමන්ගේ පාඩුවේ සිටින්නට ඉඩ දිය යුතු කාලය නොවේ ද? තමාට අයිති අතීත අයිතියත්, සුන්දරත්වයත් තුරුලේ හොවා ගෙන සාගර පත්ලේ නිදන්නට ටයිටැනික් මග බලා හිදී.
source


